Thursday, June 28, 2018

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

එතැන් සිට කතාව:




සුපුරුදු පරිදි පාවහන් ගලවා CCU ලෙස සඳහන් නාම පුවරුව යටින් ඇතුළු වී, මා පළමුව නෙත් යොමුවේ ඔහු දහවල් සිටි ඇඳ වෙත වුවත්, මේ වන විට එහි වෙනත් මුහුණක් විය. එතරම් කාර්ය බහුල වූ හදවත් රෝග ඒකකය තුළ, මොහොතකටවත් ගිලන් ඇඳක් හිස්ව තබන්නට නොහැකි වී ඇති සෙයකි.


"මිසී, මිස්ටර් ජයසුරියගේ බොඩි එක මෝචරියට ගෙනිච්චද?" පියෙකු වෙනුවෙන් පුතෙකුට අසන්නට වන අමිහිරිම පැණයක්, කාර්ය බහුල නර්ස් නෝනා කෙනෙකු වෙත යොමු කළෙමි.

"ආ ඔයාල මිස්ටර් ජයසුරියගේ ගෙදරින්ද? අර කෙළවරේ බොඩි එක තියෙනවා තවම. එතනට ගිහින් බලන්න. තව ටිකකින් මොචරියෙන් ගෙනියන්න ඒවි." 

රතු මල් වැටුන සුදු පැහැති පෙරවන රෙද්දකින් සම්පුර්ණයෙන්ම වසා, වාට්ටු කෙලවරේ හුදෙකලාව නිසොල්මන්ව පසුවන තාත්තා වෙත දහසක් සිතුවිලි සිතේ දරාගෙන පිය මැන්නෙමි. සෙමෙන් මෑත් කළ රෙද්දෙන් මතු වූ ඒ පියවුන දෑසත්, උඩු රැවුලත්, අහිංසක මුහුණත්, තවමත් මැවී පෙනෙයි. අත අල්ලා බැලුවෙමි. හිස අතගා බැලුවෙමි. ඒවා වෙනදා මෙන් නොව, අයිස් මෙන් සීතලය. ඔහු මාගේ ස්පර්ශයට වෙනදා මෙන් දෑස් විවරකොට බැලුවේ නැත !

කෙමෙන් වටවූ ලඟම නෑ පිරිස් ඔහු වෙත ගොස්, ඔහු අප හැර ගොස් ඇති බව ප්‍රත්‍යක්ෂ කොට දැනගත්හ. මේ අතර ඔහු වෙනුවෙන් කළ හැකි පින්කමක් ලෙස, ඔහුගේ දෑස් දන් දෙන්නටද මම ඔහුගේ පුතා ලෙස අත්සන යෙදු බව මට තවම මතකය.

මේ අතර පැමිණි මොචරියේ සේවකයන් පිරිසක් තාත්තා ගෙනියන්නට සුදානම් වෙයි.

"දැන් dead වෙලා පැය දෙක සම්පුර්ණයිද මිසී"

"ආ ඔව්"

"ඔය ගෙදර කට්ටිය ටිකක් එලියට යන්න"

එහෙත් තාත්තා තනි කර කොහේ යන්නද? මම එතැනම රැදුනෙමි. එළියේ ඇති වීදුරුවෙන් දෑස් පිහිරා ගලා හැලෙන කඳුළු ධාරා ඇතිව අම්මා අප දෙස බලා හිඳී. තුන් දෙනෙකුගෙන් යුතු අපේ කුඩා පවුලේ එක් අයෙකු මෙලෙස වෙන්ව යයි. මම සිත තවත් දැඩි කරගත්තෙමි. 


තාත්තාගේ අත් දෙකෙන්ද, කකුල් දෙකෙන්ද අල්ලා ගත් මොචරියේ සේවකයන් තිදෙනෙක්, "දග්" යන හඬකින් වෙනත් ට්‍රොලියක් වෙත ඔහගේ ශරීරය අත හරියි. 

"අහ්..... ඒත් දැන් මේ මගේ තාත්ත නෙමේ. ප්‍රාණය වියැකුණ දර කඩක් බඳු වූ ශරීරයක්. මේ ශරීරය මම මගේ කියල අල්ල ගන්න දෙයක් නැහැ.. මට වුනත් මෙච්චරයි."  අන් කවරදාටත් වඩා ප්‍රබලව අනිත්‍ය ධර්මතාව සිතේ බලවත් වෙයි.

