Friday, March 6, 2020

ආවර්ජනා (තෙවන කොටස) - ජීවිතය ගලා යාම

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

එතැන් සිට කතාව:


කාලය යනු මිරිඟුවක් බව දැන් මම දනිමි. එහෙත් ඒ මිරිඟුව තුළ ගතවූ මගේ අතීතය තුළ සිදු වූ සිද්ධි අපමණය. සමහර සිද්ධි සතුටුදායකය. සමහර දේවල් දුක්ඛ දායකය. සතුටට වඩා දුක බහුලය. ඒත් ඒවගෙන් දැන් මට දැනෙන්නේ උපේක්ෂාවක් පමණි. සසර කතරෙන් එතෙර වීම සඳහා යන මේ ගමනේ එක කඩඉමක් ඊයේ රෑ ඉක්මවා ආර්ය ජාතියෙහි උපත ලද්දෙකුට අතීතය ගැන ඇත්තේ හුදු උපේක්ෂාවක් පමණි. නමුත් සියලු කෙලෙසුන්ගෙන් තොර නොවූ මගේ සිත තව තවත් අතීතය මෙනෙහි කරයි.



කාලයක් තිස්සේ ඇදෙමින්, මිය යමින්, නැවත දළු ලමින් වැඩුණු නදිනි ගේ සහ මගේ ආදර සම්බන්ධය විවාහය දක්වාම තහවුරු වන්නට එදා පියාගේ අවමංගල්‍යට නදිනිගේ පැමිණීම හේතු වූ බව මට තවම මතකය. පියාගේ නික්ම යාමෙන් එකහමාරකට පසු අප දෙදෙනාගේ විවාහය වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබ ස්ථිර විය. අදින් වසර දහසයකට පෙර, එනම්  දෙදහස් දහ නාමයෙ අග එක්තරා මාසයක අප දෙදෙනාගේ විවාහය සිදු වූ බවද, දායාද ලෙස සහජාත පුතුන් දෙදෙනෙකු සහ එක් දුවණියක ලද ද, දුවණියට අඩු අයුෂයෙන් මරණයට පත් වන්නට තරම් ඇයගේ ජනක කර්මය දුර්වල ව තිබු බවද, එම සොවින් බොහෝ කාලයක් යන තුරු ඇයගේ අම්මාට මිදෙන්නට නොහැකිව තිබු බවද ඊයේ වනතුරු පිය පදවිය දැරූ සිතකට කෙසේ අමතක කරන්නද ?

අපගේ විවාහ දිවිය දුක සැප සමව ගලා ගිය දිවියක් විය. නදිනි සැබවින්ම හොඳ බිරිඳක වුවද, පරිපුර්ණ නොවීය. මුලදී සුළුවට පටන් ගත් නැන්දම්මා - ලේලී ප්‍රශ්න, අප දෙදෙනා අතර පවා ආරවුල් වලට මගක් විය.  සහජාත දරුවන් දෙදෙනෙකු උස් මහත් කළ ඇ, මටද හැකි උපරිම අයුරින් යුතුකම් ඉටු කළාය. පිලිවෙලින් ගත් කල ඇයගේ මවගේ වෙන්ව යාමත්, අප නව නිවසක පදිංචියට යාමත්, මා හට සිදු වූ දරුණු රිය අනතුරත්, අපගේ පළමු දරුවා එකුන් විය එළබෙත්ම ජිවන ගමනෙන් නික්මිමත්, ඇයගේ පියාගේ නික්ම යාමත්, ඉන්පසු දරු දෙදෙනෙකු ලැබීමත්, මගේ මවගේ වෙන්ව යාමත්, තදබල ලෙස මගේ හදවත සහ වකුගඩු රෝගී වීමත් මේ අතර කාලයේදී සිතේ තදින් සටහන්ව ඇති මතක සටහන් වේ.  

ප්‍රිය පාඨකය, මට සමාවන්න. මේවා කියවීම ඔබට වෙහෙසකරය. නමුත්, හෙට දිනයේ පාන්දරම නික්ම යන මා දමා යන මේ සටහන් පොත කවදා හෝ නැවත තව කෙනෙකුට කියවන්නට ලැබෙනු ඇත.

........... හතරවන (අවසාන) කොටසින් හමුවෙමු .................