Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Wednesday, September 6, 2023

උසස්පෙළ මතක




හැමදාම උසස්පෙළ ප්‍රථිපල එනකොට හිත අතීතයට දිව යන එක වලක්වන්න අමාරුයි. ඉස්සර ඉස්කෝලේ 11 වසරට එනකම් හොඳ සාහිත්‍ය කාරයෙක් වෙලා ඉඳලා, උසස්පෙළ හා විශ්ව විද්‍යාල දෙකක ගත කරපු පහුගිය ජිවිත කාලෙ එක්ක ඒ සාහිත්‍ය කාරයා හිත ඇතුලෙම මියැදිලා හිටියත්, හිතට දැනෙන සමහර සිදුවීම් එක්ක අයෙමත් සිතුවිලි අකුරු බවට හැරවෙන එක නවත්වගන්න අමාරුයි.
අද කාර්යාල දවසක්. තියෙන රාජකාරි අනුව හතර වටේ යන්න වෙනවා උනත්, හවස කෙටි නිවාඩුවක් ගන්නත් ඕනැකමක් තිබුන නිසා අද කාර්යාලයේ රැඳී ඉන්න කොහොමත් ඕන උනා. ඒත් උදේ දහයට විතර මෙන්න මගේ කාර්යාල කාමරය වෙත අපේ අංශයේ කළමණාකාර සහකාර මිස්ගේ හදිසි කඩාවැදීමක්. ඒ ඇස් වල කඳුළු. මම කොහොමත් කාර්යාලයේදී කාන්තාවන් තියාගන්නේ අතේ දුරින් නෙමෙයි. අත් දෙකක දුරටත් වඩා වැඩි දුරකින්. තරහකට නෙමෙයි ඒත් ඒ මම පුරුදු උන හැටි. විශේෂයෙන්ම එයාලා ඇස් වල කඳුළු එක්ක ඉන්නකොට. එහෙම කරන්න හේතු ඕන තරම්.
"සර් මගේ පුතාගේ උසස්පෙළ ප්‍රථිපල ඇවිත්. මෙන්න මෙහෙමයි. ගණිත අංශයෙන් පළවෙනි සැරේ කලේ."
ප්‍රථිපල කිසිසේත්ම නරක එකක් නෙමෙයි. කොල්ලා දක්ෂයෙක්. හැබැයි කොල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉංජිනියරින් යන්න නම් ඒ ප්‍රතිපල අනුව ටිකක් වැට උඩ වගෙයි. මොකද මෙහෙ A එකකටයි B අකුරු දෙකකටයි එක්ක, ඒ කියපු රෑන්ක් එකත් එක්ක ඉංජිනියරින් යන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි වගෙයි මට තේරුණේ. ඒ වෙලාවට මට දෙන්න තියෙන හොඳම උපදෙසක් දුන්නත්, ඊට පස්සේ හිත අතීතයට යන එක නවත්තගන්න බැරි වුණා.
මම පලවෙනි සැරේ උසස්පෙළ කරේ 2004 දී. සාමාන්‍යපෙළ A අකුරු දහයක් එක්ක සමත් වුනත් මුල් සැරේ හොඳ ප්‍රතිපලයක් උසස්පෙළ ලැබෙන්නේ නැහැ කියලා කොහොමත් මට දැනිලා තිබුනා. තාත්තා බරපතල හදවත් රෝගයකින් පෙළෙමින් ඉන්නකොට, ගෙදර අදායම් මාර්ගයක් ඉස්තිරව නැති වෙනකොට, හිත එකතැන් කරන් වැඩක් කරන්න මට අමාරුයි කොහොමත්.
ගණිත අංශයෙන් උසස්පෙළ කරන සියළුම දෙනා සංයුක්ත ගණිතයට මුල් තැන දුන්නත්, මම කැමතිම උනේ භෞතික විද්‍යාව විෂයට. මගේ පාසල් ජිවිතේ හමු උන, වඩාත්ම හිතට දැනුන ගුරුතුමියන් දෙදෙනාගෙන් එක් අයෙක් උනෙත්, පාසලේ උසස්පෙළ අපිට භෞතික විද්‍යාව උගන්වපු කුමාරි මිස්ව. උදේ හයේ ඉදන් නොමිලේ පාසලේ උගන්වන ඇය, අප වෙනුවෙන් ඕනෑම වෙලාවක පරීක්ෂණ සඳහා පාසලේ භෞතික විද්‍යාගාරයේ ඉඩ කඩ වෙන්කර දුන්නා. ඒ වගේම, භෞතික විද්‍යාව විෂයට කුරුණෑගල එවකට ගණිත අංශයේ සිසුන් වැඩිපුර ගිය උපකාරක පන්තිය නෙමෙයි මම තෝරා ගත්තේ. ඒ වෙනුවට මම ගියේ (ආචාර්ය) නිමල් හෙට්ටිආරච්චි සර් ගේ physics class එකට.
ඔව් ඉතින්, 2004 උසස්පෙළ විභාගයේදී භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙකට ඇට්ටි හැලෙන්න ලිව්වා. හැමෝටම කාලය මදියි කියන බහුවරණ 60 ට පැය එකහමරෙන් ලියාලා තව පැය බගේකුත් ඉතුරු උනා. රචනා ප්‍රශ්න 6 න් 4 ක් කරන්න කිව්වට මොකද, මම 6 ම ලියලා ඉවරවෙලා තවත් වෙලාව ඉතුරු උනා. පස්සේ ඉතින් බලද්දී කරපු බහුවරණ 60 න් 57 ක් නිවැරදියි.රචනා ප්‍රශ්ණ 6 ම නිවැරදියි. ආ ඔය අනිත් විෂයන් දෙකත් ඔන්න ඔහේ ලියලා දැම්මා. ඒවා එච්චර සාර්ථක උනේ නැද්ද කොහෙද.
ප්‍රථිපල එද්දී භෞතික විද්‍යාවට A එකකුත් සංයුක්ත ගණිතයට හා රසායන විද්‍යාවට C අකුරු දෙකකුත් ඇවිත් තිබුණා. කුරුණෑගලින් රෑන්ක් එක 129 වගේ තමයි මතක. C අකුරු දෙකකුත් තියාගෙන කුරුණෑගල වගේ ගොඩක් තරඟකාරී දිස්ත්‍රික්කයකින් 129 වුණා කියන්නේ ඉතින් Physics වලට හොඳ ලකුණක් ආව නිසා වෙන්නැති. මොනවා වුනත් දෙවෙනි සැරේට ලියන්න මහන්සි වෙන්න තීරණය කලා. ඒ අතරේ මුල් සැරේ ප්‍රතිපල වලට විශ්ව විද්‍යාල අයදුම් කරපු එකට සබරගමුව විශ්ව විද්‍යාලයේ මිනින්දෝරු පාඨමාලාවට තේරිලා කියලා ලියුමක් ඇවිත් තිබුණා. ආ, තව ලියපු TTI (Institute of Engineering Technology - Katunayake) එකෙන් දෙවෙනියට තෙරිලත් තිබුනා.
TTI entrance exam ලියන්න ගියපු හැටිත් තව කතාවක් ඉතින්. ඒක කොළඹ රෝයල් එකේ තිබුනට මම කොළඹ පාරවල් දන්න එකක්යැයි. මාව එක්කන් ගියේ අජිත් බාප්පා. එවකට එයා පුංචි අම්මත් එක්ක රාගම රණවිරු සෙවණ වෛද්‍ය නිල නිවාසෙක තමයි හිටියේ. තාත්තට අසනීපෙ නිසා යන්න අමාරු නිසා මම පාන්දර 4 ට තියෙන කෝච්චියක කුරුණෑගල ඉඳන් රාගම ගිහින් බාප්පා එක්ක තමයි කොළඹ ගියේ. කොහොම හරි TTI exam ලියලා එලියට එද්දී එවකට වරලත් ඉංජිනේරුවරයෙක් හා අද ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කෙනෙක් වෙන අජිත් බාප්පා පාරේ අයිනේ තියෙන කොන්ක්‍රීට් බෝක්කුවක් උඩ වාඩිවෙලා මම එනකම් බලන් ඉන්නවා. ඒ දර්ශනය අදත් ඒ වගේම මතකයි. ඉන්ජිනේරුවරයෙකුට එදා තිබුන ඒ නිහතමානීකමට මම අදටත් සැහෙන්න ගරු කරනවා විතරක් නෙමෙයි අදටත් මගේ ජිවිතේ එක පූර්වාදර්ශි චරිතයක් තමයි ඒ.
කොහොම හරි 2005 දී දෙවෙනි සැරෙත් උසස්පෙළ කරද්දී භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර ටිකට කලින් වතාවේ වගේම දුවන්න දුන්නා. මේ පාර නම් සංයුක්ත ගණිතයත් ගොඩ වගේ. රසායන විද්‍යාව බහුවරණ එකත් සැහෙන ගොඩ දාගත්තා. ඔන්න ඉතින් වැඩේ කචල් වෙන්න ගත්තේ රසායන විද්‍යා දෙවෙනි ප්‍රශ්න පත්‍රයට කලින් දවසේ. හවස් වෙද්දී තාත්තට තදින් අසනීප වෙන්න පටන් ගත්තා. දරුණු පපුවේ අමාරුවක්. කලින් වතාවල් වල නාල අවහිරතා එක්ක වැඩ කරපු තාත්තගේ හදවත් පේශි වලට, තමන්ගේ එකම පුතාගේ උසස්පෙළ ඉවර වෙනකම් ඉන්න තරම් හයියක් තියෙන්න නැතුව ඇති.
ජීවිතයත් මරණයත් අතර ඉන්න තාත්තා එක්ක නිදි නැති රැයක් ගත කරලා ඔන්න රසායන විද්‍යා දෙවෙනි ප්‍රශ්න පත්‍රය අතට ගත්තා. නිදිමතේ ඔය මොනවද මන්දා ලියලා දැම්මා.
ඔව් 2005 උසස්පෙළ දෙවෙනි වර ප්‍රථිපල ආවා. A අකුරු දෙකකුත් එක්ක රසායන විද්‍යාවට B අකුරකුත් එක්ක කුරුණෑගල දිස්තික්කයේ 51 රෑන්ක් එකත් එක්ක පේරාදෙණි තේරුණා. මම හිතන්නේ ඒ සැරෙත් රෑන්ක් එක උඩට එන්න භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර ටිකට ගහපු හයේ පාරවල් උදව් වෙන්න ඇති. ඔව් ඉතින් කලින් වගේම බහුවරණ 60 න් 59 ක් හරියට කරලා, තව රචනා ප්‍රශ්න 4 ක් කරන්න තිබුනට 6 ම කරා නේ.
ඇත්තටම ඒ සැරේ රසායන විද්‍යා රචනා ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා ගෙදර අවේ සුදු කොඩි දකින්න බලාපොරොත්තුවෙන්. එත් වාසනාවකට ඒ හදවත් අකර්මන්යතාවට තාත්තගේ ජිවිතේ එදා උදුරගන්න බැරි වෙලා තිබුණා. ඒ නිසා තමන්ගේ එකම දරුවා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට බාර දෙන්න යන්න තාත්තට හැකියාව ලැබිලා තිබුණා.
ජිවිතේ ඔහොම තමයි ඉතින්.

Tuesday, November 2, 2021

තනිවේ එක්ටැම්ගේ


ඉස්සර මන් පොඩි කාලේ (මේ කියන්නේ 1992 විතර, මට වයස අවුරුදු 7 - 8 කාලේ වගේ ඉඳලා) මේ චිත්‍රපට ගීතය බලන්න මම ආසයි. වෙන හේතුවක් නෙමේ. වීඩියෝ එකේ අග හරියේ ඔය light house එකේ තියෙන ලොකු ඇන්ටෙනා එක බලන්න අසාවෙන්.

😁 ඒ දවස්වල ඒක හරිම ප්‍රශ්නයක්. ඇයි ඒක සිරස් අතට තියෙන්නේ කියලා. TV ඇන්ටෙනා තියෙන්නේ තිරස් අතට නේ. අනික ඒක TV ඇන්ටෙනා එකකට වඩා ලොකුයි. ඕවට උත්තර සීයාගෙන් ඇහුවාම කිව්වේ රේඩියෝ කතා කරන ඇන්ටෙනා එකක් කියලා.
දැන්නේ ඉතින් හේතු දන්නේ ඕවට. මගෙ ඔය රේඩියෝ ට්‍රාන්ස්මීටර් පිස්සුව උපතින් ආපු එකක්ද කොහෙද. ඒකනේ දැන් බලපත්‍ර අරං Amateur radio operate කරන්නේ. 😊 ඒ වගේම මේ ගීතය, ගායනය වගේම සංගීතයත් අති විශිෂ්ටයි කියලා දැන් තේරෙනවා.
අද උදේ ඔෆිස් එන්න ලෑස්ති වෙලා මේ ගීතය ITN එකේ යනවා දැකලා වීඩියෝ එකේ පෙන්වන Light house එකේ ඇන්ටෙනා එක බලලයි ඔෆිස් ආවේ. විනාඩි පහක් ප්‍රමාදයි !

