Tuesday, November 14, 2017

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා....

*********************************************************
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා....
හද සෝක තැවුල් නිවනා....


චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී....
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා.....
හඬ දේවිනි කන් පිනනා....

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි...
ලිය වැල් පැටලී ගොසිනී.....

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා.....

මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳි
නේ.....
තව පෙම්බර මා සාමිනේ......

අන්න බලන් 
සඳ ......

*********************************************************

තනිකඩ ජීවිතයේ පාළුව මකාගන්න සංගීතය තරම් තවත් ඔසුවක් නැති බව,  හුදෙකලාව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවාසයක වෙසෙමින් ජීවිතයෙන් බොහෝ කාලයක්  ගෙවා දමන මම ප්‍රත්‍යක්ෂව දනිමි. දඩිබිඩි සංගීතයට එතරම් කැමැත්තක් නැතත්, රසයක් ඇති ඕනෑම ගීතයකට ප්‍රිය කරන්නෙමි.

මේ අටුවා ටීකා ලියන්නට සිත් වුනේ පසුගිය දිනෙක මා සතු ගීත එකතුවක්  (ඔව් ඔව්.. පරිගණකයේ තිබුන mp3 ටිකක් තමයි :-) ) play list 1 ට සම්පුර්ණයෙන් ඇතුලත් කර shuffle playback කරද්දී ඇසුන ඉහත ගීතය නිසාවෙනුයි.

--------------------------------------------------------------------------------------

පෙර කථාව:

ස්ථානය : Ivor Jennings ශාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
කාලය : අපි එතකොට 3rd Year (2009)

ඩොකා (රුවන් සම්පත් සහෝදරයා) කියන්නෙත් අපේ batch 1කේ අපි වගේම තවත්  Jennings වැසියෙක්.

ඩොකා : මචන් Ambalaya, මෙන්න මේ pen 1 කේ තියෙනවා වල සතියේ paly කරන සින්දු ටික. මේක copy කරගත්තේ ***** ගේ (ආර්ටෙක්ගේ කාර්ඩ් 1ක් )  lap 1කේ තිබිලා . මේ ටික copy කරගනින්.

මම :  thanks මචන්.

--------------------------------------------------------------------------------------

එදා ඒ save කරගත්ත සින්දු ටික තවමත් hard disk 1කේ සුරැකිව තියෙනවා නේද කියලා මට මේ අතීත කථාවත් එක්කම මතක් වුණා... හරියට වල සතියේ මේ සින්දු ටික නාට්‍යක් පටන් ගන්න කලින් යකඩ කටවල් වලින් ඇහෙද්දී මගේ හිතට දැනුන හැහීම හිතේ කොනක තවමත්  සුරැකිව තියෙනවා වගේ.....

මොරටුව සරසවියෙන් පශ්චාත් උපාධියක් කළත් තවමත් අපේ ජීවිතත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් කියන්නේ දෙකක් නොව එකක්ම බවයි මේ වගේ සිද්ධි වලින් දැනෙන්නේ..................


මෙන්න ඒ ගීතයට Link  ක්..

https://www.youtube.com/watch?v=sZGkFPmAwfs

Tuesday, June 28, 2016

කලකට පස්සේ...

කලකට පස්සේ අයෙමත් බ්ලොග් අවකාශයට පා තබන්න හිතුනේ හිතට එන දෙයක් කියල දාන්න හිතාගෙන. පහුගිය ටිකේ ලිවිම මෙන්ම කියවෙමෙනුත් ඈත් වෙන්න සිද්ධ උනේ වැඩ වැඩිකම නිසාමයි.


Wednesday, February 11, 2015

තාත්තා බෝනික්කා...