කාලයක් යනතෙක් වැස්සක් නොවැටුන කුරුණෑගල නගරයට මහා හඬින් අකුණු පුපුරමින් අකාලයේ  මහ වැස්සක් ඇදහැළෙයි. වැස්සේ තෙමෙමින්ම මෝචරිය වෙත ගිය මම, තාත්තාගේ සිරුර අත්සන් කොට භාර ගෙන, මල් ශාලා රථය වෙත භාර දුන්නෙමි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදින රාත්‍රී දහය වන විට තැඹිලි පැහැති මළානික, කැරකෙන එළියක් විහිදුවන පහනක් දරමින් පැමිණි "ශෙරින්ටන් මල් ශාලාව" ලෙස නම් ගසා තිබු වෑන් රථයක නිසලව වැතිර, තාත්තා නැවත නිවසට පැමිණියා මට හොඳින් මතක ඇත. විලාප තියා හඬන්නට අවැසි වුවත්, සිත ගලක් කොට, කළ යුතු වැඩ සියල්ල ඉටු කළෙමි.


රාත්‍රිය එළබෙත්ම, මිදුලේ ගැට පිච්ච වැලේ මල් පුබුදුව, පළාතම සුවඳ ගලවයි. මම නැගිට ගොස්, ඉන් මල් තුනක් නෙළා ගත්තෙමි. ඒවා තාත්තා නිසලව නිදන දෙන වෙත ගෙන ගොස්, ඔහුගේ හිස දෙපස තැන්පත් කළෙමි. ජීවත්ව සිටියදී ඔබට පපුවේ අමාරුව හදිසියේ බලවත් වන විට දිවගොස්, "දිව යට තියන පෙති" බෝතලය සොයා දුන්නද, දැන් ඔබ වෙනුවෙන් පුද දෙන්නට ඇත්තේ සුවඳ මල් විතරයි තාත්තේ.

ඉන් පසු දිනම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුනේ, ඔහුගේ කැමැත්ත පරිදිමයි. හිරු බැස යන සන්ද්‍යාවක, කුරුනෑගල වැව මතින් දිවෙන මාර්ගයේ  මාස්පොත ආදාහනාගාරය වෙත වාහන පෙරහැරකින් රජෙකු සේ ඔහු අවසන් ගමන් ගිය දර්ශනය අදටත් එලෙසින්ම මට මතක තිබේ.


අවසන් වරට ඔහුගේ දේහය දැක්ම සඳහා ආදාහනාගාරයේදී විවුර්ත කරන විට, ඊයේ රෑ මම තැන්පත් කළ පිච්ච මල් තුන මිලානව යමින් තිබුණි. අවසන් මොහොතේ කඩිමුඩියේ දිව පැමිණි නදිනි නම් වූ එකළ මගේ අදරවන්තියද, ඊයේ දින දක්වාම මගේ බිරිඳ ලෙසද ජිවත් වූ ඇය, තම අනාගත මාමණ්ඩිය වන්නට සිටි ඒ පුරුෂයාට නමස්කාර කළාය.



තෙවන කොටසින් හමුවෙමු .




Wednesday, May 23, 2018

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

සිතුවිළි අතර තනි වෙන්නට රාත්‍රී අඳුර සහ සිහින් පොද වැස්ස තරම් තවත් උපකාරී වන පරිසර සාධක නොමැති තරම්. නිහඬතාවයේ කරවටක් ගිලුන බුද්ධංගල සෙනසුණේ වන පරිසරයද ඊටම  ගැලපෙයි. බුද්ධ චිවරය දරා සිටින මා වැන්නවුන්ට ගිහි කල අතීත අවර්ජනාවන් එතරම් අදාළ නොවුණද, මා වැනිම තවත් අයවලෙකුට මනස මෙහෙයවන්නට, නිවන් මාර්ගය පෙන්වා දෙන්නට ඒ අතීත අවර්ජනා උපකාරී වනු ඇතැයි යන මයිත්‍රී චේතනාවෙන්ම එය මෙසේ අකුරු කරන්නෙමි. කෙසේ වෙතත්, සදහටම මෙය මගේ අවසාන සටහන වනු ඇත !

