Thursday, June 28, 2018

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

එතැන් සිට කතාව:




සුපුරුදු පරිදි පාවහන් ගලවා CCU ලෙස සඳහන් නාම පුවරුව යටින් ඇතුළු වී, මා පළමුව නෙත් යොමුවේ ඔහු දහවල් සිටි ඇඳ වෙත වුවත්, මේ වන විට එහි වෙනත් මුහුණක් විය. එතරම් කාර්ය බහුල වූ හදවත් රෝග ඒකකය තුළ, මොහොතකටවත් ගිලන් ඇඳක් හිස්ව තබන්නට නොහැකි වී ඇති සෙයකි.


"මිසී, මිස්ටර් ජයසුරියගේ බොඩි එක මෝචරියට ගෙනිච්චද?" පියෙකු වෙනුවෙන් පුතෙකුට අසන්නට වන අමිහිරිම පැණයක්, කාර්ය බහුල නර්ස් නෝනා කෙනෙකු වෙත යොමු කළෙමි.

"ආ ඔයාල මිස්ටර් ජයසුරියගේ ගෙදරින්ද? අර කෙළවරේ බොඩි එක තියෙනවා තවම. එතනට ගිහින් බලන්න. තව ටිකකින් මොචරියෙන් ගෙනියන්න ඒවි." 

රතු මල් වැටුන සුදු පැහැති පෙරවන රෙද්දකින් සම්පුර්ණයෙන්ම වසා, වාට්ටු කෙලවරේ හුදෙකලාව නිසොල්මන්ව පසුවන තාත්තා වෙත දහසක් සිතුවිලි සිතේ දරාගෙන පිය මැන්නෙමි. සෙමෙන් මෑත් කළ රෙද්දෙන් මතු වූ ඒ පියවුන දෑසත්, උඩු රැවුලත්, අහිංසක මුහුණත්, තවමත් මැවී පෙනෙයි. අත අල්ලා බැලුවෙමි. හිස අතගා බැලුවෙමි. ඒවා වෙනදා මෙන් නොව, අයිස් මෙන් සීතලය. ඔහු මාගේ ස්පර්ශයට වෙනදා මෙන් දෑස් විවරකොට බැලුවේ නැත !

කෙමෙන් වටවූ ලඟම නෑ පිරිස් ඔහු වෙත ගොස්, ඔහු අප හැර ගොස් ඇති බව ප්‍රත්‍යක්ෂ කොට දැනගත්හ. මේ අතර ඔහු වෙනුවෙන් කළ හැකි පින්කමක් ලෙස, ඔහුගේ දෑස් දන් දෙන්නටද මම ඔහුගේ පුතා ලෙස අත්සන යෙදු බව මට තවම මතකය.

මේ අතර පැමිණි මොචරියේ සේවකයන් පිරිසක් තාත්තා ගෙනියන්නට සුදානම් වෙයි.

"දැන් dead වෙලා පැය දෙක සම්පුර්ණයිද මිසී"

"ආ ඔව්"

"ඔය ගෙදර කට්ටිය ටිකක් එලියට යන්න"

එහෙත් තාත්තා තනි කර කොහේ යන්නද? මම එතැනම රැදුනෙමි. එළියේ ඇති වීදුරුවෙන් දෑස් පිහිරා ගලා හැලෙන කඳුළු ධාරා ඇතිව අම්මා අප දෙස බලා හිඳී. තුන් දෙනෙකුගෙන් යුතු අපේ කුඩා පවුලේ එක් අයෙකු මෙලෙස වෙන්ව යයි. මම සිත තවත් දැඩි කරගත්තෙමි. 


තාත්තාගේ අත් දෙකෙන්ද, කකුල් දෙකෙන්ද අල්ලා ගත් මොචරියේ සේවකයන් තිදෙනෙක්, "දග්" යන හඬකින් වෙනත් ට්‍රොලියක් වෙත ඔහගේ ශරීරය අත හරියි. 

"අහ්..... ඒත් දැන් මේ මගේ තාත්ත නෙමේ. ප්‍රාණය වියැකුණ දර කඩක් බඳු වූ ශරීරයක්. මේ ශරීරය මම මගේ කියල අල්ල ගන්න දෙයක් නැහැ.. මට වුනත් මෙච්චරයි."  අන් කවරදාටත් වඩා ප්‍රබලව අනිත්‍ය ධර්මතාව සිතේ බලවත් වෙයි.

කාලයක් යනතෙක් වැස්සක් නොවැටුන කුරුණෑගල නගරයට මහා හඬින් අකුණු පුපුරමින් අකාලයේ  මහ වැස්සක් ඇදහැළෙයි. වැස්සේ තෙමෙමින්ම මෝචරිය වෙත ගිය මම, තාත්තාගේ සිරුර අත්සන් කොට භාර ගෙන, මල් ශාලා රථය වෙත භාර දුන්නෙමි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදින රාත්‍රී දහය වන විට තැඹිලි පැහැති මළානික, කැරකෙන එළියක් විහිදුවන පහනක් දරමින් පැමිණි "ශෙරින්ටන් මල් ශාලාව" ලෙස නම් ගසා තිබු වෑන් රථයක නිසලව වැතිර, තාත්තා නැවත නිවසට පැමිණියා මට හොඳින් මතක ඇත. විලාප තියා හඬන්නට අවැසි වුවත්, සිත ගලක් කොට, කළ යුතු වැඩ සියල්ල ඉටු කළෙමි.


රාත්‍රිය එළබෙත්ම, මිදුලේ ගැට පිච්ච වැලේ මල් පුබුදුව, පළාතම සුවඳ ගලවයි. මම නැගිට ගොස්, ඉන් මල් තුනක් නෙළා ගත්තෙමි. ඒවා තාත්තා නිසලව නිදන දෙන වෙත ගෙන ගොස්, ඔහුගේ හිස දෙපස තැන්පත් කළෙමි. ජීවත්ව සිටියදී ඔබට පපුවේ අමාරුව හදිසියේ බලවත් වන විට දිවගොස්, "දිව යට තියන පෙති" (Glyceryl Trinitrate for Angina - GTN) බෝතලය සොයා දුන්නද, දැන් ඔබ වෙනුවෙන් පුද දෙන්නට ඇත්තේ සුවඳ මල් විතරයි තාත්තේ.

ඉන් පසු දිනම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුනේ, ඔහුගේ කැමැත්ත පරිදිමයි. හිරු බැස යන සන්ද්‍යාවක, කුරුනෑගල වැව මතින් දිවෙන මාර්ගයේ  මාස්පොත ආදාහනාගාරය වෙත වාහන පෙරහැරකින් රජෙකු සේ ඔහු අවසන් ගමන් ගිය දර්ශනය අදටත් එලෙසින්ම මට මතක තිබේ.


අවසන් වරට ඔහුගේ දේහය දැක්ම සඳහා ආදාහනාගාරයේදී විවුර්ත කරන විට, ඊයේ රෑ මම තැන්පත් කළ පිච්ච මල් තුන මිලානව යමින් තිබුණි. අවසන් මොහොතේ කඩිමුඩියේ දිව පැමිණි නදිනි නම් වූ එකළ මගේ අදරවන්තියද, ඊයේ දින දක්වාම මගේ බිරිඳ ලෙසද ජිවත් වූ ඇය, තම අනාගත මාමණ්ඩිය වන්නට සිටි ඒ පුරුෂයාට නමස්කාර කළාය.



........... තෙවන කොටසින් හමුවෙමු .................




1 comment:

  1. Ithuru tikath liyanna. Gdk lassannai. Sanvedi kathawaka

    ReplyDelete