Tuesday, February 13, 2018

හුනුලා බකලා...

Image Source : http://editorial.ada.lk/wp-content/uploads/file/Capture(915).jpg


දැක්ක ගමන් මොකක්ද හිතුනේ? හදිස්සියේම මේක මතක් උනේ මේකට අදාල බෝඩ් එකක් දැකලයි.

ඉස්සර ස්වදේශීය සේවයේ (හෝ රජරට සේවයේ) ඉරිදා හවස 6.30 ට ගියා "සභාවෙන් අවසරයි" කියලා වැඩසටහනක්. මම මේ කියන්නේ මම ඉස්කෝලේ 7 වසරේදී වගේ. ඒ කියන්නේ 1997 දී වගේ කාලයක. මේ වැඩසටහන කෙරෙන්නෙ ගමක තියෙන සමිතියක් වගේ.... එහෙම හිතමුකෝ. සමිතියේ  සභාපති තමයි "හේරත් එප්පාවල" කියන මහත්මයා. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. එතුමා ළගක් වෙනකන්ම රජරට සේවයේ වැඩසටහන් වලට ආවා මතකයි. ගුවන් විදුලියෙන් මේක ඇහුවත්, ඇත්තම සමිතියක ඉන්නවා වගේ ච්ත්ත රුප මවන්න මේ වැඩසටහන සමත් උනා.

ඉතින් ගොඩක් දවස් වලට ගැමි ජීවිතයට සම්බන්ධ එක එක දේවල් මේ සභාවේ කථා කෙරෙනවා. කොහොමත් මම පොඩි කාලේදී ඉදන්ම මේ වගේ දේවල් අහන්න අසයි. ඉතින් ඉරිදා හවස් වෙනකන් ඉන්නේ මේ වැඩසටහන අහන්නයි.

මේ වැඩසටහන 7.00 ට ඉවර වෙනවත් එක්කම රේඩියෝ 1 කරකවන්නේ කෙටි තරංග (SW) වලට. නමක් නොදන්නා විදේශීය සිංහල සේවයක ( 'පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වන' කියලා කියනවා නම් මතකයි) යන ධර්ම දේශනාවක් අහන්න. ඒ දවස් වල ගුවන් විදුලි ධර්ම දේශනා හරිම අඩුයි. ඉරිදා උදේ 8.00 ඉදල 9.00 වෙනකන් ස්‌වදේශීය සේවයේ බන අහනවා. නාලිකා තිබුනේ ස්වදේශීය සේවය, වෙළද සේවය සහ රජරට සේවය විතරයි මට මතක විදියට. ඉස්සර 1992 දී විතර "හඳ මාමා" ඇහුවා ස්වදේශීය සේවයෙන්. තිබුනෙත් FM නෙමේ. MW රේඩියෝ.

මගේ මතකය ගැන පුදුම වෙන්න එපා ඔන්න. තවම 5 වසරේ විභාග අංකය පවා මතකයි... හී හී ....

ඇත්තටම ආයෙත් ආසයි ඒ කාලයට යන්න...........

මගදී දැකපු පොඩි දැන්වීමක් මාව දුර අතීතයට ගෙන ගියා......
නිකන් අයෙත් කියවලා බලන්න "හුණුලා බකලා" --> "හුණු ලාබ කලා". මේ වචන හරබය මම ඇහුවේ සභාවෙන් අවසරයි වැඩසටහනේ එක්තරා දිනක සභාපති තුමාගේ මුලාසන කථාවේදී. එතුමා එදා කිව්වේ සිංහල උනත් හරියට වචන ගලපලා ලියන්න කියන දෙයයි..........

Wednesday, February 11, 2015

තාත්තා බෝනික්කා...

අහම්බෙන් දැක්ක දෙයක් Share කරන්නම හිතුනා........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: 



එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.
ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. 
රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. වහිනකොට එයා තෙමීගෙන ගිහින් කාර් එක ගේ දොර ළගටම පැදගෙන ආවා අනික් අයට නගින්න. කාට හරි සනීප නැති වුණොත් එයා ඕන වෙලාවක ගිහින් ඛෙහෙත් අරගෙන ආවා. 
එයා ගොඩාක් පිංතූර ගත්තා. ඒත් ඒ පිංතූර වල එයා හිටියේ නැහැ. සෙල්ලම් ගෙවල් හදනකොට මට හිටියා අම්මා බෝනික්කෙකුයි, තාත්තා බෝනික්කෙකුයි. සෙල්ලම් ගෙදර වුනත් වැඩිපුර වැඩ තිබ්බේ අම්මා බෝනික්කාට. තාත්තා බෝනික්කත් එක්ක මොනවා කරන්නද කියලා මම හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඉතිං දවසක් මට තාත්තා බෝනික්කා වගේ —මම දැන් වැඩට යනවා කියලා එයාව ඇද අස්සට විසිකරලා දැම්මා.
තාත්තාගේ මිනිය තිබ්බේ අපේ ගෙදර සාලේ. එදා ගොඩාක් අය කේක් වගේ හොඳ හොඳ කෑම ජාති මහ ගොඩාක් හදාගෙන ආවා. කවදාවත් අපේ ගෙදරට එච්චර සෙනග ඇවිත් තිබුණේ නැහැ. 
මම මගේ කාමරේට ගිහින් ඇඳ අස්සට නැමිලා තාත්තා බෝනික්කා එළියට අරගෙන දූවිලි පිහලා ඇඳ උඩින් තිබ්බා. එයා වෙනදා වගේම මොකුත් කළේ නැහැ. 
ඒත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයා අපි දාලා ගියාම අපට මෙච්චර දුකක් දරාගන්න වෙනවා කියලා.



(කැඩපත බ්ලොග් එකෙන්/ එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ)
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Saturday, November 1, 2014

ප්‍රමාද වීමට ඉතා ආසන්නයි

කොහේ යන්නද ප්‍රමාද වෙන්නෙ?

හිතට ලොකු භයක් දැනුන සිදුවීමක් අහන්නට ලැබුනා. සමහර අයට නම් මේක "හුරු" දෙයක් වෙන්න ඇති.

මේක අපේ හාමුදුරුවන් වහන්සේලා ගැනයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් දැන්, දානය සඳහා ලැයිස්තු දීමෙන් වෙන්නේ දායකයා සස්නෙන් ඈත් වීමයි. විශේෂයෙන්ම එම දාන වට්ටෝරුවේ මේ මේ ලෙස තිබිය යුතු බවට පනවන නීතියන්, කොයි තරම්  ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බුදුන් වදාළ මාර්ගයෙන් ඉවත් වී ඇති බවට පෙන්වන සාධකයකි.

සියල්ල මොහොතක් පාසා "අනිත්‍ය" නම් වූ ධර්මතාවයට යටත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා, දෙසවනෙන් ඇසුවා මතකයි. මේ සියල්ල අද සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වරදක් නොව, ධර්මය සතු සංදිට්ඨික බව ඉක්මනින් අතුරුදහන් වෙමින් පවතින බව හඟවන සාධකයි.

නොදැනීම දෑසට කදුළක් නැගුනේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයටත් අනිත්‍යතාව නම් පොදු ධර්මතාව නිසා "ගෞතම බුද්ධ සාසනය" නමැති පහන් සිළ නිවී යාමට ඉතා ආසන්න බව වැටහීමෙන්ද, නැතිනම් තවමත් සසරින් මිදී නොමැති මා, මේ සාසනය මඟ හැරුනොත්, තව කල්ප ගණනකින් ප්‍රමාද වීමට ඉතා අසන්න බව වැටහීමෙන්ද යන්න ගැන නම් බොහෝ වේලා යනතෙක් කල්පනා කළා මතකයි.

"සංසාරය" නමැති ඉමක් කොණක් නොපෙනෙන සයුර තරණය කරන්නට තිබුන "තථාගත ධර්මය" නමැති එකම යාත්‍රාවටත් අනිත්‍ය බව උරුම වන බව නේද උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ?

 පෙර කවරදාකටත් වඩා සංසාර භයක් සමඟ අනිත්‍ය සංඥාව සිතේ ප්‍රභලව වැඩුනා මතකයි............

Sunday, July 27, 2014

ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

"දැනුම බලය වේ...." අපි පොඩි කාලේ ඉඳලම හොදට අහලා පුරුදු වචන ටිකක් නේද? ඒත් මට පොඩි කාලෙ ඉඳලම තිබුන ප්‍රශ්නයක් තමයි "දැනුම" කියන්නේ මොකක්ද කියලා. උපාධියක් තියෙනවා නම් ඒ කෙනා තමයි දැනුම තියෙනවා කියලා මම හිතපු කාලයක් තිබුනා. අන්තිමට උපාධියකුත් ගත්ත කියමුකෝ. ඊ ළගට හිතුවා ඊට‍ වැඩිය ලොකු උපාධියක් ගත්තම දැනුම සම්පුර්ණයි කියලා. ඒත් දැන් තේරෙනවා ඒකත් වැරදි කියලා.......

හිතට පුරවා ගන්නා හැමදේකින්ම උනේ හිතේ බර වැඩි වීම විතරයි. අපි දැනුම සොයා යන්න හිතන තැන, විශ්ව විද්‍යාල වල ඉන්න උගත් මහාචාර්ය, ආචාර්‍ය වරු කොයි තරම් දැනුම නිසා හිත බර  කරගෙන ඉන්නවද?. තමන්ගේ උගත්කම නිසා "මම" කියන දේ කොයි තරම් ඒ මහත්වරු දැඩිව අල්ලාගෙන ඉන්නවාද ? බටහිර විද්‍යාව කියන අන්ධකාරය "මගේ " කරගෙන තව බොහෝ කල් සංසාරේ ඇවිදින්න "ඉන්ධන" එකතු කරගන්නවා නේද කියලා ඇත්තටම හිතට අනුකම්පාවක් දැනුනා..... තමන්ගේ අදහස හරි කියන මතයේ තදින්ම එලබ ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ "අවිද්‍යාව" පිලිබඳ ලබා ගන්නා උපාධිය කියන්නේ. මේ රටාවෙන් බැහැරට යන පින්වත් ආචාර්‍ය මහත්වරු හරිම අඩුයි. (වාසනාවකට එහෙම අය නැතුවාම නොවේ )

උපාධි ලබා ගන්නා පිරිසත් අන්තිමට සිදු කරන්නේ තමන්ගේ ගුරුවරුන් පාරේම යමින් අවිද්‍යාව පිළිබඳ ලබාගත් උපාධියෙන් හිතේ බර වැඩි කරගැනීමයි. මම ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් කියලා හිතාගෙන පොළවේ පය ගසන්නේ නැති පිරිසක් ලෙස හැසිරීමයි.

මම 2007 කාලේදී මට තිබුන අසනීපයකට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලේ සායනයකට ගියා. රෝගීන් ප්‍රමාණය වැඩි නිසාම ගොඩක් වතාවල් වලදී ඔවුන් සිටගෙන සිටින ආකාරය අනුව දොස්තර මහත්වරු ඇවිද යන මාර්ගය අවහිර වෙනවා. ලොකු දොස්තර මහත්වරු රෝගීන් අතරින් රිංගා අදාළ සායනයට පැමිණෙන අතර, සුදු කබාවලින් සැරසුන දොස්තර වීමට ඉගෙන ගන්නා පිරිස පැමිණෙන්නේ අසරණ රෝගීන්ට දොස් පවරමින්. ඔවුන් පුරුදු කරන "මාන්නය" ඒ තරම් වැඩියි. ඉතින් දැනුම බලය වේ ද?

අවිද්‍යාව ඉගෙනීමෙන් ලබා ගත් උපාධිය අතහරින්න. එය සමාජයට සේවයක් සිදු කිරීමට පමණක් යොදාගන්න. ඔබ උපාධියක් ලබාගන්නා විට, ඔබේම යහළුවන් විභාග අසමත්ව, ජීවත් වීමටවත් විදියක් නොමැතිව දුක් විදින්නේ ඇයිදැයි කල්පනා කරන්න. ඔවුන්ට ඔබ සමඟ පැමිණීමට නොහැකි වූ හේතු සිතා බලන්න. ඔබ මාර්ගය දකින්න.

මේ සටහන් ලියන්නේ කිසිම කෙනෙකුට රිදවන්න හිතාගෙන නම් නෙමේ. ඇත්තටම එවැනි අය දැක්කාම හිතේ ඇතිවෙන අනුකම්පවෙනුයි. ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

Saturday, June 21, 2014

ඔබේ අවසාන ඉලක්කය කුමක්ද?

පූජ්‍ය අචාන් චා හිමියන්ගේ "මේ භාවනාවට කාලයයි" (පරිවර්ථනය - ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා.  ISBN 978 955 667 129 2) කෘතිය කලෙකින් කියවන්නට ලැබුන හොඳ කෘතියක් ලෙස සලකමි. පුජ්‍ය අචාන් චා හිමියන් විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද අගනා දහම් පඩුරක් මේ කෘතිය මගින් පාඨකයාට හිමි වේ. බෞද්ධ අබෞද්ධ කාටත් මෙහි අන්තර්ගතය වැදගත් වේ යැයි සැලකිය හැකිය. එහි සඳහන් පහත කථාව අප සියලු දෙනාට වැදගත් වේ යැයි සිතුන නිසා එය මෙලෙස සාරාංශ කොට පළකරමි.