[අතීත කතාව ]




එදිනම එය එසේ සිදු නොවේ යැයි විස්වාස නොකළේ, මීට පෙරද කීප වතාවක්ම එය එලෙසම සිදු වී ඇති බැවිනි. තදබල කිරීටක ධමනි අවහිරතාවකින්ද, ඒ නිසාම රුධිරය නොමැතිව කීප වතාවක්ම හර්ධයාබාධ වැළදීමෙන් දුබල වූ හදවතක්ද දරා සිටි ඒ මහා පුරුෂයා, සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් යුතු කුඩා පවුලක ප්‍රධානියා විය. "හදවත" නමැති අවයවය දුබල වූවද, කිසිදා සිතින් දුබල නොවූ ඔහු, එය සිදුවන්නට සතියකට පෙරත්, එම කුඩා පවුලට තම යුතුකම් මනාව ඉටුකරමින් පියෙකුගේ චරිතයත්, ස්වාමි පුරුෂයෙකුගේ චරිතයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  පරිපුර්ණ කරගත්තෙක් විය.

ඔහු රැකියාවෙන් පුද්ගලික අංශයේ කාර්මික නිලධාරියෙකි. කුඩා වාහනවල සිට විශාල දොඹකර දක්වා වූ කාර්මික වැඩ ඔහුට අතැඹුලක් සේ විය.

ඔහුට මුලින්ම පපුවේ අමාරුව සැදුනේ හරියටම මට වයස දහය සම්පුර්ණවන දිනයේදීය. ඉන් වසර තුනකට පසුවත්, ඊටත් පසුව මම දෙවන වර උසස්පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙවෙනි ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමට පෙර දින රාත්‍රීයෙත් තදබල ලෙස පපුවේ අමාරුව උග්‍ර වූ ඔහු එවර නතර වුයේ කොළඹ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයේ ය. පරීක්ෂණ ගණනාවකින් පසු, ඔහුගේ ජීවිතය ඉතාම අවදානම් බව නොපවසා පැවසු ලොකු දොස්තර මහතා, ගෙදර ගෙන ගොස් කැමති පරිදි සත්කාර සංග්‍රහ කරන ලෙස අපව දැනුවත් කළ බවද, ඉන්පසු බොහෝ කාලයක් යනතුරු බොහෝ දිනවලදී රාත්‍රියේදී අසනීපවී ඔහු නැඟූ කෙදිරිලි හඬද අදටත්  මගේ මතකයේ නොමැකෙන සටහනක්ව ඇත. නමුත් කාලයත් සමඟ එවරද ඔහු සුවපත් විය ! නමුත් රැකියාවෙන් සදහටම ඉවත්වන්නට සිදුවන තරමටම ඔහුගේ හදවත දුබල වීමට එවර අසනීපය හේතු විය.

කුඩා කළ අප ඉතා කම්කටොලු බහුල ජිවිතයක් ගෙවා දැමුවෙමු. අපගේ උපන්ගම වූ ත්‍රිකුණාමලයෙන් ත්‍රස්තවාදී කලබල නිසා සියලු දේපල අතහැර දමා බැහැර වූ අපට, වර්ථමාන පදිංචි ස්ථානය දක්වා  ගමන සුමට එකක් නොවීය. ආර්ථික අග හිඟකම් මෙන්ම, ඉඩම් නඩුවකටද මැදිහත් වන්නට මේ කාලයේදී අපට සිදු විය.

අපට පිරිවර සම්පත්,  නෑදෑ හිතවතුන් සිටියේ නැත. ඔහු අසනීප වී රැකියාවක් කරගත නොහැකි තත්වයට පත්වූ විට තවත්  ඔවුන් අප තනි කළහ ! ඒ තනිකම සහ අසරණ බව විසින් මාව ඉංජිනේරු උපාධිධාරියෙක් ලෙස ඔසවා තැබීය. අද උදෑසන පැවති මගේ පැවිදි මංගල්‍ය දක්වාම, ගිහි වතට සමු දෙන ඒ මොහොත දක්වාම, මම අර්ධ රාජ්‍ය අංශයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය  කළෙමි.

ඔහුගේ අවසාන දවස් වනවිට, කකුලේ ඇතිවූ තුවාල තත්වයකට ප්‍රතිකාර ගැනීමට ඔහුව කායික රෝග විශේසඥයා වෙත පමුණුවන විට, ඔහුට හදවත් රෝගය වැළඳී වසර විසි තුනක් සම්පුර්ණවෙමින් පැවතුණි. ඒ වන විට ඉතා දුර්වල වූ ඔහුගේ හදවත් පෙශියට තවදුරටත් රුධිරය හැසිරවීම මනාව සිදු කළ නොහැකි බවත්, ඒ නිසාම කකුල්වල තරලයන් එකතුවීම ස්ථිරව නැවත්වීම සඳහා ප්‍රතිකාරයක් නොමැති බවත්, ව්‍යංගාර්ථයෙන් ඔහු වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බවටත් කළ රෝග විනිශ්චය තේරුම් ගැනීමට අම්මාටත් මටත් හැකි විය !

