Image source : https://nunna-chan.deviantart.com/art/My-graduation-bat-501995653 |
මොරටුව විශ්ව විද්‍යාලයේ 38 වැනි උපාධි ප්‍රධානෝත්සවය මෙවර ඔක්තෝම්බර් මස 10 සහ 11 වැනි දිනයන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවතිණි. මෙය අරමුණු කරගෙන පොස්ටුවක් ලියා තබන්නට සිත් වුවද, එය දිනෙන් දිනම කල් යන්නට වූ බැවින්, අදවත් එය මෙසේ ලියා දක්වන්නට උත්සහ දරමි. තවද, මෙහි යොදාගත් භාෂා විලාසය සහ වචන හුදෙක්ම විනෝදය සඳහා පමණක්ම බව හුදී ජනයා විසින් සැලකුව මනාය.
විශ්ව විද්‍යාලයක මෞලි මංගල්‍ය වන්නේද එහි අග්‍ර ඵලය වූ උපාධි ලාභීන් සංකේතාත්මකව සනාථ කරන්නේද උපාධි ප්‍රධානෝත්සවයකිනි.අනෙක් අතින් මෙය මට වැදගත් වන්නේ, 2013 වසරේ සිට අමාරුවෙන් දඟලා ගොඩ දමා ගත් M.Sc උපාධිය සනාථ කෙරෙන උපාධි මාලය කරේ දමන්නේ එදින වීමය. මෙයට මා විසින් යොදන නම, "වවුල් මංගල්‍ය" වන අතර, ඒ ඇයිදැයි මෙය කියවන්නාහු විසින් උපාධි ලෝගුව හා එහි ස්වභාවය bat man සමඟ සන්සන්ධනය කොට අවබෝධ කරගත යුතුය.
සමහර සිංහල භාෂා විද්වතුන් විවරණය කෙරෙන ලෙස, "උපාධි" යන්න "උපධි" යන්නෙන් විකරණය වුවකි. (උපධි යනු වංචනික හෙවත් කපටි කම බව අසා ඇත්තෙමි.)
සියළු කටයුතු ආරම්භ වන්නේ, උපාධියක් ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කොට, උපාධිය සඳහා අප විසින්ම ඉදිරිපත් කරණු ලබන අයදුම් පත්‍රයක් භාර දීමෙනි. ඉන්පසුව ඔවුන් විසින් අපේ ගෙදරටම එවනු ලබන සංදේශයකින් වවුල් මංගල්‍යයේ දින වකවානු දැනුම් දේ. ඒ අතර ඔවුන් විසින් දන්වා එවන දිනයක වවුල් ඇඳුම ලබා ගත යුතුවන අතර, කිරි වව්ලන් සහ වැව්ලියන් (හරි වචනය නොදනිමි) සඳහා තනි කළු ඇඳුමක්ද, මධ්‍යම මට්ටමේ වවුල් මහතුන් සහ මහත්මියන් සඳහා මෙරුන් පැහැති ඇඳුමක්ද, මොළය ස්ථිරවම හානි වූ (PhD) ලොකු වවුල් මහත්වරුන් සඳහා තද රතු ඇඳුමක්ද ඇත්තේය.
Image Source : http://clipart-library.com/clipart/kcKnk745i.htm |
වවුල් මංගල්‍යයේ දෙවෙනි දින නොහොත් ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ ඔක්තෝබර් මස 11 වැනි බුධ දින උදය වරුව වෙන්ව තිබුනේ වවුල් ජනපද සැලසුම්කරණය සහ අලංකරණය සඳහා වූ මුලික උපාධිය සම්පුර්ණ කළාවූ කිරි වව්ලන්ටත්, සියළු අංශ වල මධ්‍යම සහ හිස ස්ථිරවම හානි කරගත් ලොකු වව්ලන්ටත් බෙල්ලට මාලය දැමීම සඳහායි.
ඉතින් ඔන්න මමත්, අපේ මව්තුමියත්, වවුල් මඟුලට සහභාගී වෙන්න හිතාගෙන වැලිපැන්න මීගම නිළ නිවාසයෙන් කුකුළත් මල්ලේ දාගෙන උදේ 6 වෙන්නත් කලින් අධිවේගය හරහා කොළඹ එන්න පිටත් වුණා. වවුල් මඟුලට සහභාගී වෙන්නම හිතාගෙන අම්මා නිළ නිවාසයට කලින් දිනම පැමිණ සිටියා. කොහොමත් මධ්‍යම ප්‍රමාණයේ වව්ලෙකුට ලැබෙන්නේ එක අරධිතයෙක් සඳහා අවසර පතක් පමණයි. අපේ පියතුමා ගෙදර බලාගෙන නතර වෙන්න තීරණය කිරීමත්, වෙන්ඩ හාමිනේට නුවර ඉඳන් මන්ගච්චන්නත් බැරි නිසා ආරාධිතයා තෝරා ගන්න ගැටළුවක් නම් අවේ නැ. (වෙන්ඩ හාමිනේගෙන් thesis writing වලට ලැබුණ සහය නම් අමතක කරන්න බැහැ.)
වවුල් මංගල්‍ය සඳහා සහභාගී වන අයවලුන් උදේ 8.30 වෙද්දී පැමිණ අසුන් ගත යුතු බවට සඳහන් සංදේශය කලින්ම ලැබී තිබුණා. අපරාදේ කියන්න බැහැ උදෑසන 6.40 වෙද්දී බත්තරමුල්ල පොල්දූව පාලම ගාවටම ආවත් traffic එකේ ගිහින් BMICH ගේට්ටුවෙන් රිංගා ගන්නා විටදී නම් 8.15ත් පහු වුණා. අපායට ගියත් උදෙන්ම බඩ කට පුරා නෙලන පුරුද්ද නිසාත්, මව්තුමිය එදින පාන්දර 3 ට අවදිව බත් පිස තිබු නිසාත්, මට උදෑසන ආහාර ගැන ප්‍රශ්ණයක් නම් තිබුනේ නැහැ.
බලන්න අපුරුය. ඒ භුමිය එකම වවුල් විමානයකි !
(එහෙනම් වවුල් වස්තුවේ 02 කොටසින් ඉක්මනින්ම හමුවෙමු.)