ව්‍යාපාර සම්බන්ධ උපදෙස් සපයන බොහෝ සාර්ථකත්වයට පත් එක්තරා මහාචාර්යවරයෙක් දුප්පත් මසුන් මරන්නන් වෙසෙන ගම්මානයක සංචාරය කරන අතර, උදැසනම පැමිණ මසුන් මරන්නෙකු සමඟ සංවාදයකට වැටින.

"ඔබ උදැසනම පැමිණ මසුන් මරා ඉන්පසු කරන්නේ කුමක්ද?" මහාචාර්යවරයා ඇසීය.

"මම මේ මසුන්ගෙන් ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ගෙන, ඉතිරි ටික විකුණනවා. ඉන්පසු ගෙදර ගොස් මගේ බිරිඳ හා දරුවන් සමඟ දිවා ආහාරය ගෙන, ටිකක් නිදා ගන්නවා. ඉන්පසු සවස මගේ දරුවන් සමඟ ටිකක් සෙල්ලම්කර, හවස සමාජ ශාලාවට ගොස් මධුවිතෙන් සප්පායම් වී යාළුවොත් එක්ක ගිටාරය වයමින් විනෝද වෙනවා. ඉන්පසු රෑ බෝ වී නිවසට ගොස් හොදින් නිදා ගන්නවා" යැයි මෙම අව්‍යාජ ධීවරයා පැවසීය.

මොහුට නොමිලයේ උපදෙස් කිහිපයක් දීමට ආශාවක් පහල වූ මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් උදෑසන සිට සවස් වන තුරු මසුන් මරන්න. එයින් ඔබට දැන් ඔබ ලබනවා මෙන් කිහිප ගුනයක අදායමක් ලබා ගත හැකියි. ඔබට එම මුදල් ඉතිරිකොට මෝටර් බෝට්ටුවක් ලබාගෙන පිරිස සමඟ වැඩියෙන් මුදල් උපයා ගත හැකියි. අවරුදු 2ක් පමණ යන විට ඔබට දෙවන මෝටර් බෝට්ටුවද මිලදී ගත හැකියි. අවරුදු හත අටක් යනවිට ඔබ විශාල ධිවර සමාගමක හිමිකරුවෙක්. ඔබට ඔබේ සමාගමේ සම්බන්ධතා ජාත්‍යන්තරයට ගෙන යා හැකියි. ඉන්පසු ඔබට කොටස් වෙළදපොලට ඇතුළත් වන්නට පුළුවන්. මේ වන විට ඔබ කෝටි ගණනක් වටිනා සමාගමක හිමිකරුවෙක්."

"මගේ දැනුම හරි ඉහලයි. මම දුන්න ව්‍යාපාරික උපදෙස් වැරදිලා නැහැ" මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

ධීවරයා මෙම උපදෙස් බොහෝ සිහි බුද්ධියෙන් අසා සිටියේය. ඔහු මෙලෙස ඇසුවේය.
"ඩොලර් කෝටි ගණනකින් මම මොකද කරන්නේ?"

එම ප්‍රශ්නයට මහාචාර්යවරයා තරමක් කළබල විය. ඔහු සැලසුම ගැන සිත යොමු කලා මිසෙක, එහි අවසානය ගැන සිතුවේ නැත.

ඩොලර් කෝටි ගණනක් අතේ ඇත්නම් කළහැකි දේවල් පිළිබඳව මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් ලස්සන ධිවර ගම්මානයකින් නිවසක් මිළදී ගන්න. ඔබට පුළුවන් සුඛෝපබෝගී බෝට්ටුවක් මිළදී ගෙන, උදැසනම ගොස් විනෝදයට මසුන් මරන්න. ඉන්පසු ඔබට දවල්වෙලා ඔබේ පවූලත් සමඟ දිවා ආහාර ගෙන, කදිම නින්දක් දාන්න පුළුවන්. සවස් වී ඔබේ දරුවන් සමඟ ගතකොට අවන්හලට ගොස් මධුවිතෙන් සප්පායම් වී, ඔබේ යහළුවන් සමඟ ගිටාරය වයමින් විනෝද වෙන්නත් පුළුවන්. "

ධීවරයා එයටද හොඳින් සවන් දුන්නේය.

"ඉතින් මම දැන් කරන්නෙත් ඕකම නේ. ඒකට ඩොලර් කෝටි ගණනක් ඕන නෑ නේ?"

-- බොහෝ දෙනෙක් මුලින් සිතන්නේ ධනවත් වීම ගැන පමණි. ඒ සඳහා බොහෝ වෙහෙසෙන්නේ ධනවත් වීමෙන් පසුව ලැබෙන දේ සඳහාය. එහෙත් ඊට පෙර සිටම හිමි සිතේ සාමය ගැන නොසිතනු ඇත.




Saturday, April 19, 2014

අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ......

එක සැරේටම හිතට දැනෙන්නේ නැති උනත්, කල්පනා කරනකොට මතුපිටින් ඇති අරුතට වඩා ගැබුරු අරුතක් ඇති මේ ගීතය අසා බලන්න.

අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ, සිතුවිලි පව්වේ පෙරදිග අහසේ, හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි.....

හිමිදිරි යාමේ සිත නැමැති පව්වේ පෙරදිග, බුදුරැස් දැක ගත්තෙමි. සමාධිමත් වූ සිතක ප්‍රභාශ්වර සමාධි ආලෝකය තුලින් බුදු රුව දැක ගත්තෙමි..... සිතේ සමාධිය දියුණු වන විට කෙළෙස් තුනී වීම සමග මෙතෙක් කල් අදුරුව පැවැති සිත නමැති අහස, අරුණළු සමග ආලෝකමත් වන පෙරදිග අහස මෙන් ආලෝකමත් වීම, භාවනාව තුළින් සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට සිදුවෙන දෙයක්.

"කළුවර ගොණුකොට ගිමන් දවන මග ගමන් කළෙමි දුර සසර පුරා..." අප්‍රමාණ සද්ධාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සියළු සැක සංකා දුරු වන මොහොත (සෝවාන් අවස්ථාව) එළබෙන විට, සංසාර ගමන මොන තරම් දුක් සහිතද කියන අවබෝධය ලැබේවි. අවිද්‍යාව නිසා, මෙතුවක් කාලයක් පස්කම් සැප එක්තැන් කරගෙන දුර සංසාරය පුරා ගමන් කළ බව වැටහේවි...

"මහ කරුණාවේ සිලිල ගලා එන බුදු හිමියනි ඔබේ මෙත් දහරේ, නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදා හැර...."  අවම වශයෙන් ධ්‍යාන දක්වා වත් සිත දියුණු කළ අයෙක්, මේ ලෝකයේ ඇති සියලු සැප අභිබවා යන ධ්‍යාන සුඛය වර්ණනා කරාවි. බුධ්ධානුස්සතිය දියුණු කළ කෙනෙක් නම්, ජීවිතය ගැන ආශාව පවා අත්හැර, බුද්ධ මයිත්‍රීය තුළ නැහැවෙමින් සිටීවි.......

වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙන්න. මගේ සිතට දැනුන හැගීමක් මෙලස අකුරු කලේ.....

තවත් සිතා බලන්න. අත්දකින්න උත්සාහවත් වෙන්න....

Thursday, March 20, 2014

සිතන්නට යමක්.....

දිවයින පත්තරේ ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා විසින් පළ කරන ලිපියකින් උපුටා ගත්ත මේ කොටස එක වරක් නොව, දහස් වරක් උවද කියවා තේරුම් ගැනීම යහපත් වේවි. 

:: අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා 'දුකක්‌' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌, සෑම දවසක්‌ම සුබ දවසක්‌. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක්‌ පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌ වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්‌, හූනියමක්‌, එහෙම නැතිනම් කොඩිවිනයක්‌. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක්‌ තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක්‌ කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි' කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක්‌ බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක්‌ වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'

මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක්‌ ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක්‌ නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත :::


- Sunday Diwaina (Maha Rahathun Wadi Maga Osse)

Tuesday, February 18, 2014

හිතට දැනුන කථාවක්....

මේක උපුටා ගත්තේ මෙතනින්.

මේ වගේ ආඩම්බරකාර අය අද කොච්චර නම් ඉන්නවද? තමන්ගේ අම්මා තාත්තා කොහොම අය උනත්, කොච්චර දුප්පත් උනත්, තමන් මේ ලෝකෙ අද ඉන්න තැනක ඉන්නේ එයාල නිසයි.......

Monday, February 17, 2014

සුනඛ යාළුවා.....



අපේ quarters වල ඉන්නවා පොඩි බලු පැටියෙක්. බලු පැටියෙක් කිව්වට ස්ත්‍රී ජාතියේ කෙනෙක්. උඩින් තියෙන රූප රාමුවේ ඉන්නේ එයා තමයි. තවම වැඩි වයසක් නැ. මාස 5 ක් විතර ඇති. මේ යාළුවා විශේෂ කෙනෙක් කියල හිතෙනවද?

මේ කෙනාට තියෙන්නේ නිමා නොවන බඩගින්නක්. කෙටියෙන්ම කිව්වොත්, බඩජහරියෙක්. අසීමිත විදියට දෙන ඕන තරමක් මෙයා කාවි. ඒ වගේම පුදුම කලබලේකින් මෙයා කෑම කන්නෙත්. නිමා නොවන කුසගින්නකින් මේ යාළුවා පීඩා විදින්නෙ. ඒක මෙයාගේ හැසිරීම ටිකක් නිරීක්ෂණය කළාම මට තේරුණා.....

ටිකක් හොදින් බලන්න. දිග කන්, සිහින් මුහුණ, කුඩා කට, අසීමිත බඩගින්න.......

අතීතයේ කිසිම දානයක් නොදී සිටි උඩගු මනුෂයෙකුගේ ඉන්පසු කල්ප ගණනක පෙරේත ජීවිතය අවසානයේ නැවත තිරිසන් ආත්මයක් ලෙස  පුනරාගමනය ඔබට පෙනේද?

මම අහලා තියෙන බණ කතාවක් මට මතක් උනා. සංසාරයේ කර්මයේ විපාක කියැවෙන මේ පොඩි කථාව කියලා දුන්නේ දරනාගම කුසලධම්ම නා හිමි විසින් The Buddhist නාලිකාවෙනුයි..

"ඔන්න අතීතයේ එක්තරා ස්වාමි පුත්‍රයෙක් තමන්ගේ සුනඛයා සමග ජීවත් වෙනවා. හැබැයි මේ ස්වාමි පුත්‍රයා තමන්ගේ සුනඛයාට බොහොම දරුණු විදියට තමයි සලකන්නේ.

ඉතින් මේ බව රටේ රජතුමාට දැනගන්නට ලැබුනා මොහු සත්ත්ව හිංසනයේ යෙදෙන බව. ඉතින් රජතුමා මේ පුද්ගලයා සහ සුනඛයා කැදෙව්වා. රජතුමාට තේරුණා කතාව ඇත්තක් බව. ඉතින් රජතුමා සුනඛයාගෙන් ඇහුවා මේ වරදට තමාගේ ස්වාමියාට දිය යුතු දඩුවම ගැන. සුනඛයා මෙහෙම කිව්වා.

' රජතුමනි මගේ ස්වාමියට පෝසත් වීමේ දඩුවම දෙන්න.'

රජතුමාට මේක ප්‍රෙහෙලිකාවක්. ඇයි පෝසත් වීම කියන්නේ දඩුවමක් නෙමේනේ. ඒ සැරේ සුනඛයා මෙහෙම කිව්වා.

'රජතුමනි, ගිය ආත්මයේ මම පෝසත් මනුෂයෙක්. ඒත් මම කිසිම දානයක් දීල නැහැ. ඒ නිසා මට මේ ආත්මයේ කෑම ලැබෙන්නේ අඩුවෙන්. මම ධනය නිසා උඩගුව ජීවත් වුනා. ඒකේ විපාක විදිහට මට මේ ආත්මය සුනඛයෙක් වෙන්න සිදු වුනා. දැන් අප්‍රමාන දුක් විදිනවා. ඉතින් මගේ ස්වාමියාටත් දිය හැකි දරුණුම දඩුවම පෝසත් වීමේ දඩුවමයි......' "

අනවබෝධය නිසා, ධනයට, බලයට, උගත්කමට, රැවටිලා අද කී දෙනෙක් සුනඛ ආත්මයට කර්ම රැස් කරනවද?

Tuesday, February 11, 2014

ලකුණු වැටීම සහ ලකුණු දා ගැනීම.....