ඉනික්බිතිව සතියක් ගතවෙන්නටත් පෙර, ඔහුගේ ජීවය ඔහු කෙරෙන් කෙමෙන් පලා යන ලක්ෂණ බලා සිටියදීම පහළවන්නට විය. බලා සිටිය නොහැකි තැන, හදවත් පිළිඹඳ විශේසඥ දොස්තර මහතා හමු වීමෙන් පසුව ඔහුගේ නිර්දේශය සහිතව ඉක්මනින්ම රෝහල් ගතවන්නට ඔහුට සිදු විය. ඔහුගේ මෙවර නවාතැන වුයේ කුරුණෑගල මහ රෝහලේ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයයි.

කෙනෙකුගේ ස්වභාවික මරණයට පෙර, ඔහු කෙරේ එම ලක්ෂණ පහළවේ. ඒ පිලිබඳ ක්‍රමවත් විද්‍යාවක් බටහිර වයිද්‍ය විද්‍යාව සතුව දියුණු වී නොමැති වුවද, ඒ පිළිබඳ සත්‍ය කලින්ම තේරුම් ගැනීමට මෙවර අම්මාට හැකි විය.

ඒ දිනය උදා වී ඇති බව මම එදින සිහිනෙකින්වත් නොසිතුවෙමි. ඔහුගේ බොහෝ රෝග විනිශ්චය වාර්තා එදින උදයේද අතිශය සාමාන්‍ය විය. හදවතේ ගැස්ම වැඩි බව පමණක් දැනගන්නට ලැබුණ අතර, එයට අදාළ බෙහෙත් ලබා දුන් බවත්, මේ වන විට ඔහුගේ තත්වය ස්ථාවර බවත් වයිද්‍ය මතය විය. නමුත් ඔහු කෙරෙන් ජීවය පලා යන ලක්ෂණ වඩාත් දක්නට විය. ඔහුට තනිවම නැගිට ගත නොහැකිය. එදින උදැසන මම ඔහුගේ අතට තට්ටු කර, "තාත්තේ" යැයි ඇමතූ විට, මා දෙස බලා මඳ සිනා පා, නැවත, මිට පෙර සිදු වූවාක් මෙන්ම, එදින උදයේද ඔහුට පානය කරන්නට දුන්න තේ උගුර බිව් සැනෙන් අමාරුවෙන් වමනය කර, සිහි මඳ ගතියෙන් මෙන් නින්දට වැටුණේය.

එදින දවල් රෝගීන් බලන වෙලාවට  අම්මාත් මමත් ඔහු පෙර සිටි තැනට පැමිණි නමුත්, එතැන ඔහු සිටියේ නැත. වාට්ටු භාර හෙදියන් පැවසු පරිදි ඔහු වෙනත් ඒකකයකට මාරු කර තිබුණි.

මා කළ අනුමානය වැරදි විය. ඔහු සුව වෙනවා වෙනුවට නව වාට්ටුවේදී වයර් සහ විවිධ හඬ නගන යන්ත්‍ර සමුහයකට ඔහුගේ සිරුර සම්බන්ධ කර තිබුණි. පෙර පරිදිම ඔහුගේ අත අල්ලා, "තාත්තේ" කියූ නමුත්, මෙවර ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. මම වඩා විමසිළිමත් වූවෙමි. කටින් ඇතුළු කරන ලද බටයක් හරහා යන්ත්‍රයක් මගින් ඔහුගේ පෙනහළු වලට විටින් විට බලහත්කාරයෙන් ඔක්සිජන් තෙරපයි. බෙල්ලෙන් විද සම්බන්ධ කරන ලද ලොකු ඉන්ජෙක්ෂන් කටුවකට ස්වයංක්‍රිය යන්ත්‍ර තුනක් හරහා එන බෙහෙත් දියර බට තුනක් සම්බන්ධ කර තිබුණි. ශරීරයේ ඔක්සිජන් දර්ශක තිරයක්ද, ECG යන්ත්‍රයක්ද, හදිසි අවස්ථාවකදී විදුලි සැර අල්ලන යන්ත්‍රයක්ද, තවත් නම නොදන්නා උපකරණ දෙකක්ද ඔහුගේ ශරීරය හා සම්බන්ධව ජිවය පවත්වාගෙන යයි. ඒවායේ දිස් වූ විවිධ හැඩති ප්‍රස්ථාරයන් මෙන්ම, නගන විලාප හඬවල් බොහෝ කාලයක් යන තෙක්ම දෙසවනේ රැව් පිළිරැව් දුන්නා මට මතකය.

