Wednesday, May 23, 2018

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

සිතුවිළි අතර තනි වෙන්නට රාත්‍රී අඳුර සහ සිහින් පොද වැස්ස තරම් තවත් උපකාරී වන පරිසර සාධක නොමැති තරම්. නිහඬතාවයේ කරවටක් ගිලුන බුද්ධංගල සෙනසුණේ වන පරිසරයද ඊටම  ගැලපෙයි. බුද්ධ චිවරය දරා සිටින මා වැන්නවුන්ට ගිහි කල අතීත අවර්ජනාවන් එතරම් අදාළ නොවුණද, මා වැනිම තවත් අයවලෙකුට මනස මෙහෙයවන්නට, නිවන් මාර්ගය පෙන්වා දෙන්නට ඒ අතීත අවර්ජනා උපකාරී වනු ඇතැයි යන මයිත්‍රී චේතනාවෙන්ම එය මෙසේ අකුරු කරන්නෙමි. කෙසේ වෙතත්, සදහටම මෙය මගේ අවසාන සටහන වනු ඇත ! .............................

[අතීත කතාව ]




එදිනම එය එසේ සිදු නොවේ යැයි විස්වාස නොකළේ, මීට පෙරද කීප වතාවක්ම එය එලෙසම සිදු වී ඇති බැවිනි. තදබල කිරීටක ධමනි අවහිරතාවකින්ද, ඒ නිසාම රුධිරය නොමැතිව කීප වතාවක්ම හර්ධයාබාධ වැළදීමෙන් දුබල වූ හදවතක්ද දරා සිටි ඒ මහා පුරුෂයා, සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් යුතු කුඩා පවුලක ප්‍රධානියා විය. "හදවත" නමැති අවයවය දුබල වූවද, කිසිදා සිතින් දුබල නොවූ ඔහු, එය සිදුවන්නට සතියකට පෙරත්, එම කුඩා පවුලට තම යුතුකම් මනාව ඉටුකරමින් පියෙකුගේ චරිතයත්, ස්වාමි පුරුෂයෙකුගේ චරිතයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  පරිපුර්ණ කරගත්තෙක් විය.

ඔහු රැකියාවෙන් පුද්ගලික අංශයේ කාර්මික නිලධාරියෙකි. කුඩා වාහනවල සිට විශාල දොඹකර දක්වා වූ කාර්මික වැඩ ඔහුට අතැඹුලක් සේ විය.

ඔහුට මුලින්ම පපුවේ අමාරුව සැදුනේ හරියටම මට වයස දහය සම්පුර්ණවන දිනයේදීය. ඉන් වසර තුනකට පසුවත්, ඊටත් පසුව මම දෙවන වර උසස්පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙවෙනි ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමට පෙර දින රාත්‍රීයෙත් තදබල ලෙස පපුවේ අමාරුව උග්‍ර වූ ඔහු එවර නතර වුයේ කොළඹ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයේ ය. පරීක්ෂණ ගණනාවකින් පසු, ඔහුගේ ජීවිතය ඉතාම අවදානම් බව නොපවසා පැවසු ලොකු දොස්තර මහතා, ගෙදර ගෙන ගොස් කැමති පරිදි සත්කාර සංග්‍රහ කරන ලෙස අපව දැනුවත් කළ බවද, ඉන්පසු බොහෝ කාලයක් යනතුරු බොහෝ දිනවලදී රාත්‍රියේදී අසනීපවී ඔහු නැඟූ කෙදිරිලි හඬද අදටත්  මගේ මතකයේ නොමැකෙන සටහනක්ව ඇත. නමුත් කාලයත් සමඟ එවරද ඔහු සුවපත් විය ! නමුත් රැකියාවෙන් සදහටම ඉවත්වන්නට සිදුවන තරමටම ඔහුගේ හදවත දුබල වීමට එවර අසනීපය හේතු විය.