මේ දෙකම එකක් ද? නැත්නම් දෙකක් ද? මට නම් හිතෙන්නේ වෙනම කාරනා 2ක් විදියටයි. මට මේක හදිස්සියේම මතක් උනේ හිතට දැනෙන සිදුවීමක් නිසයි. එත් ඒවා අමතක කරමුකෝ......

ඒත් හැමවෙලේම තරගය තියෙන්නේ ලකුණු වැටෙන අය අතරේ නෙමේ.... ලකුණු දා ගන්න මහන්සිවෙන අය අතරෙයි.... මට තේරෙන විදියට හේතුව තමයි, ලකුණු දා ගන්න මහන්සි වෙන අය ඇතුලතින් හිස්. ඉතින් එයාලා දන්නවා, කවදාවත් තමන්ට ලකුණු වැටෙන්නේ නැහැ, අනුන්ගේ ලකුණක් දා ගන්නවා ඇරෙන්න කියලා.

ලකුණු වැටෙන අය කවදාවත් වැටෙන ලකුණ ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ලකුණත්, අර හිස් මිනිසුන්ට දීලා නිකන් ඉන්නවා හැරෙන්න.....

මගේ ජීවිතේදී මට තවත් දෙයක් දකින්න ලැබෙනවා. මම අර මුලින්ම කිව්ව ලකුණු දා ගන්න මහන්සිවෙන අසරණයෝ ගැන. ඒක මම සෙන් උපමා කතාවකින්ම කිව්වොතින් පැහැදිලි වේවි. අපි මෙහෙම ඒ කතාව කියමුකෝ......

ඔන්න දවසක් සෙන් හාමුදුරුවෝ මුණ ගැසෙන්න එනවා සමාජයේ පිළිගත් උගත් මහත්මයෙක්. ගොඩක් අය උගත්කමත් එක්ක බුද්ධිමත් කම පටලවා ගන්නවා නේ. මෙයත් එහෙම කෙනෙක්. ඉතින් අර මහත්මයා ඇවිත් සෙන් හාමුදුරුවෝ එක්ක ධර්මය ගැන වාද කරලු. ඊට පස්සේ, සෙන් හාමුදුරුවන්ගෙන් භාවනා කරන්න ඕන කියල උපදෙස් ඉල්ලුවලු.

සෙන් හාමුදුරුවෝ ගෙන්න ගත්තලු කෝපි පොච්චියකුයි පිර්සි කොප්පයෙකුයි.

"මහත්තයෝ අපි කෝපි ටිකක් බොන ගමන්ම මේ ගැන කථා කරමු" කිව්වලු.  එහෙම කියලා අර මනුස්සයාගේ කෝප්පය පිරිලා ඉතිරෙනකන්ම කොපි වත් කරනවලු. දැන් කෝප්පය පිරිලා බිම දිගේත් ගලනවා. එත් හාමුදුරුවෝ තවත් කොපි වත් කරනවා.. ඉතින් අර උගත් මනුස්සයට මේක බලාගෙන ඉන්න බැරිම තැන මෙහෙම කිව්වා.....

"හාමුදුරුවනේ දැන් කෝප්පය පිරිලා ඉතිරිලා බිමත් කෝපි ගලනවා නේ?"

"ඔව්. ඔබේ හිසත් මේ පිරුණු කෝප්පය වාගේ..... කළු පාට කුණු වලින් පිරිලා. මම තවත් ධර්මය කියන්න ගියොත් මේ උණා වගේම පිරිලා ඉතිරිලා යාවි. කරුණාකර ඔබේ හිස නමැති කෝප්පය හිස් කර පැමිණෙන්න. එවිට මට අලුත් දෙයකින් එය පුරවා දිය හැකියි."

දැන් සිද්දීන් ගලපලා හිතල බලන්න.......... මම ම කියන එක හරි නැහැ නේ.... ... ....

Friday, February 7, 2014

ගොඩක් කණගාටු සිදුවීමක්..

::::::::::::::::::::: A News ::::::::::::::::::::::::::::::::::::
 
ෆේස්බුක් සමාජගත වෙබ් අඩවියේ තමා නිල ඇදුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පළ කර තිබේ යැයි විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීම හේතුවෙන් සිත් තැවුලට පත්15 හැවිරිදි ශිෂ්‍යාවක් සිය දිවි හානි කර ගැනීම පිළිබඳ සිදිධියක් පසුගියදා වාර්තා වුනි. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණැගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි,කුරුණෑගල ජනප්‍රිය පාසලක 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පී.බී.වෙනුෂා ඉමන්දි බණ්ඩාර නැමැති ශිෂ්‍යාවයි. ඉකුත් 03 වැනි දින විද්‍යාලීය කාර්යාලයට ගෙන් වූ මේ ශිෂ්‍යාව,ඇය විසින් පවත්වා ගෙන යනු ලැබූ බව කියන ෆේස්බුක් ගිණුම් 02ක ඇය පාසල් නිල ඇදුමින් සැරසී සිටින හා විද්‍යාලීය නිල ලාංඡනය සම්බන්ධ පින්තූර කිහිපයක් පළ කරා යැයි විදුහල්පතිතුමා විසින් දැඩි ලෙස දොස් පැවරීම හේතුවෙන් සිත් තැවුලට පත් ව මෙලෙස සිය දිවි හානි කර ගෙන තිබේ. ඇය දිවි නසා ගැනීමට පෙර සිය පියා වෙත ලියන ලද පිටු 03ක එම ලිපිය මෙසේය.

 2014 -02-05 අප්පච්චී වෙත.. මට සමාවෙන්න මම මේ වගේ තීරණයක් ගත්තට මං වරදක් නොකර මට බෑ මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගවට ගෙනියන්න. එතන මං වරදක් කලානම් කලේ 7 වසරෙදි 4to ගහපු එක.මං කල ඒ වරද විතරක් මං පිළිගන්නවා. 4to එක f b දාපු කෙනයි ඒ 4to එක දීපු කෙනයි බේරිරා ඇයි මට විතරක් ඇඟිල්ල දික්කරන්නේ.අද මං මගේ අහින්සක අප්පච්චී ස්කෝලෙට ගෙනිච්ච නම් සර්ගෙ පද කොච්චර අහන්න ඕනද මගෙඅප්පච්චී එහෙම දේවල් අහන්න ඕන නෑ.කොච්චර ප්‍රශ්න ගොඩක් අප්පච්චි ඔළුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ. ඒ අස්සේ කොහෙවත් යන එකකට මගෙ අප්පච්චි බාල්දු කරන්න මට කොහොමවත් ඕන කමක් නෑ.මේ ඔක්කොටම හේතුව අපේ ප්‍රින්සිපල් කිසිමදෙයක් දන්නෙ නැතුව මට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.එක පාරක් ළමයි 5000ක් මැද්දේ රැස්වීමේ උඩට ගත්තා කොල්ලෙක් එක්ක film එකක් බැලුව කියල.ඒක දන්නවා මගේ නංගි, අක්කි මං තනියමද ගියේ කියලා.මෙච්චර අසාධාරණ කම් වෙද්දී මං ගොඩක් ඉවසුවා.තවත් බෑ බණ්ඩාර සර් පංති භාර ගන්නවා කියල දැනගත්ත දවසෙ හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා.එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා.මේ ස්කෝ‍ලෙ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද.ස්කෝලෙ මොකක්හරි තරඟයක්,උත්සවයකට මම නැටුවෙ නැත්නම් තමා පුදුමෙ.ජයසුන්දර මිස් රංජනී මිස් ඒවා දන්නවා.මට තවත් බෑ මගෙ බණ්ඩාර සර්ටයි මගෙ අප්පච්චිටයි දුකක් දෙන්න. මං අද කරගන්න දෙයින් මම හිතනවා තවත් ළමයින්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා. සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා.මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහඅහ O/L කවදාවත් කරන්න බෑ.අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට ‘‘වේසි’’ කියලා කතා කරන එක නවත්තන්න.ළමයින් වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා .ඔය ස්කෝලෙ වැරදි කරන්නෙ මමයි නංගියි විතරක් නෙවේ.50% ක්ම යාළු වෙලා ඉන්නෙ.ඒවා සර් දන්නෙ නෑ අපි කියන්නෙත් නෑ.ඒකයි හැමදාම අපේම වැරදි කියන්නෙ.මං මගෙ අප්පච්චිට ගෙඩක් ආදරෙයි.කවුරුත් ඉස්සරහ මගෙ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ.දැන් ප්‍රින්සිපල්ට තියෙන්නෙ මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා.අපි හොඳ දෙයක් කළාට තරඟ වලින් දින්නටඅපිට හොඳ නාමය දුන්නෑ ඒත් වරදක් කලාම ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නෙ.

එයා කියන්නේ මම ස්කෝලෙට අගවුරවයක් කියලනේ ඕව අහඅහ මට ස්කෝලෙ යන්න බෑ ගමගේ සර් කිවුවා මම නරක ළමයෙක් කියලා.මං එවෙලේ මගේ O/L රිසාර්ට් වලින් මගේ හොඳනරක පෙන්නන්න තීරණය කළත් මං පරක්කු වැඩී දැන් කරන්න දෙයක් නෑ. මට ඔය ස්කෝලෙ මගේ දක්ෂතා ගැන කියනවානම් කිවුවේ මගේ බණ්ඩාර සර්,නැටුම් මිස්ලා දෙන්නා ප්‍රභා මිස් විතරයි.මං ප්‍රභා මිස් ගාවට ගිහින් මගේ ප්‍රශ්න ගැන කියලා මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරඟයක් දෙන්න හිතාගෙන හිටියේ.ඒත් මගේ හීන ඔක්කොම විනාශ කරා.මට දැන් O/L තියා ලබන ආත්මෙ කොහොම තැනක් තියෙයිද කියලවත් හිතාගන්න බෑ. අප්පච්චී ඔයා මගේ ඉඩම් කොටස ඔයාගේ නමට හරව ගන්න.මම නැතුව ඔයට සළකන්න කෙනෙක් ඉඳියොත් පුදුමයි.දැන් ඔයා ලඟින් ඔක්කොම ඉන්නේ සල්ලි තියෙන නිසා.නැති වුන දාට ඔයාට කවුරුත් නැතිවෙයි.ඒක වෙන්න දෙන්න බැහැ.අවසාන අවසාන මෙහොතෙත් මගෙ අප්පච්චිගෙ ඇස් දෙක විතරයි පේන්නෙ.මට ඔයා දාල යන්න ගොඩක් දුකයි.නංගිත් පුළුවන්නම් ස්කෝලෙන් අස් කරන්න.ඔය ප්‍රින්සිපල් ඉන්නකම් නංගිට වනස්කම් කරයි.අම්මේ මම අම්මටත් ගොඩක් ආදරෙයි.අම්ම මං එක්ක කතා නොකරට කමක් නෑ සතුටින් ඉන්න.මගෙ අක්කි මට අන්තිම වෙලාවෙත් බලාගන්න බැරි වුනා.ඔයත් ඉන්න තැනක සතුටින් ඉන්න.මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් ‍හොයල බලන්න.නංගී එයා ලොකු ගින්දර ගෙඩක් මැද්දේ පිච්චි පිච්චි ඉන්නෙ.මං නැතුව ඔයාගෙ ප්‍රශ්න කියන්නෙ කාටද අප්ච්චි.මට ලියන්න ලියන්න මගේ හිතේ දුක තවත් වැඩි වෙනවා.ලබන ආත්මෙටවත් සැනසීමක් නැතිවෙයි. මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉඳියි.ස්කෝලන් අස් කරන්න බලයි.ඒ ළමයි වෙනුවෙනුයි මේ තීරණේ.

 I love my family
මාව දැක්ක ගමන් බණ්ඩාර සර්ට ඉස්සෙල්ලාම කියන්න.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මට මේක දැක්කාම තේරුනේ මේ දරුවා ගෙදර ප්‍රශ්නයකුත් එක්කයි ඉදල තියෙන්නේ. එක හරියට තේරුම් ගන්න විදුහල්පති සහ ගුරුවරුන් අසමත් වෙලා.......

මේ දරුවට දඩුවම් දීම නෙමේ, මානසික උපදේශනය වගේ දෙයකුයි විය යුතුව තිබුනේ.... කොහොම උනත් හිතට ගොඩක් දුකයි. මොකද, මමත් 1 වසරේ ඉදල 13 වසර වෙනකන් මේ ස්කොලේ ඉගෙන ගත්තා... එකෙන් ජීවිතේ කෙනෙකුට යන්න පුළුවන් ගොඩක් දුරකට ගියා.....

වාසනාවකට අපේ කාලේ අපිව තේරුම් ගන්න පුළුවන් විදුහල්පති තුමෙකුයි, ගුරු මණ්ඩලයක් අපට හිටියා................

