Monday, October 3, 2011

"Rahatunge Maga" - The way of Arhath 16

අවබෝධයෙන් දකිමු මේ කය

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න......

බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි.

වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය.

යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ,

රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න...

බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා.

මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව.

ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ.

රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි.

ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.

එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා.... මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න.

ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට "හාමුදුරුවෝ" කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.

මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.

ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.

ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය.... කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි.

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.

"Rahatunge Maga" - The way of Arhath 15

පොඩි හාමුදුරුවන්ට ස්‌ථාවර අනාගතයක්‌......

ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්‌.

මෙම ක්‍රියාව දැන් හුඟක්‌ ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට ස්‌ථාවර අනාගතයක්‌......

පුංචි කාලෙම ඉතිරි කිරීම පුරුදු කළහම පොඩි හාමුදුරුවන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුවෝ තරුණ වියට පත්වුණහම, භවයට ඉතිරි කිරීම සඳහා සිව්රු හැරයනවා.

පුංචි හාමුදුරුවෝ වැරැදි නැහැ.

පුංචි කාලෙ ඉඳලා උගන්වපු දෙය පොඩි හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, ප්‍රේත ලෝකේ බැංකු වල හොඳ පොලියක්‌ ගෙවනවා.

අවසානයේ සියල්ලන්ම එකතුවී සිව්රු හැරයැම ගැන තරුණ ස්‌වාමීන්වහන්සේලාට දොස්‌ කියනවා.

Sunday, August 28, 2011

"Rahatunge Maga" - The way of Arhath 14

සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

Sunday, August 21, 2011

"Rahatunge Maga" - The way of Arhath 13

"ආදරණීය" බරපොදිය බිම තබන්න

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක්‌ හෝ බ්‍රහ්ම ලෝකයක්‌ ගැන සිතිය නොහැකිය. යශෝදරාවන්ටද නිවීම අවබෝධකොට ගන්නට සිදුහත් කුමරුන්ද, රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමඟ නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද, ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට, ඔබේ මඟ නිරවුල්ය. ඔබේ තනියට, පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔහු හෝ ඇය පමණක්‌ වුවද, ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබව තබා බඳින වරපටයි.

ඔබ දක්‍ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක්‌ බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න....

නිවන් මඟ ඔබට තරණය කළ හැක්‌කේ ඔබ සරල, පහසු, සැහැල්ලු වන තරමටය. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔහු හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්‌මය. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පිහිට, සරණ යෑයි ඔය සිත නිරතුරුව සිතුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවළක්‌ ලෙස කුසල් මඟේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ, එය අත අතහැරීමට ඔබට නොහැකි වුවහොත් එය මහා අවාසනාවක්‌ වනු ඇත.

Sunday, August 14, 2011

"Rahatunge Maga" - The way of Arhath 12

දුක්‌ දෙන මිතුරා

ලෝකය කියන්නේ දුකක්‌. ලෝකය දුකක්‌ බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්‌ විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක්‌ නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම සෙවුවද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්‌වලින් සෑදුණ, නිරතුරුව වෙනස්‌වන රූපයක්‌ මිසක්‌ වෙන දෙයක්‌ හමුවන්නේ නැහැ. මම, අපි, ඔබ..... මෙහෙම කෙනෙක්‌ කොතැනකදිවත් හමුවන්නේ නැහැ. මෙතෙක්‌ ඔබ 'මම, අපි, ඔබ' කියා කෙනෙක්‌ මුණගැසී ආශ්‍රය කර ඇත්නම් ඒ හැමදෙනාම නිරතුරුවම ලෙඩට, වයසට, මරණයට පත්වූ, එහෙම නැතිනම් පත්වෙන පිරිසක්‌. ඔබේ සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, අම්මා, තාත්තා මැරිලා යනකොට පුතා, දුව, මුනුපුරා, මිනිපිරී ලොකු මහත් වෙනවා. කුමක්‌ සඳහාද?

කවදාහරි දවසක ආච්චිලා සීයලා වීම සඳහා.

ඔය චක්‍රය වටේ අපි දිව යනවා. අපට ගැලවිල්ලක්‌ නැහැ. චක්‍රය කියන්නේ ලෝකයයි. ලෝකය තුළ සත්වයා දුවනවා. මෙය චක්‍රයක්‌ නිසා ඉන් පිටවෙන්න කාටවත්ම බැහැ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රයම නිවාදමන්න ඕනෙ. මේ චක්‍රය තුළ දුවනකොට අපට ලෝකය සුන්දර බව පේනවා. සත්තකින්ම ලෝකයේ සුන්දර බවක්‌ තිබෙනවා. එය ඔබට පෙනෙනවා, ස්‌පර්ශ කරනවා, විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. එහි රශ්මි වළල්ලක්‌ සහිතව පායන පුරසඳ, නැතිනම් වැහි අහසේ පායන පාට පාට දේදුන්න. සති අන්තයක කතරගම, අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරු පහේ හෝටලයක, සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය....

ඔබ මේවායේ මොනතරම් ආශ්වාදයක්‌ අත්විඳිනවාද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැමදෙයක්‌ම මොහොතින් මොහොත වෙනස්‌වන නිසා. මේ මොහොතේ පවතින ස්‌වභාවය, ඊළඟ මොහොතේ වෙනස්‌වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත්නොවී නිත්‍යභාවයේ පවතිනවා නම් ඔබට ඒවායේ විවිධත්වයක්‌ පෙනෙන්නේ නෑ.