කුඩා කළ අප ඉතා කම්කටොලු බහුල ජිවිතයක් ගෙවා දැමුවෙමු. අපගේ උපන්ගම වූ ත්‍රිකුණාමලයෙන් ත්‍රස්තවාදී කලබල නිසා සියලු දේපල අතහැර දමා බැහැර වූ අපට, වර්ථමාන පදිංචි ස්ථානය දක්වා  ගමන සුමට එකක් නොවීය. ආර්ථික අග හිඟකම් මෙන්ම, ඉඩම් නඩුවකටද මැදිහත් වන්නට මේ කාලයේදී අපට සිදු විය.

අපට පිරිවර සම්පත්,  නෑදෑ හිතවතුන් සිටියේ නැත. ඔහු අසනීප වී රැකියාවක් කරගත නොහැකි තත්වයට පත්වූ විට තවත්  ඔවුන් අප තනි කළහ ! ඒ තනිකම සහ අසරණ බව විසින් මාව ඉංජිනේරු උපාධිධාරියෙක් ලෙස ඔසවා තැබීය. අද උදෑසන පැවති මගේ පැවිදි මංගල්‍ය දක්වාම, ගිහි වතට සමු දෙන ඒ මොහොත දක්වාම, මම අර්ධ රාජ්‍ය අංශයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය  කළෙමි.

ඔහුගේ අවසාන දවස් වනවිට, කකුලේ ඇතිවූ තුවාල තත්වයකට ප්‍රතිකාර ගැනීමට ඔහුව කායික රෝග විශේසඥයා වෙත පමුණුවන විට, ඔහුට හදවත් රෝගය වැළඳී වසර විසි තුනක් සම්පුර්ණවෙමින් පැවතුණි. ඒ වන විට ඉතා දුර්වල වූ ඔහුගේ හදවත් පෙශියට තවදුරටත් රුධිරය හැසිරවීම මනාව සිදු කළ නොහැකි බවත්, ඒ නිසාම කකුල්වල තරලයන් එකතුවීම ස්ථිරව නැවත්වීම සඳහා ප්‍රතිකාරයක් නොමැති බවත්, ව්‍යංගාර්ථයෙන් ඔහු වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බවටත් කළ රෝග විනිශ්චය තේරුම් ගැනීමට අම්මාටත් මටත් හැකි විය !

ඉනික්බිතිව සතියක් ගතවෙන්නටත් පෙර, ඔහුගේ ජීවය ඔහු කෙරෙන් කෙමෙන් පලා යන ලක්ෂණ බලා සිටියදීම පහළවන්නට විය. බලා සිටිය නොහැකි තැන, හදවත් පිළිඹඳ විශේසඥ දොස්තර මහතා හමු වීමෙන් පසුව ඔහුගේ නිර්දේශය සහිතව ඉක්මනින්ම රෝහල් ගතවන්නට ඔහුට සිදු විය. ඔහුගේ මෙවර නවාතැන වුයේ කුරුණෑගල මහ රෝහලේ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයයි.

කෙනෙකුගේ ස්වභාවික මරණයට පෙර, ඔහු කෙරේ එම ලක්ෂණ පහළවේ. ඒ පිලිබඳ ක්‍රමවත් විද්‍යාවක් බටහිර වයිද්‍ය විද්‍යාව සතුව දියුණු වී නොමැති වුවද, ඒ පිළිබඳ සත්‍ය කලින්ම තේරුම් ගැනීමට මෙවර අම්මාට හැකි විය.

ඒ දිනය උදා වී ඇති බව මම එදින සිහිනෙකින්වත් නොසිතුවෙමි. ඔහුගේ බොහෝ රෝග විනිශ්චය වාර්තා එදින උදයේද අතිශය සාමාන්‍ය විය. හදවතේ ගැස්ම වැඩි බව පමණක් දැනගන්නට ලැබුණ අතර, එයට අදාළ බෙහෙත් ලබා දුන් බවත්, මේ වන විට ඔහුගේ තත්වය ස්ථාවර බවත් වයිද්‍ය මතය විය. නමුත් ඔහු කෙරෙන් ජීවය පලා යන ලක්ෂණ වඩාත් දක්නට විය. ඔහුට තනිවම නැගිට ගත නොහැකිය. එදින උදැසන මම ඔහුගේ අතට තට්ටු කර, "තාත්තේ" යැයි ඇමතූ විට, මා දෙස බලා මඳ සිනා පා, නැවත, මිට පෙර සිදු වූවාක් මෙන්ම, එදින උදයේද ඔහුට පානය කරන්නට දුන්න තේ උගුර බිව් සැනෙන් අමාරුවෙන් වමනය කර, සිහි මඳ ගතියෙන් මෙන් නින්දට වැටුණේය.