අහම්බෙන් දැක්ක දෙයක් Share කරන්නම හිතුනා........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: 



එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.
ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. 
රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. වහිනකොට එයා තෙමීගෙන ගිහින් කාර් එක ගේ දොර ළගටම පැදගෙන ආවා අනික් අයට නගින්න. කාට හරි සනීප නැති වුණොත් එයා ඕන වෙලාවක ගිහින් ඛෙහෙත් අරගෙන ආවා. 
එයා ගොඩාක් පිංතූර ගත්තා. ඒත් ඒ පිංතූර වල එයා හිටියේ නැහැ. සෙල්ලම් ගෙවල් හදනකොට මට හිටියා අම්මා බෝනික්කෙකුයි, තාත්තා බෝනික්කෙකුයි. සෙල්ලම් ගෙදර වුනත් වැඩිපුර වැඩ තිබ්බේ අම්මා බෝනික්කාට. තාත්තා බෝනික්කත් එක්ක මොනවා කරන්නද කියලා මම හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඉතිං දවසක් මට තාත්තා බෝනික්කා වගේ —මම දැන් වැඩට යනවා කියලා එයාව ඇද අස්සට විසිකරලා දැම්මා.
තාත්තාගේ මිනිය තිබ්බේ අපේ ගෙදර සාලේ. එදා ගොඩාක් අය කේක් වගේ හොඳ හොඳ කෑම ජාති මහ ගොඩාක් හදාගෙන ආවා. කවදාවත් අපේ ගෙදරට එච්චර සෙනග ඇවිත් තිබුණේ නැහැ. 
මම මගේ කාමරේට ගිහින් ඇඳ අස්සට නැමිලා තාත්තා බෝනික්කා එළියට අරගෙන දූවිලි පිහලා ඇඳ උඩින් තිබ්බා. එයා වෙනදා වගේම මොකුත් කළේ නැහැ. 
ඒත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයා අපි දාලා ගියාම අපට මෙච්චර දුකක් දරාගන්න වෙනවා කියලා.



(කැඩපත බ්ලොග් එකෙන්/ එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ)
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Saturday, November 1, 2014

ප්‍රමාද වීමට ඉතා ආසන්නයි

කොහේ යන්නද ප්‍රමාද වෙන්නෙ?

හිතට ලොකු භයක් දැනුන සිදුවීමක් අහන්නට ලැබුනා. සමහර අයට නම් මේක "හුරු" දෙයක් වෙන්න ඇති.

මේක අපේ හාමුදුරුවන් වහන්සේලා ගැනයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් දැන්, දානය සඳහා ලැයිස්තු දීමෙන් වෙන්නේ දායකයා සස්නෙන් ඈත් වීමයි. විශේෂයෙන්ම එම දාන වට්ටෝරුවේ මේ මේ ලෙස තිබිය යුතු බවට පනවන නීතියන්, කොයි තරම්  ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බුදුන් වදාළ මාර්ගයෙන් ඉවත් වී ඇති බවට පෙන්වන සාධකයකි.

සියල්ල මොහොතක් පාසා "අනිත්‍ය" නම් වූ ධර්මතාවයට යටත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා, දෙසවනෙන් ඇසුවා මතකයි. මේ සියල්ල අද සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වරදක් නොව, ධර්මය සතු සංදිට්ඨික බව ඉක්මනින් අතුරුදහන් වෙමින් පවතින බව හඟවන සාධකයි.

නොදැනීම දෑසට කදුළක් නැගුනේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයටත් අනිත්‍යතාව නම් පොදු ධර්මතාව නිසා "ගෞතම බුද්ධ සාසනය" නමැති පහන් සිළ නිවී යාමට ඉතා ආසන්න බව වැටහීමෙන්ද, නැතිනම් තවමත් සසරින් මිදී නොමැති මා, මේ සාසනය මඟ හැරුනොත්, තව කල්ප ගණනකින් ප්‍රමාද වීමට ඉතා අසන්න බව වැටහීමෙන්ද යන්න ගැන නම් බොහෝ වේලා යනතෙක් කල්පනා කළා මතකයි.

"සංසාරය" නමැති ඉමක් කොණක් නොපෙනෙන සයුර තරණය කරන්නට තිබුන "තථාගත ධර්මය" නමැති එකම යාත්‍රාවටත් අනිත්‍ය බව උරුම වන බව නේද උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ?

 පෙර කවරදාකටත් වඩා සංසාර භයක් සමඟ අනිත්‍ය සංඥාව සිතේ ප්‍රභලව වැඩුනා මතකයි............