Sunday, October 23, 2011

"Rahatunge Maga" - The way of Arhath 22

සයුරු සැපෙහි වේ මේ සා දෝසා

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, zඅපි තිරිසන් ලෝකයේ උපත නොලබනවාZ කියලා. මනුෂ්‍යයාට එහෙම හිතන්න පුරුදු කළහම මේ සිත නැමැති පාප මිත්‍රයාට, මිත්‍ර ෙද්‍රdaහියාට හරිම ලේසියි ඔබව, තිරිසන් ලෝකයේ උපතට අවශ්‍ය හේතූන් ඔබ තුළින් සකස්‌ කරන්න. තිරිසන් ලෝකයේ නිසරු උපතකට අවශ්‍ය ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක්‌ මෙලොවදී ඔබට ලබාදෙන්න. සතර අපායෙන් අපේ ඇසට පෙනෙන ලෝකය තමයි තිරිසන් ලෝකය. සතර අපායට අයත් ප්‍රේත, අසුර සහ නිරය දැකීමට නොහැකි වුවත් ඔබට නිරය ගැන, ප්‍රේත ලෝකය ගැන දැනීමක්‌ තිබෙනවා. එහෙත් ඔබට මේ ප්‍රකාශ කරන්නට යන්නේ එතරම් සඳහනක්‌ නොවන සතර අපායට අයත් අසුර ලෝකය ගැනයි.

ඒ අසුර ලෝකයට අපේ අවධානය අඩුයි. එහෙත් ප්‍රේත ලෝකයට සාපේක්‍ෂව අසුර ලෝකය විශාලත්වයෙන් වැඩි විය යුතුය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්‍රිතව තමයි අසුර ලෝකය ස්‌ථානගතවෙලා තිබෙන්නේ. මේ මහා සාගරය තමයි අසුරයන්ගේ නිජබිම. සත්වයෙක්‌ මේ අසුර ලෝකයේ උපතක්‌ ලබන්නේ ඇයි? මහා සාගරයට තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන් මතු අසුර ලෝකයේ උපත ලබා මහා සාගරයට බැසගන්නවා.

ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ මුහුදුකරය කියලා රට වටේ ප්‍රදේශය හඳුන්වනවා. ලෝකයේ අනිකුත් රටවල මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මේ ලෝකයේ මුහුදු ආශ්‍රිතව වෙසෙන ජනයා මුහුද තමන්ගේ ජීවිතය කරගෙනයි ජීවත් වන්නේ. ඒ අය නිවසින් එළියට බැස්‌සත්, ජනේලයෙන් එළිය බැලුවත් ඔවුන් දකින්නේ, පෙනෙන්නේ මුහුදයි. මුහුදේ ඝෝශාව, සුළඟ, මුහුදු රල මේ අය වැසිකිළියට යන්නෙත් මුහුදට, සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ මුහුදු වෙරළේ. නැතිනම් මහ මුහුදේ. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. මේ මුහුද ආශ්‍රිත මිනිස්‌සු යෑපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. අපේ රටේ පමණක්‌ නොවේ මුළු ලෝකයේම සමහරු උදේ ඉඳන් රාත්‍රි වනතුරු, බිලී පිති දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත් නොසිතා මුහුද මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදේ මාළු දැල් එලනවා. තවත් සමහරු සවස තම බෝට්‌ටු වලින් මුහුදු ගියහම ආපසු ගොඩබිමට පැමිණෙන්නේ පසුදා අලුයම. තවත් සමහරු බහුදින ධීවර යාත්‍රා වලින් මුහුදු ගියහම ආපසු පැමිණෙන්නේ සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව් වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්‍ෂණය.

මේ හැම ධීවර කාර්මික මහත්මයෙක්‌ම මහ මුහුද උපාදානය කරගත් අයයි. මේ අයගේ ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත් දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපොරොත්තුවත් මහ මුහුදයි. සාගරය ඔවුන්ගේ ආත්මයයි. මේ ආත්මය තුළින් තමන්ට සැප ලැබේයෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන කරගෙන ගොඩබිමට රැගෙන පැමිණෙන්නේ ප්‍රාණඝාතයේ අස්‌වැන්නයි. ප්‍රාණඝාතයේ අස්‌වැන්න යනු ඔවුන් ගොඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටොන් ගණනයි. කුඩා මසුන් පමණක්‌ නොවේ. කැස්‌බෑවුන්, විශාල මෝරුන්, තල්මසුන්, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්‌සන්... මේවා තමයි මුහුද උපාදානය කරගත් මිනිසුන්ගේ ප්‍රාණඝාතයේ අස්‌වැන්න.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා, ඒ අය මහා සාගරය උපාදානය කරගන්නේ වෙනත් සංඥාවකින්. ඒ අය විනෝදය උදෙසා, සතුට උදෙසා, විවේකය උදෙසා, ක්‍රීඩාව උදෙසා, අධ්‍යාපනය උදෙසා මහා සාගරය උපාදානය කරගන්නවා. අපි මේ අයට කියනවා දෙස්‌, විදෙස්‌ සංචාරකයන් කියලා. සුන්දර මුහුදු වෙරළ තිබෙන රටවල ඉතාමත් දියුණු ආකාරයෙන් පැතිරුණු ව්‍යාපාරයක්‌ මේක. සංචාරයකයන් සැතපුම් දස දහස්‌ ගණනක්‌ දුර කතර ගෙවාගෙන රට රටවල සංචාරයට යනවා. මාලදිවයින කියන රටට වසරකට ලක්‍ෂ ගණනක සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනවා. කුමකටද? මහා සාගරය උපාදානය කරගන්න. අපේ රටත් එහෙමමයි. ලෝකයේ කොහෙ පිහිටියත් සංචරක හෝටලයක මහා සාගරයට මුහුණදාපු කාමර ගොඩබිමට මුහුණදාපු කාමර වලට වඩා මිලෙන් අධිකයි. මෙය සංචාරකයන් මුහුද උපාදානය කරපු නිසා ඇතිවූවක්‌. මේ අය මුහුදේ නාමින්, කිමිදෙමින්, ඔරු බෝට්‌ටු පදිමින්, නොයෙකුත් ජල ක්‍රීඩා කරමින් මහා සාගරය තුළ සතුට සොයනවා. වෙරළේ මහා අවුකාශ්ඨකයේ හිරු එළිය තපිනවා. මුහුද ඒ අයගේ ජීවිතයේ කොටසක්‌ වගේ. ලුණු වතුර, ලවන ස්‌වභාවය ඒ අය ස්‌පර්ශ කරන්නේ දැඩි කැමැත්තකින්. තන්හාවකින්. අපේ රටේ සුන්දර සංචාරක මුහුදු තීරයේදී මේ ස්‌වභාවය ඔබට දකින්න පුළුවන්. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. ඒ අයගේ ආහාරය මහ මුහුදයි. ඒ අයගේ ඇස ඉල්ලන්නේ මුහුදේ සුන්දරත්වයයි. කන ඉල්ලන්නේ රළ පෙරළෙන ඝෝෂාවයි. නාසය ඉල්ලන්නේ පිලී ගඳයි. දිව ඉල්ලන්නේ මුහුදු ආහාරයන්ගේ රසයයි. ශරීරය ඉල්ලන්නේ මුහුදු ජලයේ ලවන ස්‌වභාවයයි. මනස ඉල්ලන්නේ ඉහත සියල්ල තව මදි, තව මදි කියන ඉල්ලීමයි. කය නැමැති ගුහාවේ සැඟවී සිටින සිත නැමැති ඔබගේ පාප මිත්‍රයා ඔබව මේ මුළා කරන්නේ මුහුද මගේ ආත්මයයි. සැපයයි. ලෝකයයි කියාය.

තව පිරිසක්‌ ලෝකයේ සිටිනවා. ඒ අය මහ මුහුදේ විශාල මඟී සහ භාණ්‌ඩ ප්‍රවාහන නැව්වල සේවකයන් සහ සංචරකයන්. නැව් වලට සංඥා ලබාදෙන ප්‍රදීපාගාර සේවකයන්. තවත් බටහිර රටවල පිරිසක්‌ සිටිනවා ඔවුන් සිය රැකියාවෙන් විශ්‍රාම ලබන විට හිමිවන සියලු දීමනා එකතුකර කුඩා රුවල් නැවක්‌ මිලටගෙන රටින් රටට තොටින් තොටට යාත්‍රා කරමින් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමනවා. මේ සියලු ආකාර වල අය ගොඩබිමකට පය නොතබා එක දිගට මාස ගණන් යාත්‍රාකිරීම තුළයි ජීවත්වන්නේ. ඔවුන් විනෝද වෙනවා, සතුටු වෙනවා. හොඳට කනවා, හොඳට බොනවා, තමා සිටින්නේ මහා සාගරය මැද සිර කුටියකයි කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මහ මුහුද කෙරෙහි තිබෙන තන්හාවේ ස්‌වභාවය නිසා මේ සිර කුටිය ඒ අය දකින්නේ සිහින මාලිගාවක්‌ හැටියට. අපි හරියටම නොදන්නා නමුත් අහලා තිබෙන විදිහට මේ අය නැව ගිලුනත් බෑන් චූන් ගහනවලු සැපයි, සැපයි කියලා. මහා සාගරයේ මැරුණත් සැපයි කියන සංඥාවෙන්. මේ අයගේ ජීවිතය කියන්නේ මත්වීම, ඉන්ද්‍රියන් පිනවීම පමණමයි. මේ අය මුහුද මගේ කරගෙන, මුහුද ආත්මය කරගෙන, ඒ ආත්මය තුළ සැප ඇතැයි සොයනවා.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා. ඒ අය තමයි කිමිදුම්කරුවන්. ගවේශකයන්. ඒ අයත් මුහුද තුළ සැප සොයනවා. සම්පත් සොයනවා. ඔක්‌සිජන් ටැංකියක්‌ කරේ එල්ලාගෙන එහි බර දරාගෙන, ගැඹුරු බියකරු මුහුදේ කිමිදෙමින්, ඒවා සැප හැටියට දකිමින් මුහුදේ සැඟවුණු අසිරිය, ධනය, නොපෙනෙන ලෝකය සොයනවා. මේ අයට මුහුදේ ලවන ස්‌වභාවය, මුහුදු ගැඹුරේ භියකරු ස්‌වභාවය බොහොම සුළු දෙයක්‌. මොකද මහ මුහුද කෙරෙහි තබන්නා වූ උපාදානය ඊට වඩා බලවත් නිසා. මේ පිරිසත් මුහුද ආත්මය කොට දකිමින් එහි සැප සොයන පිරිසක්‌මයි. මහා මුහුද ආශ්‍රිතව වෙසෙන කෝටි ප්‍රකෝටි ගණනක්‌ මත්ස්‍යයන්, කැස්‌බෑවන්, ලිහිණියන් වැනි පක්‍ෂීන්... මේ අයත් මුහුද උපාදනය කරගත් පිරිසක්‌මයි. මේ අය තම පංෙච්න්ද්‍රය පිනවන්නේ මහා මුහුදෙන් ලබාගන්නා ආහාරයෙන්. ඒ අයගේ ජීවිතය මහ මුහුදයි. මේ සෑම සතකුම මහ මුහුද තුළ සැප සොයනවා. මහ මුහුද මගේය කියලා දකිනවා. මහ මුහුද මගේ ආත්මය හැටියට දකිනවා.

ඉහත සටහන් කරපු ආකාරයෙන් ධීවර කර්මාන්තය නිසා අධ්‍යාපනික, ගවේෂණාත්මක සහ ජීවත්වීම උදෙසා මුහුද උපාදනය කරගත් මනුෂ්‍යන් වගේම තිරිසන් සතුනුත් ගණනින් මහා විශාල සංඛ්‍යාවක්‌. මෙන්න මේ මුහුද උපාදානය කරගත්, මුහුද මගේ කරගත්, මුහුද තුළ සැප සොයන ඉහත සත්වයන් කවදා හරි දවසක මැරෙන මොහොතේ, තමා ජීවත් වන කාලයේදී තන්හාවෙන් බැඳී සිටි මහා සාගරය කෙරෙහි කැමැත්තක්‌, උපාදානයක්‌, ඡන්දරාගයක්‌, මතුවුණා නම් ඔහු අසුර ලෝකයේ ඉපදීමට ඇති ඉඩ ඉතාමත් වැඩියි. මේ වගේ සාගරය උපාදානය කර ජීවත්වෙලා අසුර ලෝකයට බැසගත්තට පස්‌සේ එම අසුරයන්ට පුළුවන් මහා සාගරය මගේ කරගෙන ජීවත්වෙන්න. සාගරය කළඹන්න, පිහිනන්න, කිමිදෙන්න. ඒ ඔහු අපේක්‍ෂා කළ කැමැත්ත අල්ලාගැනීම නිසා ඒ අසුරයන් අසුර ජීවිතය දුකක්‌ කොට දකින්නේ නැහැ. මොකද එයා පෙර මනුෂ්‍ය ජීවිතයේදීත් මුහුද, ජලය, එහි ලවන ස්‌වභාවය, හිරු රශ්මිය, මුහුදු සුළඟ, බියකරු බව දුකක්‌ හැටියට දැක්‌කේ නැහැ. උතුම් මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබී තිබෙද්දිත් ඉහත කරුණු සැපක්‌ කර ගත්ත කෙනා අසුර ලෝකය කියන සතර අපායට වැටුණහම එම ස්‌වභාවය දුකක්‌ හැටියට දකියිද? නැහැ. ඔහු ලැබූ මහා සැපක්‌ හැටියටයි එය දකින්නේ.