එදින දවල් රෝගීන් බලන වෙලාවට  අම්මාත් මමත් ඔහු පෙර සිටි තැනට පැමිණි නමුත්, එතැන ඔහු සිටියේ නැත. වාට්ටු භාර හෙදියන් පැවසු පරිදි ඔහු වෙනත් ඒකකයකට මාරු කර තිබුණි.

මා කළ අනුමානය වැරදි විය. ඔහු සුව වෙනවා වෙනුවට නව වාට්ටුවේදී වයර් සහ විවිධ හඬ නගන යන්ත්‍ර සමුහයකට ඔහුගේ සිරුර සම්බන්ධ කර තිබුණි. පෙර පරිදිම ඔහුගේ අත අල්ලා, "තාත්තේ" කියූ නමුත්, මෙවර ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. මම වඩා විමසිළිමත් වූවෙමි. කටින් ඇතුළු කරන ලද බටයක් හරහා යන්ත්‍රයක් මගින් ඔහුගේ පෙනහළු වලට විටින් විට බලහත්කාරයෙන් ඔක්සිජන් තෙරපයි. බෙල්ලෙන් විද සම්බන්ධ කරන ලද ලොකු ඉන්ජෙක්ෂන් කටුවකට ස්වයංක්‍රිය යන්ත්‍ර තුනක් හරහා එන බෙහෙත් දියර බට තුනක් සම්බන්ධ කර තිබුණි. ශරීරයේ ඔක්සිජන් දර්ශක තිරයක්ද, ECG යන්ත්‍රයක්ද, හදිසි අවස්ථාවකදී විදුලි සැර අල්ලන යන්ත්‍රයක්ද, තවත් නම නොදන්නා උපකරණ දෙකක්ද ඔහුගේ ශරීරය හා සම්බන්ධව ජිවය පවත්වාගෙන යයි. ඒවායේ දිස් වූ විවිධ හැඩති ප්‍රස්ථාරයන් මෙන්ම, නගන විලාප හඬවල් (alarms) බොහෝ කාලයක් යන තෙක්ම දෙසවනේ රැව් පිළිරැව් දුන්නා මට මතකය.

මම පහළ බැලුවෙමි. MGE වර්ගයේ විශාල අනවරත බල සැපයුම් (UPS) උපකරණ දෙකක් විදුලි සැපයුමට සම්බන්ධය. එවැනි උපකරණ අලුත්වැඩියා කර මනා පළපුරුද්දක් එවකට මට තිබුණි. මම ඒවගේ පරිපථ සිතින් මවා ගත්තෙමි. "මගේ තාත්තගේ ජීවිතය පවත්වාගන්න මේ උපකරණය ගොඩක් වැදගත්... ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ඔය දෙන්නා තාත්තගේ ජීව ආධාරක උපකරණ වලට විදුලිය දෙන්න ඕන."

මම ඔහුගේ ඇඟිලි ස්පර්ශකොට බැලුවෙමි. ඒවා සීතලය. දෙපා අතගා බැලුවෙමි. ඒවා අයිස් මෙන් සීතලය. හිස අතගෑවෙමි. මඳ උණුසුමක් එහි ඇත. වාට්ටු භාර දොස්තර නෝනා කිව් හැටියට ඔහුගේ තත්වය ඉතාම අසාද්‍යය. මෙම වාට්ටුවට ගෙන එදිදීත් ඔහුගේ හදවත අක්‍රිය වන්නට ආසන්නව තිබී ඇත.

