Wednesday, January 27, 2021

ආවර්ජනා (හතරවන සහ අවසාන කොටස) - සමුගැන්ම

 (සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )


පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

ආවර්ජනා (තෙවන කොටස) - ජීවිතය ගලා යාම

එතැන් සිට කතාව:

අහසේ ඈතින් රිදී රේඛා සටහන්ව, ලෝකයට නව දවසක ආරම්භය සනිටුහන් කරයි. මේ ආරන්‍යවාස කර සිටින දහසක් ප්‍රානීන්ට එය රාත්‍රියක් ගෙවා දමා එන නව හිරු උදාවක් වුවද, කිසිදා නොනැසෙන ප්‍රඥාලෝකයක් මගේ සිත තුළ දැන් හොඳින් දැල්වෙයි. මේ භුමිය වැඩ වෙසෙන බොහෝ භික්ෂුන් වහන්සේලාගේ සිත්ද එවැනිම වන බවට දැන් මම ප්‍රත්‍යක්‍ෂකොට දනිමි. අනන්ත සසර සැරිසරා එන "සිත" නමැති මායාව ඉක්මවා යාමට මට ඉතිරිව ඇත්තේ අද පමණක් බව හොඳින්ම දකින්නෙමි. මේ ඊට නික්මෙන්නට කාලයයි.


අනිත්‍ය සංඥා වැඩු කුසල් සිතක් සැමදාම කෙලෙස් වලින් යටපත් වන්නේ නැත. ගිහි සැප කොතරම් වෙතත්, අබිනික්මන ඕනෑම මොහොතක සිදුවිය හැකිය. මම ගිහියෙකු ලෙස සැප මෙන්ම දුක හොඳීන් විඳ ඇත්තෙමි. ලවුකික ලොව තුළ ගිහියෙකු සිහින දකින බොහෝ දේ අත්පත් කරගෙන විඳ ඇත්තෙමි. නමුත් මේ විපරීත ලෝකයේ පිය පුතු සම්බන්ධතාව යනු හුදු වචන මාත්‍රයක් පමණක්ම විය.

කලක් තිස්සේ සිතේ තිබූ ආශාව නදිනි හොඳින් තේරුම් ගෙන සිටියාය. එවැන්නක් පිළිඹඳ ඉඟි අප දෙදෙනාගේ විවාහයට පෙර සිටම අප අතර හුවමාරු වී තිබුණි. නමුත් තම පවුල හා ස්වාමියා තදින් වැළඳ ගන්නා ස්වභාවය ගැහැණු සිතක සාමාන්‍ය ස්වභාවය වන අතර, නදිනි විශේෂ කෙනෙක් නොවීය. සති ගණනක හැඬුම් වැලපුම් කොතෙක් තිබුනද,  අවසන ඒ එකඟතාවය අප අතර ඇතිවීම නොවන්නට මගේ සසර ගමන තව බොහෝ දුර වන්නට ඉඩ තිබිණි.අප හමුවීමේ සිට වෙන්වීම දක්වා මෙන්ම, අතීත භව දහස් ගණනක අපේ සම්බන්ධය දක්නට තරම් මගේ සිත ප්‍රභාෂ්වරය. මේ අපේ අන්තිම හමුවීමයි. ගිහිකල ආදරය කළ දයාබර නැගණිය, දැන් ඔබෙන් සදහටම සමුගැන්මට කාලයයි මේ.

සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ නැවතුමක් කිසිත් නැත. අපට දෙමාපිය, භාර්යා මෙන්ම ඥාතීන් මෙන්ම අප ජිවිතයේ හමුවන සියළු දෙනා අප හා අතර සම්බන්ධය කවදා ඇති වුවාදැයි දකින්නට, ඉමක් කොනක් දකින්නට තරම් මගේ ප්‍රඥාලෝකය දියුණු නැත. එය සොයා යාමත්, ඒ ගැන සිතීමත් මිරිඟුවක් බව දැන් මම දනිමි. අප්‍රමාදව සසර ගමන අවසන් කිරීම පමණක් දැන් මගේ අරමුණ වී ඇත.

සෙමෙන් නැඟිට මගේ කුටිය වෙත පියමන්නෙමි. රාත්‍රිය පුරා නිදි වර්ජිත වුවද, ප්‍රඥාලෝකය බලවත් බැවින් සිතට කිසිම වෙහෙසක් නැත. ඊයේ දින මගේ පැවිදි මංගල්‍ය සඳහා ලැබුණු පුජා භාණ්ඩ කුඩා මේසයක් මත ගොඩගසා ඇත. ඒ මත්තෙහි කුඩා පාර්සලයක් මත හුරුපුරුදු අත් අකුරකින් ලොකුවට "බෙහෙත්" යනුවෙන් ලියා තිබුණි. 

සෙනසුණේ  හීල් දනයට කැඳවන "ගෙඩියේ" නාදය වන පියස පුරා නින්නාද දෙයි. දැන් මේ සටහන නිමා කල යුතුව ඇත. රෝගී වකුගඩුවෙන් සිහින්ව නැග ආ කොන්දේ අමාරුව දැන් මුළු පිට පුරාම දැඩිව විහිදෙයි. කුටිය වෙත තැබූ පියවර කීපය නිසා වෙහෙසට පත්වූ දුර්වල හර්ධ මාංශය සියුම්ව වේදනා දෙයි. දරකඩක් බඳු වූ මගේ මේ ශරීරය මීට වසර දහ අටකට පමණ පෙර  තාත්තාගේ මිය ගිය ශරීරය තත්ත්වයට කෙමෙන් පත්වෙන බව මට දැන් හොඳින් දැනේ. මොචරියේ සේවකයන් විසින් තාත්තාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අත් පා වලින් ඔසවා "දග්" හඬින් ට්‍රොලිය මතට ඇද දැමු සැටි සිහිපත් වෙයි. ක්ෂණයෙන්  මරණ  සතිය සිතේ බලවත්ව නැඟ මතුවූ ප්‍රභාශ්වර සිත, අවසන් සිත බව දැන් මට වැටහෙයි.

තුන් සිවුර හා පාත්‍රය පමණක් දරා කුටියෙන් ඉවතට තබන පය මේ භයංකර වූ සංසාර ගමනේ අවසාන පියවර බව දැන් මම ප්‍රත්‍යක්‍ෂකොට දකින්නෙමි. දහවල් වනවිට කැලයේ ඇතින් ඈතට වැඩමවා යලි කිසිදා නුපදින ලෙස  පිරිනිවණින් සැනසෙන්නෙමි ~~~~

නිමි.




No comments:

Post a Comment