මම පහළ බැලුවෙමි. MGE වර්ගයේ විශාල අනවරත බල සැපයුම් උපකරණ දෙකක් විදුලි සැපයුමට සම්බන්ධය. එවැනි උපකරණ අලුත්වැඩියා කර මනා පළපුරුද්දක් එවකට මට තිබුණි. මම ඒවගේ පරිපථ සිතින් මවා ගත්තෙමි. "මගේ තාත්තගේ ජීවිතය පවත්වාගන්න මේ උපකරණය ගොඩක් වැදගත්... ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ඔය දෙන්නා තාත්තගේ ජීව ආධාරක උපකරණ වලට විදුලිය දෙන්න ඕන."

මම ඔහුගේ ඇඟිලි ස්පර්ශකොට බැලුවෙමි. ඒවා සීතලය. දෙපා අතගා බැලුවෙමි. ඒවා අයිස් මෙන් සීතලය. හිස අතගෑවෙමි. මඳ උණුසුමක් එහි ඇත. වාට්ටු භාර දොස්තර නෝනා කිව් හැටියට ඔහුගේ තත්වය ඉතාම අසාද්‍යය. මෙම වාට්ටුවට ගෙන එදිදීත් ඔහුගේ හදවත අක්‍රිය වන්නට ආසන්නව තිබී ඇත.

"බීප්.... බීප්.... බිප් බිප්........... බීප්.... බීප්.... බිප් බිප්....." රතු පැහැති බල්බයක් දල්වමින් හා හදිසි එලාම් හඬක් නංවමින් හදවත් මොනිටරය එකවරම අස්ථාවර රටාවක් තිරයේ දක්වයි.

"ඔයාලා ටිකක් අයින් වෙන්න"..... දොස්තර නෝනාගෙන් හදිසි විධානයක්.

නතර වන්නට ගිය ඔහුගේ හදවතට විදුලි සැර දෙකක් ලබා දුන් හැටිත්, ඒ අනුරූපව ඔහුගේ පපුව ප්‍රදේශය ඉහළ ගොස් ඇඳ මත පතිත වූ සැටිත් කොනකින් මෑත් වූ තිර රෙද්ද අතරින් මට පෙනෙයි. නැවතත් හදවත් මොනිටරයේ ස්ථාවර රටාවක්.

"මේ තුන්වෙනි සැරේට ඇරෙස්ට් වුනේ. ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි ඔයාල යන්න දැන්." නැවතත් නියෝගයක්.

එදින දහවල් ලෙඩුන් බලන වෙලාව අවසන්ව නිවසට පැමිණියේ, තාත්තා නැවත නොයෙන බව හොඳින්ම දැනගෙනයි. එබැවින් මරණ ගෙදරකට සුදුසු වන පරිදි ගේ අස් කිරීම ඇරඹුවද, මෙතරම් ඉක්මණින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වේ යැයි නොසිතුවෙමි. කිසියම් වූ විශ්මයකින් ඔහුට යළිත් ජීවය ලැබෙනු ඇතැයි සිත කියන්නට වෙයි.

එදිනම හවස් වරුවේ නැවතත් ඔහුව බලන්නට පිටත් වන්නට සුදානම් වූ මොහොතේ, නිවසේ දුරකථනය නාද දෙයි. කිසියම් නුහුරු හැඟුමක් සිතට දැනුනද, තිරයේ සටහන් වී ඇති නුහුරු අංකය සිතෙන් ගලපන්නට උත්සහ කරමින්, ප්‍රතිචාර දැක්වීමට රිසීවරය කණ මත තබා ගත්තෙමි.