"බීප්.... බීප්.... බිප් බිප්........... බීප්.... බීප්.... බිප් බිප්....." රතු පැහැති බල්බයක් දල්වමින් හා හදිසි එලාම් හඬක් නංවමින් හදවත් මොනිටරය එකවරම අස්ථාවර රටාවක් තිරයේ දක්වයි.

"ඔයාලා ටිකක් අයින් වෙන්න"..... දොස්තර නෝනාගෙන් හදිසි විධානයක්.

නතර වන්නට ගිය ඔහුගේ හදවතට විදුලි සැර දෙකක් ලබා දුන් හැටිත්, ඒ අනුරූපව ඔහුගේ පපුව ප්‍රදේශය ඉහළ ගොස් ඇඳ මත පතිත වූ සැටිත් කොනකින් මෑත් වූ තිර රෙද්ද අතරින් මට පෙනෙයි. නැවතත් හදවත් මොනිටරයේ ස්ථාවර රටාවක්...........

"මේ තුන්වෙනි සැරේට ඇරෙස්ට් වුනේ. ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි ඔයාල යන්න දැන්." ...... නැවතත් නියෝගයක්.

එදින දහවල් ලෙඩුන් බලන වෙලාව අවසන්ව නිවසට පැමිණියේ, තාත්තා නැවත නොයෙන බව හොඳින්ම දැනගෙනයි. එබැවින් මරණ ගෙදරකට සුදුසු වන පරිදි ගේ අස් කිරීම ඇරඹුවද, මෙතරම් ඉක්මණින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වේ යැයි නොසිතුවෙමි. කිසියම් වූ විශ්මයකින් ඔහුට යළිත් ජීවය ලැබෙනු ඇතැයි සිත කියන්නට වෙයි.......

එදිනම හවස් වරුවේ නැවතත් ඔහුව බලන්නට පිටත් වන්නට සුදානම් වූ මොහොතේ, නිවසේ දුරකථනය නාද දෙයි. කිසියම් නුහුරු හැඟුමක් සිතට දැනුනද, තිරයේ සටහන් වී ඇති නුහුරු අංකය සිතෙන් ගලපන්නට උත්සහ කරමින්, ප්‍රතිචාර දැක්වීමට රිසීවරය කණ මත තබා ගත්තෙමි.

ඒ මොහොතේ රිසිවරය තුළින් ඇසුන විවිධාකාර වූ විද්‍යුත් නාද රටාවන් හමුවේ, අමතන්නා කියන්නටත් පෙරම, ඇමතුම එන්නේ කොතනින්ද සහ, අමතන්නට හේතුව කුමක්ද යන්න ක්ෂණයෙන් වැටහුණි. එවකටත් හොඳින් පුරුදු කළ මරණසතිය සිහිකරමින්, සිත දැඩි කර ගත්තෙමි.

"මේ මිස්ටර් ජයසුරිය ගේ ගෙදරින්ද?"

"ඔව් මහත්මයා, ඔබතුමා අමතන්නේ අසුභ ආරංචියක් දැනුම් දීමට වෙන්න ඕනේ"

"ඔව් මහත්මයා, මිස්ටර් ජයසුරිය හවස තුනට පමණ අභාවප්ප්‍රප්ත වුණා. මම අක්ෂිදාන සංගමයේ කුරුණෑගල මහ රෝහලේ නියෝජිත. දැන්ම මෙහෙ එනවද ඔබතුමාලා?"

"ඔව් මහත්මයා, දැන් එන්න හදන්නේ"...............................

හඩන්නට ඕනෑ තරම් සාධක තිබුනද, ඇසට කඳුළක්වත් ඉනුවේ නැත..... "උප්පජිත්වා නිරුජ්ජන්ති" ලෙස වදාල බුදු බණද, හුරු කොට තිබුනාවූ මරණසතිය සිත කළු ගලක් කොට ඇති සෙයකි.


........... දෙවන කොටසින් හමුවෙමු .................



No comments:

Post a Comment