පුංචි දරුවෙක්‌ තමන්ගේ මුත්‍රා අසූචි සමග සෙල්ලම් කරනවා වගේ, අසුරයොත් මහා සාගරයේ සෑම දුක්‌ඛ දෝමනස්‌සයක්‌ම මහා සැපයක්‌a කොටගෙන ප්‍රීතිවෙනවා. මහා සාගරයේ ආධිපත්‍යය පතුරවනවා. මහා සාගරයේ අයිතිය, ප්‍රදේශ වෙනුවෙන් ගැටෙනවා. සටන්කරනවා. මනුෂ්‍යයෝ මේ මුහුදු ප්‍රදේශය අපේ, වෙන අයට මෙහි මසුන් අල්ලන්න බැහැ. මේ වෙරළ අපේ හෝටලයේ. වෙන අයට මෙහි එන්න බැහැ වැනි අසුර සංඥාවල බැසගෙන සිටින නිසා අසුර ලෝකයේදී ඒ දේවල් වඩා පුළුල්ව සිද්ධවෙනවා.

ඔබ හිතන්න කිමිදුම්කරුවකු යම් සේද මහ මුහුද තුළ ක්‍රියා කරන්නේ කියලා. ඔහු දිය මතුපිටත් පිහිනනවා. දිය යටත් කිමිදෙනවා. ගැඹුරු දියෙත් කිමිදෙනවා. මෙන්න මේ කිමිදුම්කරුවා වගේ අසුරයොත් මහසයුරේ කිමිදෙමින් පංචකාමය විඳිනවා. මුහුද වෙනුවෙන් තම වර්ගය සමඟ සටන් වදිනවා. මුහුදේ සැප සොයනවා. එය තමයි අසුර ලෝකයේ ස්‌වභාවය. මාළුවෙක්‌ යම් සේද මුහුද දිය සැපැයි කියමින් එහි වාසය කරන්නේ පිහිනමින්, කිමිදෙමින්, හැඩතල මවමින්, සතුටු වෙමින්.... මාළුවාට එය සැපයක්‌ වුවද එය තිරිසන් ලෝකයයි. තව කුඩා මාළු සිය දහසA ගනනින් ආහාරයට ගනිමින් තව කර්ම රැස්‌කරන එකයි. මාළුවා කරන්නේ අවසානයේදී කාගේ හරි දැලකට අසුවෙලා ජීවිතය පූජාකරනව. අසුරයන් තෘෂ්ණාවෙන් මහ සාගරය අල්ලාගෙන මුහුද බෙදාගැනීමට අයිතිකරගැනීමට වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වඩමින් අවසානයේ විනාශවෙලා තව තව දුකින් දුකට වැටෙනවා.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට මහා සාගරයේ මුහුදු ජලය මත කිමිදෙමින්, සතුටු වන සත්වයන් කිහිපදෙනෙක්‌ දුටුවා. භික්‍ෂුව මේ අය හඳුනාගනු ලැබුවේ අසුරයන් හැටියටයි. හැබැයි මේ අසුරයන් කිහිපදෙනා බොහොම තේජාන්විත, පිරුණු මනුෂ්‍ය ස්‌වභාවයේ ශරීරයක්‌ සහිත බොහොම ශක්‌තිමත් පිරිසක්‌. මේ අය තනිකරම කිරි පැහැයෙන් යුක්‌තයි. මනුෂ්‍ය හිසට වඩා ලොකු හිසක්‌ ඔවුනට තිබුණා. මේ අසුරයන් ඉතා ප්‍රීතියෙන් ජලයේ කිමිදෙමින්, ජලය මතුපිටට එමින් විනෝද වුණා. මේ සියල්ලෙන් පෙනෙන්නේ භික්‍ෂුවට දර්ශනය වූ අසුරයන් කිහිපදෙනා අසුර නායකයන් බවයි. මොකද ඒ අය අසුර ලෝකයේ ජීවත්වුණත් දුක්‌ විඳින බවක්‌ පෙනුණේ නැහැ. ඒ අයගේ සියුම් කයේ පිරුණු ස්‌වභාවයේ විරුපී බවක්‌ පෙනුනේ නැහැ.

සමහර විට මේ දෙය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ඒත් නිවැරැදිවම කියන්න නම් දන්නේ නහැ.

ඔය මුහුදට ආසා කරන කෝටිපති ව්‍යාපාරිකයන්, සංචාරකයන් ඉන්නවා. මේ අය ගොඩාක්‌ සමාජ සේවය, දාන මාන වැනි ක්‍රියාවල යෙදෙනවා. මේවා තුළින් ඔවුන් තුළ කුසල් වැඩෙනවා. නමුත් මේ කෝටිපතියන් මැරෙන මොහොතේ ඔවුන් තුළ ඇතිවන්නේ ඉහත සමාජ සේවා, අනුනට කළ උපකාර පිළිබඳ මතකය නොවෙයි. සාගරය කෙරෙහි උපාදානයක්‌. zඅනේ මට නැවත මුහුදු සැප අහිමිවේයZ කියා බියක්‌. ඒ සැපය කෙරෙහි ආශාවක්‌.

අනෙක මේ සමහරක්‌ කෝටිපතියන්, සංචාරකයන් මිත්‍යාදෘෂ්ටිකයන් වීම නිසා, පිං පව් පිළිබඳ විශ්වාසයක්‌ නොමැති නිසා දානයේ ආනිශංස පරලොවදී ලැබෙතැයි විශ්වායක්‌ නොමැති නිසා ඒ අයට මේවා මතක්‌ වෙන්නේ නැහැ. මතකයට එන්නේ තමන් කරපු, තමන් කැමති වූ දෙය පිළිබඳ අල්ලාගැනීමක්‌. මේ හේතුව නිසා මේ අය මරණින් මතු තමන් කැමති වූ මහ මුහුදේම අසුරයෙක්‌ ලෙස උපත ලබන්න බොහෝ ඉඩක්‌ තිබෙනවා. මෙන්න මේ අය අසුර ලෝකයට ලෝකයේදී භික්‍ෂුවට දර්ශනය වූ පරිදි තේජාන්විත පෞරුෂත්වයෙන් යුත් අසුර නායකයන්, ප්‍රාදේශීය නායකයන් වශයෙන් උපත ලබනත් ඉඩ තිබෙනවා.

ඔබ මෙහෙම සිතන්න, එක ධීවර මුදලාලි කෙනෙක්‌ ඉන්නවා ඔහු අදහන්නේ ක්‍රිස්‌තියානි ආගම. එහෙම නැතිනම් මුස්‌ලිම් ආගම. ඒ ගැන කිසිම ගැටලුවක්‌ නැහැ. ඒ එම මහත්වරුන්ගේ නිදහසයි. එවැනි ආගම් භක්‌තිකයෙක්‌ට ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌ වෙන්නේ නැහැ කියලා භික්‍ෂුවක්‌ හිතනවා. වැරැදි නම් සමාවෙන්න ඕනේ. නමුත් බුදු දහම පැත්තෙන් ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌. අපි මෙහෙම හිතමු. ඔය ධීවර මුදලාලිට ට්‍රොලර් යාත්‍රා දහයක්‌ තිබෙනවා කියලා. දිනපතා හොඳින් කාලගුණය පවතිනකොට මේ යාත්‍රා දියඹට ගොස්‌ විශාල මාළු අස්‌වැන්නක්‌ ගොඩබිමට ගෙනෙනවා. මේ අස්‌වැන්න තමයි බෞද්ධ ජනතාවත් ආහාරයට ගන්නේ. ස්‌වාමීන්වහන්සේලාට පූජා කළොත් වළඳන්නේ. ඉහත එක යාත්‍රාවකින් මාළු දහස්‌ ගණන් මරලා ගොඩට ගෙනෙන්නේ. එතකොට දිනකට යාත්‍රා දහයකින් මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දමනවාද? එතකොට මේ මුදලාලිලා ජීවිත කාලය තුළ මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දැමීමට හවුල් වෙනවාද? මේ මුදලාලි උදයට මුqහුදුවෙරළට ඇවිත් සතුටුවෙන්නේ මාළු අස්‌වැන්න දැකලා. බලලා. අස්‌වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න මුදලාලිගේ, සේවකයන්ගේ, සතුට සිනහව බලාපොරොත්තු වැඩිවෙනවා. සමහරදාට මැරුණු මාළුන්ගේ කුස තුළ ලෝකයට බිහි නොවූ නමුත් ජීවී පැටවුනුන් කෝටි ගණනක්‌ ඉන්න පුළුවන්. මෙම මාළු පැටවුත් මැරෙනවා. මෙවැනි පිරිස්‌ ජීවිත කාලයක්‌ පුරාවට රැස්‌කරගන්නා අකුසල් ප්‍රමාණය ඉලක්‌කම් වලින් ප්‍රකාශ කරන්න බැහැ. මෙවැනි අකුසල් නිසාත් බොහෝම දුර්වල, විරූපී අසුරයන් වශයෙන් වගේම මුහුදු පතුළේ ගල් ප්‍රේතයන් වශයෙන්ද ඉපැදීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩිය. මුහුදු පතුළේ සිටින මේ ගල් ප්‍රේතයන් ගලක්‌, කොරල් පරයක්‌, මුහුදු ශාකයක්‌ වශයෙනුයි සිටිනුයේ. මේ ප්‍රේතයන් පහළ වෙන්නේ ගල තුළයි, කොරල් පරය තුළයි. විශාල මුහුදු ශාක නිධි තුළයි. මේවා තමන්ගේ නිවාස කරගෙන, භවන කරගෙන මේ අය ජීවත්වෙනවා. තමා තන්හාවෙන් අල්ලාගත් මුහුද මුරකරන්නේ, බලාගන්නේ zමගේZ සංඥාවෙන් අයිතියේ තබාගෙන සිටින්නේ මේ නිවස තුළ සිටයි. මේ ගල් ප්‍රේතයන් දිනකට දෙතුන්වරක්‌ හිස ගලෙන් මතුකොට මුහුදේ වටපිටාව හොඳින්, තෘෂ්ණාවෙන් නිරීක්‍ෂණය කරනවා. කවුරු හරි ඇවිත්ද, වෙනත් කෙනෙක්‌ අයිති කරගෙනද කියලා. මුහුද පතුලේ ඇති ධන නිධාන, ගිළුන නැව්, මත්ස්‍ය සම්පත බලලා නැවත එයා ගල්වෙනවා. මිනිස්‌සු මේ ධන නිධාන ගන්න එහෙම නැතිනම්, නිරීක්‍ෂණය කරන්න මුහුදු පතුළට ගියොත්, ඔන්න මේ අය පීඩා කරනවා. බය කරනවා. මේවාට තමයි මිනිස්‌සු හොල්මන් කියන්නේ. මේ හේතූන් නිසා වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව තව තව වැඩි වෙනවා. මේ සත්වයන් තවත් දුකෙන් දුකටම යනවා. අසුර ලෝකයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් නිරයට වැටී කල්ප ගණන් දුක්‌ විඳිනවා.

දැන් ඔබ සිතන්න, ඔබත් මහා සාගරය ජීවිකාව උදෙසා, විනෝදය උදෙසා, අල්ලාගත් තෘෂ්ණාවෙන් උපාදානය කරගත් අයෙක්‌ නම් මහා සාගරයේ ප්‍රාණඝාත අස්‌වැන්න ගොඩබිමට ගෙනෙන අයෙක්‌ නම්, සතර අපායට අයත්වන අසුර ලෝකයේ ස්‌වභාවයත්, අසුර ලෝකයේ ප්‍රතිසන්ධියකට අවශ්‍ය කරන හේතූන් ගැනත් අවධානය යොමු කරන්න. අසුර ලෝකයේ ප්‍රතිසන්ධියක්‌ ලැබුවොත් ඔබට කල්ප ගණනාවකින් ගොඩ ඒමට නොහැකි බව දකින්න. ලවන රසයට ඇති අනවශ්‍ය ආසාවන්ගෙන් මිදෙන්න. බියකරු මහ මුහුදට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. එසේ නොවුණහොත් ඔබම, ඔබ කැමති වූ පරිදිම කල්ප ගණනක්‌ ලුණු රසයත්, ලවන ජලයත්, පිලී ගඳත්, ගැඹුරු නොගැඹුරු සයුරත්, එහි ඇති ධන නිධානත් ඔබේ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබට අයිති නැති, ඔබගේ වසඟයේ පවත්වාගැනීමට නොහැකි දෙයක්‌ ඔබට දුක පිණිසම හේතුවන දෙයක්‌ අවිද්‍යාව නිසා ඔබේ කරගෙන, සැපයක්‌ කරගෙන දුක්‌ විඳින්න ඔබට සිදුවේවි. මහා සාගරයට කැමති වන හැම මොහොතකම ඔබ අසුර ලෝකයට යැමට මඟ එළිපෙහෙළි කරගන්නවා වීම නොවැලැක්‌විය හැකි කරුණකි. මහා සාගරයට ඇති කැමැත්තෙන්, තෘෂ්ණාවෙන් මිදී අසුර ලෝකයට යන මාර්ගය ඔබ වසා දමන්න. ලැබූ මනුශ්‍ය ජීවිතය සතර අපායෙන් මුදාගෙන ඔබත් ලොව්තුරු සුවය අත්විඳින්න.

