Sunday, July 27, 2014

ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

"දැනුම බලය වේ...." අපි පොඩි කාලේ ඉඳලම හොදට අහලා පුරුදු වචන ටිකක් නේද? ඒත් මට පොඩි කාලෙ ඉඳලම තිබුන ප්‍රශ්නයක් තමයි "දැනුම" කියන්නේ මොකක්ද කියලා. උපාධියක් තියෙනවා නම් ඒ කෙනා තමයි දැනුම තියෙනවා කියලා මම හිතපු කාලයක් තිබුනා. අන්තිමට උපාධියකුත් ගත්ත කියමුකෝ. ඊ ළගට හිතුවා ඊට‍ වැඩිය ලොකු උපාධියක් ගත්තම දැනුම සම්පුර්ණයි කියලා. ඒත් දැන් තේරෙනවා ඒකත් වැරදි කියලා.......

හිතට පුරවා ගන්නා හැමදේකින්ම උනේ හිතේ බර වැඩි වීම විතරයි. අපි දැනුම සොයා යන්න හිතන තැන, විශ්ව විද්‍යාල වල ඉන්න උගත් මහාචාර්ය, ආචාර්‍ය වරු කොයි තරම් දැනුම නිසා හිත බර  කරගෙන ඉන්නවද?. තමන්ගේ උගත්කම නිසා "මම" කියන දේ කොයි තරම් ඒ මහත්වරු දැඩිව අල්ලාගෙන ඉන්නවාද ? බටහිර විද්‍යාව කියන අන්ධකාරය "මගේ " කරගෙන තව බොහෝ කල් සංසාරේ ඇවිදින්න "ඉන්ධන" එකතු කරගන්නවා නේද කියලා ඇත්තටම හිතට අනුකම්පාවක් දැනුනා..... තමන්ගේ අදහස හරි කියන මතයේ තදින්ම එලබ ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ "අවිද්‍යාව" පිලිබඳ ලබා ගන්නා උපාධිය කියන්නේ. මේ රටාවෙන් බැහැරට යන පින්වත් ආචාර්‍ය මහත්වරු හරිම අඩුයි. (වාසනාවකට එහෙම අය නැතුවාම නොවේ )

උපාධි ලබා ගන්නා පිරිසත් අන්තිමට සිදු කරන්නේ තමන්ගේ ගුරුවරුන් පාරේම යමින් අවිද්‍යාව පිළිබඳ ලබාගත් උපාධියෙන් හිතේ බර වැඩි කරගැනීමයි. මම ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් කියලා හිතාගෙන පොළවේ පය ගසන්නේ නැති පිරිසක් ලෙස හැසිරීමයි.

මම 2007 කාලේදී මට තිබුන අසනීපයකට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලේ සායනයකට ගියා. රෝගීන් ප්‍රමාණය වැඩි නිසාම ගොඩක් වතාවල් වලදී ඔවුන් සිටගෙන සිටින ආකාරය අනුව දොස්තර මහත්වරු ඇවිද යන මාර්ගය අවහිර වෙනවා. ලොකු දොස්තර මහත්වරු රෝගීන් අතරින් රිංගා අදාළ සායනයට පැමිණෙන අතර, සුදු කබාවලින් සැරසුන දොස්තර වීමට ඉගෙන ගන්නා පිරිස පැමිණෙන්නේ අසරණ රෝගීන්ට දොස් පවරමින්. ඔවුන් පුරුදු කරන "මාන්නය" ඒ තරම් වැඩියි. ඉතින් දැනුම බලය වේ ද?

අවිද්‍යාව ඉගෙනීමෙන් ලබා ගත් උපාධිය අතහරින්න. එය සමාජයට සේවයක් සිදු කිරීමට පමණක් යොදාගන්න. ඔබ උපාධියක් ලබාගන්නා විට, ඔබේම යහළුවන් විභාග අසමත්ව, ජීවත් වීමටවත් විදියක් නොමැතිව දුක් විදින්නේ ඇයිදැයි කල්පනා කරන්න. ඔවුන්ට ඔබ සමඟ පැමිණීමට නොහැකි වූ හේතු සිතා බලන්න. ඔබ මාර්ගය දකින්න.

මේ සටහන් ලියන්නේ කිසිම කෙනෙකුට රිදවන්න හිතාගෙන නම් නෙමේ. ඇත්තටම එවැනි අය දැක්කාම හිතේ ඇතිවෙන අනුකම්පවෙනුයි. ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

No comments:

Post a Comment