Wednesday, December 13, 2017

වවුල් වස්තුව - 01 කොටස

Image source : https://nunna-chan.deviantart.com/art/My-graduation-bat-501995653

මොරටුව විශ්ව විද්‍යාලයේ 38 වැනි උපාධි ප්‍රධානෝත්සවය මෙවර ඔක්තෝම්බර් මස 10 සහ 11 වැනි දිනයන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවතිණි. මෙය අරමුණු කරගෙන පොස්ටුවක් ලියා තබන්නට සිත් වුවද, එය දිනෙන් දිනම කල් යන්නට වූ බැවින්, අදවත් එය මෙසේ ලියා දක්වන්නට උත්සහ දරමි. තවද, මෙහි යොදාගත් භාෂා විලාසය සහ වචන හුදෙක්ම විනෝදය සඳහා පමණක්ම බව හුදී ජනයා විසින් සැලකුව මනාය.

විශ්ව විද්‍යාලයක මෞලි මංගල්‍ය වන්නේද එහි අග්‍ර ඵලය වූ උපාධි ලාභීන් සංකේතාත්මකව සනාථ කරන්නේද උපාධි ප්‍රධානෝත්සවයකිනි.අනෙක් අතින්    මෙය මට වැදගත් වන්නේ, 2013 වසරේ සිට අමාරුවෙන් දඟලා ගොඩ දමා ගත් M.Sc උපාධිය සනාථ කෙරෙන උපාධි මාලය  කරේ දමන්නේ එදින වීමය. මෙයට මා විසින් යොදන නම, "වවුල් මංගල්‍ය" වන අතර, ඒ ඇයිදැයි මෙය කියවන්නාහු විසින් උපාධි ලෝගුව හා එහි ස්වභාවය bat man සමඟ සන්සන්ධනය කොට අවබෝධ කරගත යුතුය.

සමහර සිංහල භාෂා විද්වතුන් විවරණය කෙරෙන ලෙස, "උපාධි" යන්න "උපධි" යන්නෙන් විකරණය වුවකි.  (උපධි  යනු වංචනික  හෙවත් කපටි කම බව අසා ඇත්තෙමි.) 

සියළු කටයුතු ආරම්භ වන්නේ, උපාධියක් ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කොට, උපාධිය සඳහා අප විසින්ම ඉදිරිපත් කරණු ලබන අයදුම් පත්‍රයක් භාර දීමෙනි. ඉන්පසුව ඔවුන් විසින් අපේ ගෙදරටම එවනු ලබන සංදේශයකින් වවුල් මංගල්‍යයේ දින වකවානු දැනුම් දේ. ඒ අතර ඔවුන් විසින් දන්වා එවන දිනයක වවුල් ඇඳුම ලබා ගත යුතුවන අතර, කිරි වව්ලන් සහ වැව්ලියන් (හරි වචනය නොදනිමි) සඳහා තනි කළු ඇඳුමක්ද, මධ්‍යම මට්ටමේ වවුල් මහතුන් සහ මහත්මියන් සඳහා මෙරුන් පැහැති ඇඳුමක්ද, මොළය ස්ථිරවම හානි වූ (PhD) ලොකු වවුල් මහත්වරුන් සඳහා තද රතු ඇඳුමක්ද ඇත්තේය.

Image Source : http://clipart-library.com/clipart/kcKnk745i.htm


වවුල් මංගල්‍යයේ දෙවෙනි දින නොහොත් ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ ඔක්තෝබර් මස 11 වැනි බුධ දින උදය වරුව වෙන්ව තිබුනේ වවුල් ජනපද සැලසුම්කරණය සහ අලංකරණය සඳහා වූ මුලික උපාධිය සම්පුර්ණ කළාවූ කිරි වව්ලන්ටත්, සියළු අංශ වල මධ්‍යම සහ හිස ස්ථිරවම හානි කරගත් ලොකු වව්ලන්ටත් බෙල්ලට මාලය දැමීම සඳහායි.


ඉතින් ඔන්න මමත්, අපේ මව්තුමියත්, වවුල් මඟුලට සහභාගී වෙන්න හිතාගෙන වැලිපැන්න මීගම නිළ නිවාසයෙන් කුකුළත් මල්ලේ දාගෙන උදේ 6 වෙන්නත් කලින් අධිවේගය හරහා කොළඹ එන්න පිටත් වුණා. වවුල් මඟුලට සහභාගී වෙන්නම හිතාගෙන අම්මා  නිළ නිවාසයට කලින් දිනම පැමිණ සිටියා. කොහොමත් මධ්‍යම ප්‍රමාණයේ වව්ලෙකුට ලැබෙන්නේ එක අරධිතයෙක් සඳහා අවසර පතක් පමණයි. අපේ පියතුමා ගෙදර බලාගෙන නතර වෙන්න තීරණය කිරීමත්, වෙන්ඩ හාමිනේට නුවර ඉඳන් මන්ගච්චන්නත් බැරි නිසා ආරාධිතයා තෝරා ගන්න ගැටළුවක් නම් අවේ නැ. (වෙන්ඩ හාමිනේගෙන් thesis writing වලට ලැබුණ සහය නම් අමතක කරන්න බැහැ.)