මහා සාගරයේ ඇති බියකරු බව බියකරු බවක්‌ම ලෙසින් දකින්න. මහා සාගරයේ ඇති පාළුව, සෙවණක්‌ නොමැති හිරු රශ්මිය, ලවන ස්‌වභාවය, පිළිකුලක්‌ සේම දකින්න. ඒවා ඔබේ කරනොගන්න. මහා සාගරය සත්වයාට අකුසලයේ අස්‌වැන්න පමණක්‌ම උරුමකොට දෙන ඒ අකුසල් හේතුවෙන් අසුර ලෝකයේ දුකම උරුම කරදෙන zමාර සාගරයක්‌Z බවට දකින්න ඔබ දක්‍ෂවෙන්න. මහා සාගරයට ඇති කැමැත්තෙන් මිදී අසුර ලෝකයෙන් මිදෙන්න.

Sunday, October 16, 2011

"Rahatunge Maga" - The way of Arhath 21

බ්‍රොයිලර් ජීවිතය II
සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි!


බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද, සෙසු තිරිසන් සතුන්ට මෙන් ඇවිදීමේ නිදහසක්‌ නැතිව, කුඩා පෙට්‌ටියක, කුඩා කූඩුවක ජීවිතය ගෙවනවා මැරම් කන තුරුම....

මෙන්න මේ දෙවැනි ස්‌වභාවය ගැන ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. බෞද්ධ ජනතාව සත්ව ඝාතනය කරනවා හුඟාක්‌ අඩුයි. නමුත් මෙහි දෙවැනිව සඳහන් කළ අනුන්ගේ නිදහස සීමාකිරීමේ අකුසලය නම් බෞද්ධ ජනතාව අතින් බොහෝවිට සිද්ධ වෙනවා. බොහොම ධනවත්, ගොඩක්‌ පින්දහම් කරන අයගෙනුත්, සාමාන්‍ය අයගෙනුත් ව්‍යාපාර, වැවිලි, කර්මාන්තශාලා හිමියන් අතිනුත් මේ අකුසලය සිදුවීමට හුඟාක්‌ ඉඩකඩ තිබෙනවා. එච්චර අවශ්‍ය නැහැ, තම ගෙදර සේවය කරන මෙහෙකාර දරුවා නිසා ඔබට මේ අකුසලය සිදුවෙන්න පුළුවන්. නිදහස සීමා කිරීම, වැටුප් අඩුවෙන් දීම, සීමාවකින් තොරව වැඩ ගැනීම මොනම ආකාරයට හෝ සූරාකෑම බොහොම භයානක දෙයක්‌. ලෝකය දියුණුවෙන තරමටම මෙම අකුසලය දෝරේගලා යමින් මිනිසා අතින් සිදුවෙනවා. මේ අකුසලය නිසා එහි විපාකයක්‌ හැටියට සත්වයාගේ නිදහස සීමා වෙනවා. කූඩු ජීවිතයකට සත්වයා යොමුවෙනවා. ගමේ, නගරයේ අඩියෙන් අඩිය ගෙවල් තැනීම නිසා මිනිසාගේ නිදහස සීමාවෙලා. එදා මනුෂ්‍යයාට තිබුණ ඇවිදීමේ, සෙල්ලම් කිරීමේ නිදහස අද ගෙදරදොරේ නැහැ. පෙට්‌ටියේ කුකුළා වගේ අපිත් කොටුවෙලා, කූඩුවෙලා. ලොකු ගෙදරක්‌ හදාගන්නවා. ලොකු තාප්පයක්‌, ලොකු ගේට්‌ටුවක්‌ දමාගන්නවා. ගේ ඇතුළේ මැද මිදුලක්‌ හදා ගන්නවා. ඕක තමයි වර්තමානයේ මිදුල, එළිමහන. අපේ මියගිය ආච්චිලා, සීයලා, ඔය වර්තමානයේ නිවසේ මැද මිදුල දැක්‌කොත් සිනාසේවි. මොකද ඒ සා විශාල ගෙමිදුල් ඒ කාලවල ගෙදරකට තිබුණා. වර්තමාන ලෝකය සකස්‌වෙන්නෙ සත්වයාගේ කර්ම විපාක ගෙවීමට සුදුසු ස්‌වභාවයෙන්මයි.

වර්තමානයේ බොහොම ගරු ගාම්භීර, නම්බුකාර නිවාස සංකල්පය තමයි තට්‌ටු විසිපහේ තිහේ තට්‌ටු නිවාස ක්‍රමය. මේ දැවැන්ත නිවාස සංකීර්ණ අහස උසට විරාජමානව වැජඹෙන්නේ හරිම සාඩම්භරයෙන්. එහෙත් අප මේ දකින්නේ අවිදාවේ බියකරු සතුරාවමයි. මේ සතුරා අහස උසට නැගී සිට ලෝකයාට කියන්නේ, 'ඔබත් මෙතැනට, මේ උසට එන්න' කියා. ඔබත් ඔබේ තනි තට්‌ටුව තට්‌ටු දෙකට උස්‌කරගන්න කියලා. අවිද්‍යාවේ ගඩොලින්, ඔබේ ලෝකය විශාල කරගන්න, උස්‌කරගන්න කියා. අවිද්‍යාවේ මාරයා ඔබට දෙන පණිවුඩයට ලෝකයාගේ ප්‍රතිචාරය පැහැදිලියි. දැන් හැමෝගේම ආශාව, තරගය කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිකර ඒවා මගේ කරගැනීමයි.

මේ අතිදැවැන්ත නිවාස සංකීර්ණවල ජීවත්වන පිංවත් මහත්වරු අධිසුඛෝපභෝගී ජීවිත ගතකරන, බොහොම ධනවත් අයයි. පෙර සංසාරයේ කරපු මහා කුසල් විපාකයක්‌ නිසාමයි මෙවැනි විශාල නිවාස වල සුඛෝපභෝගී ජීවිත ලැබෙන්නේ. ඒ ගැන තර්කයක්‌ නැහැ. නමුත් මේ කුසල් විපාකය යටින් සියුම් අකුසල් විපාකයක්‌ ක්‍රියාත්මක වෙනවා. අර පෙට්‌ටිය තුළ වැඩෙන බ්‍රොයිලර් කුකුළාටත් ඇති තරම් කෑම, ජලය, බෙහෙත් ලැබෙනවා. නමුත් ඒ සතාගේ නිදහස සිමාවෙලා. දැන් ඔබ දෙස ඔබ අවංකව බලන්න. ඔබට තේරෙන්නේ නැතිද ඔබ මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළත් ඔබේ නිදහස සීමාවෙලා කියලා. ඔබේ ආච්චිලා, සීයලා ගතකළ නිදහස්‌ ලෝකයට අනුව ඔබේ ජීවිත සිමාවෙලා නේද තිබෙන්නේ? නිදහස්‌ ලෝකය හමුවේ ඔබ පෙට්‌ටියක්‌ තුළ ජීවත්වන සතෙක්‌ වගේ නේද?

ඔබ උඩුමහල් තලයේ සිට ජනේලය හැර පරිසරය දෙස බලනකොට මට පෙනෙන්නේ කුකුළා පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හිස එළියට දමා ලෝකය දෙස බලනවා වගෙයි. ඔබට නිදහස්‌ ලෝකය ස්‌පර්ශ කරන්න නම්, නිදහසේ හුස්‌ම ගන්න නම් ඔබ සතිඅන්තයේ නුවරඑළියට, ගමකට, අඩුම වශයෙන් විවේකීව ක්‍රීඩාංගණයකටවත් යා යුතුයි. නැවතත් කියමි, ඔබතුමන්ලා සැබෑම සසර පින්කළ පිරිසක්‌මය. ඒ පින නිසාමය ඔබට සශ්‍රීක භාවය. එහෙත් පෙර ආත්මවල ඔබ, තමන් යටතේ සිටි සේවකයන්ගේ නිදහස සීමාකර තබා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට යැම නිසා මෙම අකුසලය ඔබ සිදුකොට ඇත. එමනිසා මේ ජීවිතයේදී ඔබ යටතේ, ඔබගෙන් යෑපෙන පිරිස්‌ වලට සාධාරණව සලකන්න. ඔබ හම්බකරන මිල මුදල් වලින් නොමසුරුව දාන, මාන, පිංකම් කරනවා වගේම නොපෙනෙන පැත්ත ගැනත් අවධානය ඇතිකරගන්න. එසේ නොවුණහොත් ඔබ කරනා පිංකම් නිසා මතු සසර කෝටිගණන් වටිනා නිවාස භාග්‍යය ලැබුණද, එය අර රාක්‌ක පෙට්‌ටියේ බ්‍රොයිලර් කුකුළාගේ ජීවිතය වගේ සීමාවෙලානම් එය අවාසනාවකි.

මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි. ලෝකය කවදත් ගියේ මුළාව දෙසටය. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරැදි කළ නොහැක. නිවැරැදිකිරීමට ස්‌ථිරවූ , නිත්‍යවූ දෙයක්‌ ලෝකය තුළ නොමැත, ස්‌ථිර නොවන දෙයක්‌ යමෙක්‌ කෙසේ වෙනස්‌ කරන්නද, එය ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙමින් පවතී. ඝනභාවයත්, දියර ස්‌වභාවයත්, උණුසුම් ස්‌වභාවයත්, වායු ස්‌වභාවයත් පදමට මුසුව හතරෙන් එකකට සිඳුවා නිර්මාණය වූ ලෝකයක්‌, රූපයක්‌ ලෝකය ලෙස අල්වාදීම අවිද්‍යාවේ ස්‌වභාවයයි.

මිනිසා මේ හති දමාගෙන, බුල්ඩෝසර් දමාගෙන චිකන් ගුන්යා, සත්ව කුර රෝගය යෑයි කියමින් සතුන් ලක්‍ෂ ගණනින් මරා දමන්නේද මස්‌, බිත්තර, කිරි, චොකලට්‌, විනාශ කරන්නේද රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වීම මිනිසාට වෙනස්‌කළ නොහැකි නිසාය. එය ස්‌වභාවයෙන් පීඩා විඳිය යුතුය. ඔය සතුන් ලක්‍ෂ ගණනින් විනාශකරන මිනිසුන් අතින් සිදුවන අකුසල කර්මයන් ඊළඟ ජීවිතයේදී ගෙවීමට පරිසර ලෝකය තුළ නිර්මාණය විය යුතුය. මරණ බියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මියයන සතුන්ද, එම අකුසල් නිසා නැවත කර්ම ගෙවීමට අවශ්‍ය ලෙස ලෝකය නිර්මාණය විය යුතුය. නිර්මාපකයා අවිද්‍යාවයි. අවිද්‍යාව ඌරාගේ මස්‌ ඌරාගේ පිටේ තබා කපනවා සේය. හේතුඵල ධර්මයන්ට අනුව මැරෙන්නටද, මරන්නටද ඔහුගේ කර්ම විපාකයන් විඳීමට අවශ්‍ය මාරාන්තික රෝග, මාරාන්තික යුද්ධ නිර්මාණය කරයි. මේ මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග නිර්මාණය කරන්නේද අවිද්‍යාසහගත සිත විසින්මය. මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග යනු අහම්බයන් නොවේ. දේව කෝපයන් නොවේ. හේතුඵල ධර්මයන්ය. මේවා ලෝකය අවිද්‍යාවෙන් දියුණුවන්න දියුණුවන්න, සත්වයා රැස්‌කරන්නාවූ අකුසල් විපාකදීමට සකස්‌වන්නා වූ ලෝකධර්මතාවයන්ය. එහිදී යුද්ධයක්‌ යනු, මාරාන්තික රෝග යනු අතීතයේ ඔබ කළ කර්මවිපාකයන්ගේ කැඩපතක්‌මය. ඔබ ඒ කැඩපත දෙස අවිද්‍යාවෙන් තොරව බැලුවොත් ඔබ දකින්නේ පෙර ආත්මභවවල ඔබ කළ අකුසල්වල ස්‌වභාවයන්ය. දැන් ඔබට වැටහෙනවාද ලෝකය මේ වන විට ගමන් කරන්නේ මොන දිශාවටද කියලා. ඔබ විසින් ඇතිකළ හේතූන්ට විපාකයන් සකස්‌වීමට සුදුසු ස්‌වභාවය දෙසට, පරිසරයක්‌ දෙසට.

