Saturday, June 21, 2014

ඔබේ අවසාන ඉලක්කය කුමක්ද?

පූජ්‍ය අචාන් චා හිමියන්ගේ "මේ භාවනාවට කාලයයි" (පරිවර්ථනය - ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා.  ISBN 978 955 667 129 2) කෘතිය කලෙකින් කියවන්නට ලැබුන හොඳ කෘතියක් ලෙස සලකමි. පුජ්‍ය අචාන් චා හිමියන් විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද අගනා දහම් පඩුරක් මේ කෘතිය මගින් පාඨකයාට හිමි වේ. බෞද්ධ අබෞද්ධ කාටත් මෙහි අන්තර්ගතය වැදගත් වේ යැයි සැලකිය හැකිය. එහි සඳහන් පහත කථාව අප සියලු දෙනාට වැදගත් වේ යැයි සිතුන නිසා එය මෙලෙස සාරාංශ කොට පළකරමි.

ව්‍යාපාර සම්බන්ධ උපදෙස් සපයන බොහෝ සාර්ථකත්වයට පත් එක්තරා මහාචාර්යවරයෙක් දුප්පත් මසුන් මරන්නන් වෙසෙන ගම්මානයක සංචාරය කරන අතර, උදැසනම පැමිණ මසුන් මරන්නෙකු සමඟ සංවාදයකට වැටින.

"ඔබ උදැසනම පැමිණ මසුන් මරා ඉන්පසු කරන්නේ කුමක්ද?" මහාචාර්යවරයා ඇසීය.

"මම මේ මසුන්ගෙන් ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ගෙන, ඉතිරි ටික විකුණනවා. ඉන්පසු ගෙදර ගොස් මගේ බිරිඳ හා දරුවන් සමඟ දිවා ආහාරය ගෙන, ටිකක් නිදා ගන්නවා. ඉන්පසු සවස මගේ දරුවන් සමඟ ටිකක් සෙල්ලම්කර, හවස සමාජ ශාලාවට ගොස් මධුවිතෙන් සප්පායම් වී යාළුවොත් එක්ක ගිටාරය වයමින් විනෝද වෙනවා. ඉන්පසු රෑ බෝ වී නිවසට ගොස් හොදින් නිදා ගන්නවා" යැයි මෙම අව්‍යාජ ධීවරයා පැවසීය.

මොහුට නොමිලයේ උපදෙස් කිහිපයක් දීමට ආශාවක් පහල වූ මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් උදෑසන සිට සවස් වන තුරු මසුන් මරන්න. එයින් ඔබට දැන් ඔබ ලබනවා මෙන් කිහිප ගුනයක අදායමක් ලබා ගත හැකියි. ඔබට එම මුදල් ඉතිරිකොට මෝටර් බෝට්ටුවක් ලබාගෙන පිරිස සමඟ වැඩියෙන් මුදල් උපයා ගත හැකියි. අවරුදු 2ක් පමණ යන විට ඔබට දෙවන මෝටර් බෝට්ටුවද මිලදී ගත හැකියි. අවරුදු හත අටක් යනවිට ඔබ විශාල ධිවර සමාගමක හිමිකරුවෙක්. ඔබට ඔබේ සමාගමේ සම්බන්ධතා ජාත්‍යන්තරයට ගෙන යා හැකියි. ඉන්පසු ඔබට කොටස් වෙළදපොලට ඇතුළත් වන්නට පුළුවන්. මේ වන විට ඔබ කෝටි ගණනක් වටිනා සමාගමක හිමිකරුවෙක්."

"මගේ දැනුම හරි ඉහලයි. මම දුන්න ව්‍යාපාරික උපදෙස් වැරදිලා නැහැ" මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

ධීවරයා මෙම උපදෙස් බොහෝ සිහි බුද්ධියෙන් අසා සිටියේය. ඔහු මෙලෙස ඇසුවේය.
"ඩොලර් කෝටි ගණනකින් මම මොකද කරන්නේ?"

එම ප්‍රශ්නයට මහාචාර්යවරයා තරමක් කළබල විය. ඔහු සැලසුම ගැන සිත යොමු කලා මිසෙක, එහි අවසානය ගැන සිතුවේ නැත.

ඩොලර් කෝටි ගණනක් අතේ ඇත්නම් කළහැකි දේවල් පිළිබඳව මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් ලස්සන ධිවර ගම්මානයකින් නිවසක් මිළදී ගන්න. ඔබට පුළුවන් සුඛෝපබෝගී බෝට්ටුවක් මිළදී ගෙන, උදැසනම ගොස් විනෝදයට මසුන් මරන්න. ඉන්පසු ඔබට දවල්වෙලා ඔබේ පවූලත් සමඟ දිවා ආහාර ගෙන, කදිම නින්දක් දාන්න පුළුවන්. සවස් වී ඔබේ දරුවන් සමඟ ගතකොට අවන්හලට ගොස් මධුවිතෙන් සප්පායම් වී, ඔබේ යහළුවන් සමඟ ගිටාරය වයමින් විනෝද වෙන්නත් පුළුවන්. "

ධීවරයා එයටද හොඳින් සවන් දුන්නේය.

"ඉතින් මම දැන් කරන්නෙත් ඕකම නේ. ඒකට ඩොලර් කෝටි ගණනක් ඕන නෑ නේ?"

-- බොහෝ දෙනෙක් මුලින් සිතන්නේ ධනවත් වීම ගැන පමණි. ඒ සඳහා බොහෝ වෙහෙසෙන්නේ ධනවත් වීමෙන් පසුව ලැබෙන දේ සඳහාය. එහෙත් ඊට පෙර සිටම හිමි සිතේ සාමය ගැන නොසිතනු ඇත.




No comments:

Post a Comment