වවුල් මංගල්‍ය සඳහා සහභාගී වන අයවලුන් උදේ 8.30 වෙද්දී පැමිණ අසුන් ගත යුතු බවට සඳහන් සංදේශය කලින්ම ලැබී තිබුණා.  අපරාදේ කියන්න බැහැ උදෑසන 6.40 වෙද්දී බත්තරමුල්ල පොල්දූව පාලම ගාවටම ආවත් traffic එකේ ගිහින් BMICH ගේට්ටුවෙන් රිංගා ගන්නා විටදී නම් 8.15ත් පහු වුණා. අපායට ගියත් උදෙන්ම බඩ කට පුරා නෙලන  පුරුද්ද නිසාත්, මව්තුමිය එදින පාන්දර 3 ට අවදිව බත් පිස තිබු නිසාත්, මට උදෑසන ආහාර ගැන ප්‍රශ්ණයක් නම් තිබුනේ නැහැ.

බලන්න අපුරුය. ඒ භුමිය එකම වවුල් විමානයකි !

(එහෙනම් වවුල් වස්තුවේ 02 කොටසින් ඉක්මනින්ම හමුවෙමු.)


Tuesday, November 14, 2017

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා....

*********************************************************
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා....
හද සෝක තැවුල් නිවනා....


චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී....
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා.....
හඬ දේවිනි කන් පිනනා....

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි...
ලිය වැල් පැටලී ගොසිනී.....

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා.....

මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳි
නේ.....
තව පෙම්බර මා සාමිනේ......

අන්න බලන් 
සඳ ......

*********************************************************

තනිකඩ ජීවිතයේ පාළුව මකාගන්න සංගීතය තරම් තවත් ඔසුවක් නැති බව,  හුදෙකලාව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවාසයක වෙසෙමින් ජීවිතයෙන් බොහෝ කාලයක්  ගෙවා දමන මම ප්‍රත්‍යක්ෂව දනිමි. දඩිබිඩි සංගීතයට එතරම් කැමැත්තක් නැතත්, රසයක් ඇති ඕනෑම ගීතයකට ප්‍රිය කරන්නෙමි.

මේ අටුවා ටීකා ලියන්නට සිත් වුනේ පසුගිය දිනෙක මා සතු ගීත එකතුවක්  (ඔව් ඔව්.. පරිගණකයේ තිබුන mp3 ටිකක් තමයි :-) ) play list 1 ට සම්පුර්ණයෙන් ඇතුලත් කර shuffle playback කරද්දී ඇසුන ඉහත ගීතය නිසාවෙනුයි.

--------------------------------------------------------------------------------------

පෙර කථාව:

ස්ථානය : Ivor Jennings ශාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
කාලය : අපි එතකොට 3rd Year (2009)

ඩොකා (රුවන් සම්පත් සහෝදරයා) කියන්නෙත් අපේ batch 1කේ අපි වගේම තවත්  Jennings වැසියෙක්.

ඩොකා : මචන් Ambalaya, මෙන්න මේ pen 1 කේ තියෙනවා වල සතියේ paly කරන සින්දු ටික. මේක copy කරගත්තේ ***** ගේ (ආර්ටෙක්ගේ කාර්ඩ් 1ක් )  lap 1කේ තිබිලා . මේ ටික copy කරගනින්.

මම :  thanks මචන්.

--------------------------------------------------------------------------------------

එදා ඒ save කරගත්ත සින්දු ටික තවමත් hard disk 1කේ සුරැකිව තියෙනවා නේද කියලා මට මේ අතීත කථාවත් එක්කම මතක් වුණා... හරියට වල සතියේ මේ සින්දු ටික නාට්‍යක් පටන් ගන්න කලින් යකඩ කටවල් වලින් ඇහෙද්දී මගේ හිතට දැනුන හැහීම හිතේ කොනක තවමත්  සුරැකිව තියෙනවා වගේ.....

මොරටුව සරසවියෙන් පශ්චාත් උපාධියක් කළත් තවමත් අපේ ජීවිතත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් කියන්නේ දෙකක් නොව එකක්ම බවයි මේ වගේ සිද්ධි වලින් දැනෙන්නේ..................


මෙන්න ඒ ගීතයට Link  ක්..

https://www.youtube.com/watch?v=sZGkFPmAwfs

Tuesday, June 28, 2016

කලකට පස්සේ...