Sunday, July 27, 2014

ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

"දැනුම බලය වේ...." අපි පොඩි කාලේ ඉඳලම හොදට අහලා පුරුදු වචන ටිකක් නේද? ඒත් මට පොඩි කාලෙ ඉඳලම තිබුන ප්‍රශ්නයක් තමයි "දැනුම" කියන්නේ මොකක්ද කියලා. උපාධියක් තියෙනවා නම් ඒ කෙනා තමයි දැනුම තියෙනවා කියලා මම හිතපු කාලයක් තිබුනා. අන්තිමට උපාධියකුත් ගත්ත කියමුකෝ. ඊ ළගට හිතුවා ඊට‍ වැඩිය ලොකු උපාධියක් ගත්තම දැනුම සම්පුර්ණයි කියලා. ඒත් දැන් තේරෙනවා ඒකත් වැරදි කියලා.......

හිතට පුරවා ගන්නා හැමදේකින්ම උනේ හිතේ බර වැඩි වීම විතරයි. අපි දැනුම සොයා යන්න හිතන තැන, විශ්ව විද්‍යාල වල ඉන්න උගත් මහාචාර්ය, ආචාර්‍ය වරු කොයි තරම් දැනුම නිසා හිත බර  කරගෙන ඉන්නවද?. තමන්ගේ උගත්කම නිසා "මම" කියන දේ කොයි තරම් ඒ මහත්වරු දැඩිව අල්ලාගෙන ඉන්නවාද ? බටහිර විද්‍යාව කියන අන්ධකාරය "මගේ " කරගෙන තව බොහෝ කල් සංසාරේ ඇවිදින්න "ඉන්ධන" එකතු කරගන්නවා නේද කියලා ඇත්තටම හිතට අනුකම්පාවක් දැනුනා..... තමන්ගේ අදහස හරි කියන මතයේ තදින්ම එලබ ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ "අවිද්‍යාව" පිලිබඳ ලබා ගන්නා උපාධිය කියන්නේ. මේ රටාවෙන් බැහැරට යන පින්වත් ආචාර්‍ය මහත්වරු හරිම අඩුයි. (වාසනාවකට එහෙම අය නැතුවාම නොවේ )

උපාධි ලබා ගන්නා පිරිසත් අන්තිමට සිදු කරන්නේ තමන්ගේ ගුරුවරුන් පාරේම යමින් අවිද්‍යාව පිළිබඳ ලබාගත් උපාධියෙන් හිතේ බර වැඩි කරගැනීමයි. මම ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් කියලා හිතාගෙන පොළවේ පය ගසන්නේ නැති පිරිසක් ලෙස හැසිරීමයි.

මම 2007 කාලේදී මට තිබුන අසනීපයකට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලේ සායනයකට ගියා. රෝගීන් ප්‍රමාණය වැඩි නිසාම ගොඩක් වතාවල් වලදී ඔවුන් සිටගෙන සිටින ආකාරය අනුව දොස්තර මහත්වරු ඇවිද යන මාර්ගය අවහිර වෙනවා. ලොකු දොස්තර මහත්වරු රෝගීන් අතරින් රිංගා අදාළ සායනයට පැමිණෙන අතර, සුදු කබාවලින් සැරසුන දොස්තර වීමට ඉගෙන ගන්නා පිරිස පැමිණෙන්නේ අසරණ රෝගීන්ට දොස් පවරමින්. ඔවුන් පුරුදු කරන "මාන්නය" ඒ තරම් වැඩියි. ඉතින් දැනුම බලය වේ ද?

අවිද්‍යාව ඉගෙනීමෙන් ලබා ගත් උපාධිය අතහරින්න. එය සමාජයට සේවයක් සිදු කිරීමට පමණක් යොදාගන්න. ඔබ උපාධියක් ලබාගන්නා විට, ඔබේම යහළුවන් විභාග අසමත්ව, ජීවත් වීමටවත් විදියක් නොමැතිව දුක් විදින්නේ ඇයිදැයි කල්පනා කරන්න. ඔවුන්ට ඔබ සමඟ පැමිණීමට නොහැකි වූ හේතු සිතා බලන්න. ඔබ මාර්ගය දකින්න.

මේ සටහන් ලියන්නේ කිසිම කෙනෙකුට රිදවන්න හිතාගෙන නම් නෙමේ. ඇත්තටම එවැනි අය දැක්කාම හිතේ ඇතිවෙන අනුකම්පවෙනුයි. ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......