ඒ මොහොතේ රිසිවරය තුළින් ඇසුන විවිධාකාර වූ විද්‍යුත් නාද රටාවන් හමුවේ, අමතන්නා කියන්නටත් පෙරම, ඇමතුම එන්නේ කොතනින්ද සහ, අමතන්නට හේතුව කුමක්ද යන්න ක්ෂණයෙන් වැටහුණි. එවකටත් හොඳින් පුරුදු කළ මරණසතිය සිහිකරමින්, සිත දැඩි කර ගත්තෙමි.

"මේ මිස්ටර් ජයසුරිය ගේ ගෙදරින්ද?"

"ඔව් මහත්මයා, ඔබතුමා අමතන්නේ අසුභ ආරංචියක් දැනුම් දීමට වෙන්න ඕනේ"

"ඔව් මහත්මයා, මිස්ටර් ජයසුරිය හවස තුනට පමණ අභාවප්ප්‍රප්ත වුණා. මම අක්ෂිදාන සංගමයේ කුරුණෑගල මහ රෝහලේ නියෝජිත. දැන්ම මෙහෙ එනවද ඔබතුමාලා?"

"ඔව් මහත්මයා, දැන් එන්න හදන්නේ".

හඩන්නට ඕනෑ තරම් සාධක තිබුනද, ඇසට කඳුළක්වත් ඉනුවේ නැත..... "උප්පජිත්වා නිරුජ්ජන්ති" ලෙස වදාල බුදු බණද, හුරු කොට තිබුනාවූ මරණසතිය සිත කළු ගලක් කොට ඇති සෙයකි.


දෙවන කොටසින් හමුවෙමු .



Tuesday, February 13, 2018

හුනුලා බකලා...

Image Source : http://editorial.ada.lk/wp-content/uploads/file/Capture(915).jpg


දැක්ක ගමන් මොකක්ද හිතුනේ? හදිස්සියේම මේක මතක් උනේ මේකට අදාල බෝඩ් එකක් දැකලයි.

ඉස්සර ස්වදේශීය සේවයේ (හෝ රජරට සේවයේ) ඉරිදා හවස 6.30 ට ගියා "සභාවෙන් අවසරයි" කියලා වැඩසටහනක්. මම මේ කියන්නේ මම ඉස්කෝලේ 7 වසරේදී වගේ. ඒ කියන්නේ 1997 දී වගේ කාලයක. මේ වැඩසටහන කෙරෙන්නෙ ගමක තියෙන සමිතියක් වගේ.... එහෙම හිතමුකෝ. සමිතියේ  සභාපති තමයි "හේරත් එප්පාවල" කියන මහත්මයා. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. එතුමා ළගක් වෙනකන්ම රජරට සේවයේ වැඩසටහන් වලට ආවා මතකයි. ගුවන් විදුලියෙන් මේක ඇහුවත්, ඇත්තම සමිතියක ඉන්නවා වගේ ච්ත්ත රුප මවන්න මේ වැඩසටහන සමත් උනා.

ඉතින් ගොඩක් දවස් වලට ගැමි ජීවිතයට සම්බන්ධ එක එක දේවල් මේ සභාවේ කථා කෙරෙනවා. කොහොමත් මම පොඩි කාලේදී ඉදන්ම මේ වගේ දේවල් අහන්න අසයි. ඉතින් ඉරිදා හවස් වෙනකන් ඉන්නේ මේ වැඩසටහන අහන්නයි.

මේ වැඩසටහන 7.00 ට ඉවර වෙනවත් එක්කම රේඩියෝ 1 කරකවන්නේ කෙටි තරංග (SW) වලට. නමක් නොදන්නා විදේශීය සිංහල සේවයක ( 'පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වන' කියලා කියනවා නම් මතකයි) යන ධර්ම දේශනාවක් අහන්න. ඒ දවස් වල ගුවන් විදුලි ධර්ම දේශනා හරිම අඩුයි. ඉරිදා උදේ 8.00 ඉදල 9.00 වෙනකන් ස්‌වදේශීය සේවයේ බන අහනවා. නාලිකා තිබුනේ ස්වදේශීය සේවය, වෙළද සේවය සහ රජරට සේවය විතරයි මට මතක විදියට. ඉස්සර 1992 දී විතර "හඳ මාමා" ඇහුවා ස්වදේශීය සේවයෙන්. තිබුනෙත් FM නෙමේ. MW රේඩියෝ.

මගේ මතකය ගැන පුදුම වෙන්න එපා ඔන්න. තවම 5 වසරේ විභාග අංකය පවා මතකයි... හී හී ....

