Wednesday, May 21, 2014

නුඹ හොඳ මිනිහෙක් වන දා........

අහම්බෙන් අසන්නට ලැබුණ පහත ගීතය අසා බලන්න...... සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන එම ගීතය දැන් නම් ගුවන් විදුලි නාලිකා වලින් අසන්නට නොලැබෙන තරම්.......


අවාසනාවකට දැන් පරපුරේ සිටින දරුවන්ට නම් සමනළයෙකුට හිංසා කරනවා තියා, ඇත්ත සමනළයෙක් දකින්න තරම් වත් නිදහසක් නැතුව ඇති. එසේ නොවේ නම්, තරඟකාරී ජීවිත ගෙවන ඔවුන් පරිසරය තුළ නිදහසේ පැණි උරා බොන සමනළයෙකුගේ සුන්දරත්වය විඳින්න තරම් සෞන්ධර්යාත්මක අධයාත්මයකින් සම්පුර්ණ නැතිව ඇති.

ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසා බලන්න.

"නුඹ හොඳ මිනිහෙක් වන දා..... මල් පිපියන් මගෙ සිහිනේ........"

ඇත්තටම මගේ අම්මා තාත්තා මට පොඩි කාලෙදි කිව්වෙත් මේකම නේද?

කවදාවත් මට ඉංජිනෙරුවෙක් වෙන්න , තරගයන්ගෙන් දිනන්න,  ලොකු තනතුරු ගන්න කියලා නැහැ.

මොන රැකියාව කරත්, හොඳ මිනිහෙක් වෙයන් කියන දේ විතරයි කිව්වෙ. ඒ නිසාමද කොහෙද, වෙනස් දැක්මත් සකස් වුනේ.....

එත් ඒ අපට තිබු ළමා කාලයේ සුන්දරත්වය අද දරුවන්ගෙන් දෙමාපියෝ විසින්ම උදුරාගෙන අවසානයි.....

Tuesday, May 20, 2014

සරළ ක්‍රමයකින් PCB හදමු (How to make a PCB in simple steps)

මම මේ කියන්නේ මහා පරිමාණයෙන් Printed Circuit Board හදන විදියක් නම් නෙමේ... එදිනෙදා පරිපථ අත්හදා බැලීම් වලට සරළ විදියට PCB හදා ගන්න හැටියි. මෙම ක්‍රියාවලිය අදියරෙන් අදියරට සලකා බලමු.

1. අවශ්‍ය පරිපථ සටහන ඔබට හුරුපුරුදු මෘදුකාංගයක් භාවිතයෙන් ඇඳ ගන්න. මේ සඳහා Eagle හෝ DipTrace වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකියි. පහත රූපය DipTrace භාවිතයෙන් ඇඳි එවන් සටහනක් දක්වයි. ඒ වගේම, විශේෂයෙන්ම උපකරණ වල සවි වන දිශාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ප්‍රමාණවත් පළලකින් යුතුව රේඛා (traces) ඇඳ ගැනීමද, අවශ්‍ය ප්‍රමාණ මහතකින් පවත්වා ගැනීමද ඉතාම වැදගත්. නමුත් ගොඩක්  සිහින් රේඛා සහිත PCB නිපදවීමට මෙම ක්‍රමය සුදුසු නැත.


2. මෙම පරිපථ සටහන Laser Printer ක් භාවිතයෙන් තීන්ත උරා නොගන්නා, ලිස්සන සුළු මතුපිටක් ඇති කඩදාසියක මුද්‍රණය කරගන්න. එලෙස මුද්‍රණයේදී පරිපථ සටහනේ නිවැරදි පැත්ත වනුයේ, මුද්‍රිත පැත්තේ දර්පණ ප්‍රතිබිබ්බ රුපය (mirror image) ලෙස වේ. මේ සඳහා සුදුසු කඩදාසි වර්ගය සොයා ගැනීම සඳහා මුලදී සමහර විට උත්සාහයන් කීපයක් දැරීමට සිදු විය හැකිය. (2014 සඳහා ලංකා බැංකුව විසින් නිකුත් කර ඇති දින දර්ශනය සඳහා භාවිත කඩදාසියේ අනිත් පස  මම මේ සඳහා සාර්ථකව භාවිතා කලෙමි.) දැන් එම මුද්‍රිත කඩදාසිය අදාළ ප්‍රමාණයට කපාගෙන, පසෙකින් තබන්න.

3. ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන තබ පුවරුව අදාළ ප්‍රමාණයට කපාගෙන, එය හොදින් පිරිසිදු කරගන්න. මේ සඳහා "0" ප්‍රමාණයේ වැලි කඩදාසියකින් මැද, "වීම්" කුඩු යොදා ජලයෙන් හොදින් පිරිසිඳු කරගන්න. අදාළ තඹ පැත්ත ඉතා හොදින් පිරිසිදුවීම ඉතාම වැදගත්. දැන් එම පුවරුවේ ඇති තෙතමනය හොදින් වේලා ගන්න.