කලකට පස්සේ අයෙමත් බ්ලොග් අවකාශයට පා තබන්න හිතුනේ හිතට එන දෙයක් කියල දාන්න හිතාගෙන. පහුගිය ටිකේ ලිවිම මෙන්ම කියවෙමෙනුත් ඈත් වෙන්න සිද්ධ උනේ වැඩ වැඩිකම නිසාමයි.


Wednesday, February 11, 2015

තාත්තා බෝනික්කා...

අහම්බෙන් දැක්ක දෙයක් Share කරන්නම හිතුනා........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: 



එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.
ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. 
රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. වහිනකොට එයා තෙමීගෙන ගිහින් කාර් එක ගේ දොර ළගටම පැදගෙන ආවා අනික් අයට නගින්න. කාට හරි සනීප නැති වුණොත් එයා ඕන වෙලාවක ගිහින් ඛෙහෙත් අරගෙන ආවා. 
එයා ගොඩාක් පිංතූර ගත්තා. ඒත් ඒ පිංතූර වල එයා හිටියේ නැහැ. සෙල්ලම් ගෙවල් හදනකොට මට හිටියා අම්මා බෝනික්කෙකුයි, තාත්තා බෝනික්කෙකුයි. සෙල්ලම් ගෙදර වුනත් වැඩිපුර වැඩ තිබ්බේ අම්මා බෝනික්කාට. තාත්තා බෝනික්කත් එක්ක මොනවා කරන්නද කියලා මම හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඉතිං දවසක් මට තාත්තා බෝනික්කා වගේ —මම දැන් වැඩට යනවා කියලා එයාව ඇද අස්සට විසිකරලා දැම්මා.
තාත්තාගේ මිනිය තිබ්බේ අපේ ගෙදර සාලේ. එදා ගොඩාක් අය කේක් වගේ හොඳ හොඳ කෑම ජාති මහ ගොඩාක් හදාගෙන ආවා. කවදාවත් අපේ ගෙදරට එච්චර සෙනග ඇවිත් තිබුණේ නැහැ. 
මම මගේ කාමරේට ගිහින් ඇඳ අස්සට නැමිලා තාත්තා බෝනික්කා එළියට අරගෙන දූවිලි පිහලා ඇඳ උඩින් තිබ්බා. එයා වෙනදා වගේම මොකුත් කළේ නැහැ. 
ඒත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයා අපි දාලා ගියාම අපට මෙච්චර දුකක් දරාගන්න වෙනවා කියලා.



(කැඩපත බ්ලොග් එකෙන්/ එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ)
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Saturday, November 1, 2014

ප්‍රමාද වීමට ඉතා ආසන්නයි

කොහේ යන්නද ප්‍රමාද වෙන්නෙ?

හිතට ලොකු භයක් දැනුන සිදුවීමක් අහන්නට ලැබුනා. සමහර අයට නම් මේක "හුරු" දෙයක් වෙන්න ඇති.

මේක අපේ හාමුදුරුවන් වහන්සේලා ගැනයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් දැන්, දානය සඳහා ලැයිස්තු දීමෙන් වෙන්නේ දායකයා සස්නෙන් ඈත් වීමයි. විශේෂයෙන්ම එම දාන වට්ටෝරුවේ මේ මේ ලෙස තිබිය යුතු බවට පනවන නීතියන්, කොයි තරම්  ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බුදුන් වදාළ මාර්ගයෙන් ඉවත් වී ඇති බවට පෙන්වන සාධකයකි.

සියල්ල මොහොතක් පාසා "අනිත්‍ය" නම් වූ ධර්මතාවයට යටත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා, දෙසවනෙන් ඇසුවා මතකයි. මේ සියල්ල අද සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වරදක් නොව, ධර්මය සතු සංදිට්ඨික බව ඉක්මනින් අතුරුදහන් වෙමින් පවතින බව හඟවන සාධකයි.

නොදැනීම දෑසට කදුළක් නැගුනේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයටත් අනිත්‍යතාව නම් පොදු ධර්මතාව නිසා "ගෞතම බුද්ධ සාසනය" නමැති පහන් සිළ නිවී යාමට ඉතා ආසන්න බව වැටහීමෙන්ද, නැතිනම් තවමත් සසරින් මිදී නොමැති මා, මේ සාසනය මඟ හැරුනොත්, තව කල්ප ගණනකින් ප්‍රමාද වීමට ඉතා අසන්න බව වැටහීමෙන්ද යන්න ගැන නම් බොහෝ වේලා යනතෙක් කල්පනා කළා මතකයි.

"සංසාරය" නමැති ඉමක් කොණක් නොපෙනෙන සයුර තරණය කරන්නට තිබුන "තථාගත ධර්මය" නමැති එකම යාත්‍රාවටත් අනිත්‍ය බව උරුම වන බව නේද උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ?

 පෙර කවරදාකටත් වඩා සංසාර භයක් සමඟ අනිත්‍ය සංඥාව සිතේ ප්‍රභලව වැඩුනා මතකයි............