මේ විවිධත්වය, චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසාමයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ ඇත්තේද වේගයක්‌ පමණක්‌මයි. අම්මා, තාත්තා මැරුණහම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍යභාවයට පත්වන විට තව තව සිත් පරම්පරාවක්‌ සකස්‌ කර ගන්නවා. සිත් සකස්‌කිරීමට හේතුවන අභ්‍යන්තර ආයතන හය හරියට කර්මාන්ත ශාලා හයක්‌ වගේ. 24 පැයේම ක්‍රියාත්මකයි. භාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමුවූ සැණින් නිෂ්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි. බාහිරින් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය වන බාහිර රූප, ආයතන හයෙන් එකකට ලැබුණ සැණින් නිෂ්පාදනය (නිමි භාණ්‌ඩය) සූදානම්. නිමි භාණ්‌ඩය තමා සිත. ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක්‌ මෙය. ලෝකයේ සංකීර්ණ බව ඇතිවෙලා තියෙන්නේ සිත් සකස්‌වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්‌හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්තශාලාවේ ඉල්ලුමට සැපයුම ස්‌ථිරව සපයනවා. නිෂ්පාදනය වැඩි වන්න වැඩි වන්න සංකීර්ණ බව වැඩිවනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්‌වභාවිකත්වය විනාශකොට කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිවන්නේ, ශීලාචාරකම විනාශකර අශීලාචාරකම බිහිවන්නේත්, මැදිහත්බව පරාජය කර තරගකාරීබව ඇතිවන්නේත් , ආධ්‍යාත්මික වටිනාකම් අභිබවා භෞතික වටිනාකම් පැතිරෙන්නේත් අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසාමයි. අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණභාවයට ඔබ දාසයකු වනවා. ඔබව දාසභාවයේ, වහල්භාවයේ යොදවන්නේ තණ්‌හාව විසින්. අවිද්‍යාවේ තණ්‌හාවේ හැඩතල, ස්‌වරූපය, වර්ණය, රසය, ගුණය සකස්‌ වන සිත්වල ක්‍රියාකාරිත්වය තුළ මනාව පිහිටලා තිබෙනවා. අම්මා, තාත්තාගේ රුව ගුණ දරුවාට තිබෙනවා වගේ, අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව, තණ්‌හාව ඔබව මුළාකරන මහා මගෝඩියන් දෙදෙනකු වගේ. ඔබ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බු නාම දෙනවා. පොහොසතා, කෝටිපතියා, මුදලාලි, පාලකයා, නායකයා, සභාපති.....

සමාජයේ විවිධ ස්‌ථරවල ඉහත කොටස්‌ ඉන්නවා. ගමේ කඩේ හිමිකරු 'මුදලාලි'. පිටකොටුවේ තොගකඩේ හිමිකරුත් 'මුදලාලි'. පන්ති භේදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බු නාම දෙනවා. 'අම්මෝ හරිම ගාම්භීරයි, ආඩම්බරයි, ශ්‍රේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්‌කෙක්‌, විධායකයෙක්‌, මගේ මහත්තයට පැක්‌ටරියක්‌ තිබෙනවා. මගේ මහත්තයා ඇමරිකාවේ' හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණාට ඔබේ කට දෙකොනින් තණ්‌හාව, මමත්වය බේරෙනවා. ඒ කුණුකෙළටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනකුට මෙය හරිම අප්‍රසන්න සිද්ධියක්‌ වෙන්න පුළුවන්. තමා ඉලක්‌ක කරන සැප සෑම මොහොතකම අනිත්‍ය වෙනවා. අහිමි වෙනවා. ගිලිහෙන, අහිමිවන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිතිකර ගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට නානාප්‍රකාර උපදෙස්‌ දෙනවා. හරියට මුදලට වහල්වෙච්චි නීති උපදේශකයෙක්‌ වගේ. සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලක්‌ය කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටක්‌ පැන්න ආච්චි කෙනෙක්‌ තරුණියක්‌ ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක්‌ ගැහැණියක්‌ කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සියක්‌ කෝටි ගණනක සිට තණ්‌හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා.

ඔබ මැඩියෙක්‌ ගැන සිතන්න. එම සතා ජලයේද, මඩේද, ගොඩබිමද, නිවසේද, පීවත්වන්නේ එකම ස්‌වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලගින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක්‌ දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා දෙස සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන් ගැන ඔබට හොඳින් දැනේවි, වැටහේවී. මොහු චපලයෙක්‌, දෙපිටකාට්‌ටුවෙක්‌, පෙරේතයෙක්‌. උම්මත්තකයෙක්‌ වගේම විටෙක සිල්වතෙක්‌, ගුණවතෙක්‌....

මේ දෙබිඩි චර්යාව ඔබට දර්ශනය වේවි. මෙවැනි දෙබිඩි මිතුරෙක්‌ ඔබට හමුවුවහොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. පරිස්‌සම්වනවා නේද?

අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න. අනවශ්‍ය බරක්‌ නොගෙන හුදෙකලාවේ මේ අධ්‍යයනය කරන්න. එවිට ඔබට ජීවිතේ වෙනසක්‌ දැනේවී. ඔබ යමක්‌ හඳුනාගන්නා බව, සොයාගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතේ සංකීර්ණ බව දුරස්‌ වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍ය බව දැකීම පමණක්‌මය.