4. කලින් මුද්‍රණය කරගන්නා ලද කඩදාසිය ගෙන, මුද්‍රිත පැත්ත තඹ පුවරුව මතට සිටින සේ තබා, රත් කරන ලද iron එකක් භාවිතයෙන් හොදින් iron කර ගන්න. කඩදාසියේ රැළි කිසිවක් නොසිටින සේ, පරිස්සමෙන් මෙය සිදු කළ යුතුය. එමෙන්ම, සම්පුර්ණ කඩදාසිය පුරාම ඒකාකාරව හොදින් iron කර ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී, මුද්‍රණය කරන ලද තීන්ත උණු වී, තඹ තහඩුවේ ඇලීම සිදු වේ. එහෙත්, අනවශ්‍ය පරිදි තදින් රත් කිරීමත්, අඩුවෙන් රත් කිරීමත් නිසා, ඔබට අවශ්‍ය පරිදි මෙය සිදු නොවනු ඇත. දැන් එය නිමෙන තෙක් පසෙකින් තබන්න. ඇලී ඇති කඩදාසිය ඉවත් කිරීමට දැන්ම උත්සහ නොගන්න.



5. ජල බේසමක් ගෙන, කළින් සකස් කරගත් පුවරුව එහි දමා, කඩදාසිය පෙගෙන්නට හරින්න. දැන් සෙමෙන් සෙමෙන් කඩදාසිය ඉවත් කරගන්න. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.



ඉහත පෙන්වා ඇති පරිදි තවදුරටත් කඩදාසි කැබලි සුදු පැහැයෙන් ඉතිරිව පවතී නම්, ඒ සියල්ල ඉවසීමෙන් යුතුව ඉවත් කරගැනීම වැදගත් වේ. යම් ලෙසකින්, සුළු ප්‍රදේශයක traces නිවැරදිව පිහිටා නොමැති නම්, permanent marker pen 1 ගෙන කිහිප වරක් එම traces උඩ අඳින්න.

6. FeCl3 (Ferric Chloride) ගෙන, ඒවා ප්ලාස්ටික් භාජනයකට දමා (හෝ, ජලයට Ferric Chloride කැට සෙමින් එකතු කරමින්) ද්‍රාවණයක් සාදා ගන්න. Ferric Chloride අත් වල හෝ ඇඳුම් වල තවරා නොගැනීමට පරෙස්සම් වන්න. දැන් සකසා ගත් පුවරුව එම සංයෝගය තුළට දමා, දෙපසට කලතමින් හොදින් නිරීක්ෂණය කරන්න. මෙහිදී Cu, FeCl3 සමග ප්‍රතික්‍රියා කර, පුවරුවේ විවුර්ත ප්‍රදේශයේ තඹ සියල්ල දිය වීම සිදු වේ. නමුත්, බොහෝ වෙලාවක් පුවරුව මෙම සංයෝගය මත නොතබන්න. අනවශ්‍ය තඹ සියල්ල දිය වුනු පසු, පුවරුව ඉවතට ගෙන හොදින් ජලයෙන් සෝදා ගන්න.




7. Tinner පෙඟ වූ රෙදි කැබැල්ලකින් පුවරුව හොදින් පිස දමන්න.


ඉහත රුපයේ පෙනෙන පරිදි, සමහර ස්ථාන වල traces විනාශ වී ඇති බව ඔබට පෙනෙනු ඇත. නිවැරදිව iron නොවීම මෙයට හේතුව වේ. නමුත්, පරිපථය සකස් කරන අවස්ථාවේදී පහසුවෙන්ම ඊයම් යොදා මෙය පිළිසකර කරගත හැකිය.

8. දැන් 0.8mm ප්‍රමාණයේ ඩ්‍රිල් කටුවකින් කුඩා සිදුරු ද, 1mm හෝ, ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කටු යොදා, සිදුරු විද ගන්න.

ඉහත ක්‍රමයට සාදා ගත් තවත් පරිපථ පුවරුවක් පහත දැක්වේ.



ඔබට මෙවැන්නක් අවශ්‍ය වූ විට, මෙය අත්හදා බලන්න. උපකරණ සවි කිරීමට පෙර විනිවිද පෙනෙන වාර්නිෂ් තුනී තට්ටුවක් ආලේප කිරීමෙන් තඹ පටි ඔක්සිකරණය වීමෙන් අව පැහැ ගැන්වීම වලකා ගත හැක. අධිසැර විදුලි (High Voltage) පරිපථ පුවරුවක් නම්, උපකරණ පාස්සා ගැනීමෙන් පසු ෂෙලැක් අලේප කිරීමෙන් පුලිඟු (sparks) ඇතිවීම වලකා ගත හැක.

විශේෂ ස්තුතිය - යන්ත්‍රික අධිකාරී කසුන් මහතා. (මා. ස. අ.)