Thursday, March 20, 2014

සිතන්නට යමක්.....

දිවයින පත්තරේ ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා විසින් පළ කරන ලිපියකින් උපුටා ගත්ත මේ කොටස එක වරක් නොව, දහස් වරක් උවද කියවා තේරුම් ගැනීම යහපත් වේවි. 

:: අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා 'දුකක්‌' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌, සෑම දවසක්‌ම සුබ දවසක්‌. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක්‌ පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌ වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්‌, හූනියමක්‌, එහෙම නැතිනම් කොඩිවිනයක්‌. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක්‌ තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක්‌ කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි' කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක්‌ බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක්‌ වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'

මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක්‌ ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක්‌ නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත :::


- Sunday Diwaina (Maha Rahathun Wadi Maga Osse)