ඇත්තටම ආයෙත් ආසයි ඒ කාලයට යන්න...........

මගදී දැකපු පොඩි දැන්වීමක් මාව දුර අතීතයට ගෙන ගියා......
නිකන් අයෙත් කියවලා බලන්න "හුණුලා බකලා" --> "හුණු ලාබ කලා". මේ වචන හරබය මම ඇහුවේ සභාවෙන් අවසරයි වැඩසටහනේ එක්තරා දිනක සභාපති තුමාගේ මුලාසන කථාවේදී. එතුමා එදා කිව්වේ සිංහල උනත් හරියට වචන ගලපලා ලියන්න කියන දෙයයි..........

Thursday, January 25, 2018

වවුල් වස්තුව - 02 කොටස

බලන්න අපුරුය. ඒ භුමිය එකම වවුල් විමානයකි ! (වවුල් වස්තුව - 01 කොටස)

අද එතැන් සිට වවුල් වස්තුව 02 දිගහැරෙන වගයි..................... 


Image Source : https://pbs.twimg.com/media/CEgra5eWAAEPw9f.png:large

තැනෙක තරුණ බවෙන් සහ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු නාඹර කිරි වව්ලන්ය. තවත් තැනෙක නෙක රූප ලවන්‍යයෙන් ආධ්‍ය වූ දෙවඟනන් බඳු වූ ලලනාවන්ය. සැවොම සිනාසෙති. උසුළු විසුළු කරගනිති. මුහුණු ඇදකර සෙල්ෆි ගසති. 

මේ අතර "තම දරුවන්ගේ විස්කම් අද අද බලනෙමු" යැයි ඔද වැඩීගිය නෙක රූ ශ්‍රීයෙන් සැරසීගත් දෙමාපියන්යැයි. තැනෙක දරුවන්ගේ හිස පිරති. තැනෙක මුහුණු උලාගනිති. තැනෙක වවුල් ඇඳුම ඇඟලා ගැනුමට තම පොඩි වුන්ට  උදව්වෙති. 

මව්තුමියට අනිකුත් මව්වරුන් සමඟ එකතුවන පාර පෙන්නාදී, වැන් කොටයේ රියදුරු හට උදේට යමක් ගිලදැමීමට කියා ගණනක් අතමිට මොළවා, දී ඇති අවසර පත සාක්කුවේ රුවා,  ඒ භුමිය වෙත පය තැබුවෙමි.

හුටා ! මමත් graduation නේද ආවේ. කෝ යකෝ ටයි එක? අප්පටසිරි ඇතුලට කථා කරනවා ඔන්න ඒ පාර. දනි පනි ගා ඉංගිරිස් කොට් බෑය සහ ටයි පොල්ල බෙල්ලේ එල්ලගෙන වවුල් ඇඳුම අතක රුවාගෙන ඇතුලට දිව ගියේ වාඩි ගැන්වීමට පෙර  තව කළ යුතු අතවශ්‍යම කාර්යයක් ඉතුරුව ඇති බැවිනි.

"Please be in this queue !" 

කිසිදා දැක නැතිමුත්, පොරක් යැයි අනුමාණ කළ හැකි මහත්මයෙක් මගේ දිහා බලා එසේ කිය. අප්පට සිරි, මෙවර මම අයිති වන මෙරුන් පැහැ වවුල් කුලයේ පෝලිමක් නේද මේ? එත් දැන්ම කොහොමෙයි මෙතනට යන්නේ?

"Sir I'll come back soon."

අතවශ්‍ය කාරණයක් ඉටු නොකර දැන්ම මෙතනට එකතු වුවහොත්, තව පැය ගණනක් යනතෙක්ම සුළු දිය බර සැහැල්ලු කරගැන්මට නොහැකි වන බව දත් මා එසේ කියාදමා දිව ගියේ අදාළ කාර්යය ඉටු කරගැන්මටය.

කොහොමෙන් කොහොමෙන් හරි  BMICH ඇතුළට ගියා කියමුකෝ. කේන්දරේ ග්‍රහයන් අදත් නීච වෙලාද කොහෙද, ඉදිරිපස පෙළට පසු පෙළ හිමිවෙලා ඔන්න. උත්සවය අතර තුර පිටිපස්සකට වී නින්දක් දාන්න කරපු ප්ලෑන් වතුරේ යයි වගේ. ඒත් ලෙක්චර් වල ඉදිරිපෙළ ක්‍රීඩා කර, පන්තියටම ඇසෙන්න ගොරවා (නිදාගෙන ) වාර්තා පිට වාර්තා ඇති එකෙක් සැලෙයිද ඕවට !

නෙක වර්ණ ඇඳුම් ඇඳ, නෙක වර්ණ හිස් වැසුම් පැළඳ, මහ වවුල් ගණයා සභාවට සැපත් වූ බවත් ඊට පසු මොන මොනවදෝ කියා බෙල්ලට මාලා දමන්නට පටන් ගත් බවටත් මතක ඇතත්, කොහේ ගියත් කරන්නට වැඩක් නැතිනම් automatic power saver mode (ඔව් ඔව් බාගෙට නිදාගැනීම තමයි) සක්‍රිය කරගන්නා මා wake up උනේ ළඟ හිටිය අපේ පාලන්ගම අයියගේ තට්ටුවෙන් වෙන්න ඕන.


Image Source: https://i.pinimg.com/736x/63/46/57/634657ecebf8a5ef43f21478dad082d7--political-cartoons-graduation.jpg


වටෙන් ගොස් පෙළ සැදී වේදිකාව කොනට ගොස්, නම කියූ පසු උත්තම මහ වවුල් තුමා වෙත ගොස් බෙල්ලට මාලය දමා ගැනීම කළේ කළින් පුරුද්දෙන් කිව්වොත් නිවැරදියි. එත් කිරි වවුල් උපාධිය 2011 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගත්ත විදියට වඩා වෙනසක් වුනේ, කළු වෙනුවට මෙවර මෙරුන් පැහැ වවුල් ඇඳුම දැරීමත්, chancellor තුමා තේරෙන ඉංගිරිසියෙන් "wish you all the best" කිව්ව එකත්, අවින්ඥානිකව මම එකට "thank you sir" කිව්ව එකත් විතරද කොහෙද.

උත්සවයේ ඉතුරු ටිකත් hibernate mode එකේම ගෙවා දමලා ඔන්න යන්තම් දවල්  12.30 වෙද්දී එළියට පැනගත්තා. නිකන් දුන්න තේ පැන් සංග්‍රහයත් භුක්ති විඳලා BMICH hall එක ඇතුලේ ඉඳන් photo දෙක තුනකුත් අරන් වවුල් ඇඳුමයි ඉංගිරිස් ටයි කෝට් ටිකයි ගලවලා මව් තුමිය අතේ තිබුන මල්ලකට ඔබාගෙන, උපාධි මාලය දැරූ තම දරුවන් වැළඳ සතුටු කඳුළු වගුරුවන දහසක් දෙමාපියන්ද, තම සිතැඟි පරිදි නෙක නෙක ලෙස පිරිස් මැදි කොට වදින ඉලෙක්ට්‍රොනික ආලෝක ධාරාවන්ද පසු කරලා කැන්ටිමක් හොයාගෙන යන්න පිටත් වුණා.


Image Source : https://classroomclipart.com/images/gallery/Clipart/Graduation/two-students-taking-a-selfie-at-graduation.jpg

අප්පා.... කැන්ටිම තුළද කිරි වවුල් විමානයකි. කළු පැහැ කිරි වවුල් ඇඳුමත්, තම ජිවිත කාලයෙන් වසර හතරක් ගෙවා දමා, එයට වන්දියක් ලෙස පැළඳි උපාධි මාලයත් දහවල් බත් කෑමටවත් ගලවා දමා, ඉහින් කනින් වැගිරෙන දාඩියට විරාමයක් තබන්නට ඔවුන් අකමැති වූ සෙයකි ! දැනට ජීවිතයේ වසර තිහකුත් තව වසර දෙකක් ගෙවා දැමු මට එකවරම මගේ ජිවිතයේ විසි හය වැනි වසරට සිත ඔවුන් ගෙන ගියේ, එදවස මමත් මෙලෙසම හැසිරුණ බව සිහිපත් වීමෙනුයි.

දවල් බතද අවසාන විය! එත් මව්තුමිය තවමත් සතුටු නැති සෙයකි.

"අර ළමයි තව අතන photo ගන්නවා. ඕක අයෙත් ඇඳගෙන photo එකක් ගමු"


"අනේ බෑ අම්මේ, මගේ ඔළුව රිදෙනවා.... අපි යමු."...............................


~~ වවුල් වස්තුව නිමි. ~~