සෑම සත්වයෙක්‌ තුළින්ම රැස්‌වෙන්නේ තනණහාධික චිත්ත පරම්පරාවක්‌ නම් තරගකාරීත්වය, අයිතිකරගැනීම නමැති අවිද්‍යාවේ ශබ්දකෝෂය නම් එබද මේ නොදැනුවත්වම ඇදී යන්නේ බ්‍රොයිලර් කුකුළකුගේ තත්ත්වයට පත්කරන දිශාවටමය. ඒ තරමටම මිනිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට වේගයෙන් ලක්‌වෙනවාය, ගොදුරුවෙනවාය. තාප්ප, ගේට්‌ටු දැමූ කූඩුවලට කොටුවෙනවාය. රෝග බිය, මරණ බිය, ජල බිය, යුද බිය වැඩිවෙනවාය. උපතත් මරණයත් අතර කාලපරතරය කෙටිවෙනවාය. නැවත ඉපදීම, මරණය වේගවත් වනවාය. මේ වේගය කියන්නේ දුකයි. හේතුව ඔබ අවිද්‍යාවෙන් තෙත්කළ සිත ඔබව අකුසලයේ යෙදවීමයි. ඵලය ඉපැදීම, මරණය වේගවත්වී දුක පසුපස තරගකාරීව හඹායැඹයි. මේ ස්‌වභාවය ඔබම නිර්මාණය කරගත් දෙයක්‌.

මේ ස්‌වභාවයන් ගැන හිතලා ඔබ බිය ඇතිකරගන්න. ඇයි මෙහෙම වෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ තිබෙන්නේ විඳවන්නටද, අවබෝධ කරන්නටද?

මේ බුද්ධෝපත්ති කාලයක, ඔබ මේ උතුම් මනුෂ්‍යත්වයක්‌ ලැබ උපත ලැබුවේ නැවත සතර අපායේ වැටෙන්නද? ඔබේ අම්මට, තාත්තාට, ඔබේ බිරිඳට, දරුවාට ඔබව බේරන්න බැහැ මේ මහා දුකෙන්.

ඒ නිසා ඔබ දක්‍ෂවෙන්න. සියල්ලම, සියල්ලන්වම පෝෂණය කරන ගමන් ඔබ කරන ව්‍යාපාරය, විවාහ ජීවිතය, දෙමාපියන් පෝෂණය කරන ගමන් එම බැඳීම්වලට බාධාවක්‌ නොවන ලෙස මේ දුකෙන් ගැලවෙන්න. ඔබ පැවිදිවෙන්නම අවශ්‍ය නැහැ. ඔබ කය මහණ නොකරාට කමක්‌ නැහැ. සිත මහණ කරගන්න. පැවිදි කරගන්න. එසේ නොවුණහොත් ඔබත්, ඔබගේ යෑයි අල්ලාගත් සියල්ලෝමත් සතර අපායට, දුකට වැටේවී. බ්‍රොයිලර් කෙනෙක්‌ වේවි. මහා ගමනක්‌, මහා දුකක්‌, මහා විනාශයක්‌ වළක්‌වාගැනීමට ඔබ කළ යුත්තේ විසිරුණු, සලිත වුණු ඔබ සිතේ ස්‌වභාවය බොහෝම නිවිසැනසිල්ලේ අවබෝධකරගැනීමයි. කලබලවෙන්න, ඉක්‌මන්වෙන්න, යමක්‌ අල්ලාගන්න උත්සාහගන්න එපා. අල්ලාගත් දේවල් අනිත්‍ය දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිඳ සමඟ නිදන සයනයේ සිටියදීත් ජීවිතය විඳින්න. එහෙත් ඒ විඳීම අනිත්‍යබව දකින්න. නැවත නැවතත්, නැවත නැවතත්, නැවත නැවතත් එකම දේ සිදුවෙන්නේ ඊයේ දවසේ සිදුවූදෙය අනිත්‍ය නිසා බවද දකින්න. මෙම සටහන තැබුවේ පැවිදි උතුමන් සඳහා නොව ගිහි පිංවතුන් සඳහාය. ඒ නිසා ඔබ ගිහි ජීවිතයේ බැඳීම් සමඟ ජීවත්වෙමින්, දුවා දරුවන්, ව්‍යාපාර, රැකී රක්‍ෂා නඩත්තු කරමින් නිරතුරුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ශීලය ආරක්‍ෂා කිරීමත්, ඒ කියන්නේ තමා අතින් නොදැනුවත්ව හෝ සිල්පදයක්‌ කැඩුණහොත් ඒ වහාම එම වැරැද්ද නිවැරදි කරගැනීම. ඒ ආකාරයෙන් අවංකව ශීලයක්‌ ආරක්‍ෂා කිරීමත්, ඔබ ඇසුරුකරන, ඔබට අයිති සෑම දෙයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, මගේ ආච්චි, සීයා, අම්මා, තාත්තා රැස්‌කරපු, හම්බකරපු හැම දෙයක්‌ම තියලයි මැරුණේ. කිසිවක්‌ අරගෙන ගියේ නැහැ. ඒ වගේම් මේ කිසිවක්‌ මට අයිති නැහැ. මම මේ සියල්ල දාලමයි මියයන්නේ. මේ වගේ ජීවිතයේ අනිත්‍යය දකින්න. අතීතයේ මියගිය ඔබේ පරම්පරාවේ වැඩිහිටියන් සමඟ ඔබේ ජීවිතය සංසන්දනය කරන්න. මෙම සටහනේ තිබෙන බ්‍රොයිලර් කුකුළා, ඌරා, එළුවා, හරකා ගැන නිතර මෙනෙහි කරන්න. ඔබ එවැනි සතෙක්‌ වුවොත් ඔබ විඳින දුක මෙනෙහි කරන්න. අතීත සංසාරයේ ඔබ එවැනි සතුන්වී හිස්‌ ගැසුම්කෑ ස්‌වභාවය, වේදනාව, මරණබිය මනසින් දකින්න. මේ විදිහට මාස 3 ක්‌ ඔබ ඔබේ සිත පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය සංකීර්ණබවෙන් මිදේවි. ඔබට දැනේවි ජීවිතයේ අවබෝධ කරගැනීම පිණිස ගොඩක්‌ දේවල් නොමැතිබව. ජීවිතය මහා ගොඩක්‌ ලෙස දැනුණද ඔබට අවබෝධ කරගැනීමට ඇත්තේ එකක්‌ පමණක්‌ බව ඔබට දැනේවි. සිත වේවා, කය වේවා ඒ අනිත්‍යය පමණක්‌මයි. මේ අවබොධය, ලෝකයේ අවබෝධය ලැබීමට ඇති දුෂ්කරම ස්‌වභාවය වුවද, ඔබ තුළ හේතු සහිතව ලෝකය දුකය යන දැක්‌ම ඇතිකරගතහොත්, ඔබට මේ දුක අවබෝධ කරගැනීම දුෂ්කර කාර්යයක්‌ නොවනු ඇත. ඔබත් මේ මනුෂ්‍ය ජීවිතයේදී ඔය ආකාරයෙන් ගිහි ජීවිත ගතකරමින්, කම් සැප අත්විඳිමින්, සතර අපායෙන් මිදී නැවත බ්‍රොයිලර් කුකුළෙක්‌, මසට මරණ සතෙක්‌ වීමේ වේදනාත්මක අනතුරෙන් ගැලවෙන්න. සතර අපායෙන් මිදෙන්න.

ඉහත සටහන භික්‍ෂුව හේතුඵල අනුව දකිමින් සටහන් කළා පමණි. එබැවින් වඩාත් වටින්නේ දොස්‌ පරොස්‌ සෙවීම නොව, එවැනි ස්‌වභාවයක්‌ ලෝකයේ තිබේය යන්න හඳුනාගනිමින් අවබෝධය ලැබීමය. මන්ද මෙහි සඳහන් පෙට්‌ටියේ ජීවත්වන, බ්‍රොයිලර් සතෙක්‌ අතිවිඳින නිදහසේ ස්‌වභාවයත්, වර්තමාන සුඛෝපභෝගී නිවාස සංකල්පයන් නිසා මිනිසා අත්විඳින නිදහසේ ස්‌වභාවයත් එකට සංසන්දනය කිරීම කෙනකුට ප්‍රශ්නයක්‌ වීමට පුළුවන. ඔබ කෙලෙස්‌වලින් ගොරෝසු වූ සිතකින් නොව, නිකෙලෙස්‌, කෙලෙස්‌ වලින් තුනීවූ සිතකින්, සියුම්ව මේ කරුණ දකින්න උත්සාහ ගන්න. පෙර මහා කුසල් සිදුකරගත්තත්, තමන් තුළින් සිදුවූ සියුම් අකුසල් විපාකයක්‌මයි මෙයට හේතුව විය යුතුව තිබෙන්නේ.

සමහර පිංවත් පිරිස ලක්‍ෂ ගණන් වියදම් කරමින්, මහා දාන පිංකම්, ශීල පිංකම් කරනවා. නමුත් ඒ අය තම සේවකයන්ට, අඩුවැටුප්, නිදහස සීමාකිරීම් කරනවා. මේ හේතුවෙන් ඒ අය පිංකම් කිරීමේ ආනිසංශය නිසා සශ්‍රීක ජීවිතත්, අනුන්ගේ නිදහස සීමාකිරීම් පාපයට තමාටද මතු සසර, සීමාවන් තුළට කොටුවූ ජීවිත ගෙවන්න සිදුවීම මෙහි කර්ම විපාකයක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව මෙහි කරන සටහන සියයට සියයක්‌ නිවැරැදි නොවන්නට පුළුවන්. එහෙත් ඔබ එය සියයට සියයක්‌ම වැරැදි යෑයි වටහාගතහොත් එය ඔබේ අවාසනාවක්‌ වනු ඇත.

හැකිතරම් දානමාන පිංකම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්‌වාමියකු ලෙස ඔබ නිරතුරුවම අවංක වෙන්න. ඔබ ලබන සතුටින් යම් ප්‍රමාණයක්‌ හෝ ඔබේ සේවකයාද ලබනවා දකින ඔබ අවංකව කැමැති වෙන්න. ඔබේ දක්‍ෂභාවයෙන් ඔබගේ සේවකයාවද ඔබ යහපතේ යොදවන්න. වෛරය, ක්‍රෝධය, සූරාකෑම වැනි ස්‌වභාවයන්ගෙන් තුනීවූ සිත කුසල් වැඩීමට සශ්‍රීක පොළොවක්‌ බව නිතරම සිතන්න. වැඩෙන කුසල් නිරතුරුවම නිවීම උදෙසා උත්තම පාරමීධර්මයක්‌ වේවායි දකිමින් නිවීමේ මඟම ශක්‌තිමත් කිරීමට උත්සහවත් වෙන්න. ව්‍යාපාරික ඔබේ ශබ්දකෝෂයේ ලාභය යන වචනය වෙනුවට බෙදාදීම, නිවීම යන වචන ඔබ භාවිතයට ගන්න. එය ඔබ සංසාරයක්‌ පුරාවට නොලැබූ වර්තමාන ජීවිතයේ ලැබූ ලොකුම ලාභය වනු ඇත. එම ලාභය ඔබට නැවත ජාති, ජරා, මරණ, ව්‍යාධිවලින් ඔබට කළ අලාභය අවසන් කරනු ඇත.

"Rahatunge Maga" - The way of Arhath 20

'අතහැරිම' 3 කොටස - බ්‍රොයිලර් ජීවිතය

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්‌ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්‌වභාවය තීරණය වෙයි. දේශපාලනඥයකු මනින මිනුම්දණ්‌ඩ ඔහු ලබාගන්නා මනාප ජන්ද සංඛ්‍යාවයි. වෛද්‍යවරයා මනින මිනුම් දණ්‌ඩ ඔහු වෙත ගලාඑන රෝගීන් සංඛ්‍යාවයි. පාතාල නායකයා මනින මිනුම් දණ්‌ඩ ඔහු සතු පිරිවර, ආයුධ ප්‍රමාණය සහ ඔහු කරන විනාශයේ ප්‍රමාණයයි. බුද්ධිමතා මනින මිනුම් දණ්‌ඩ ඔහු ලබාගත් උපාධි සහතික ප්‍රමාණයයි. තමා කැමැතිදෙය දැඩි තෘෂ්ණාවකින් අල්ලාගෙන අල්ලාගත් ක්‍ෂේත්‍රය තුළ ශක්‌තිමත්භාවයෙන් සියල්ල උපාදානය කරගන්නා පුද්ගලයා යනු දියුණු පුද්ගලයාය. මේ දියුණුව කියන තැනට පැමිණීමට තමයි හැමෝගේම උත්සාහය. වැඩි වැඩියෙන් අයිති කරගන්න. වැඩි වැඩියෙන් අයිති කරගැනීමට යන ගමනේදී හැමෝටම එකම ස්‌ථානයකට එන්න බැහැ. පුද්ගල ශක්‌තිමත්භාවය මත, පෙර සංසාරික කුසල් අකුසල් මත අයිති කරගැනීමේ විවිධත්වයන් පවතිනවා. සමාජය තුළ තිබෙන තරගකාරීත්වය වශයෙන් අප දකින්නේ තමා අයිතිකරගත් දෙය තව වැඩි කරගැනීමට දරන ප්‍රයත්නයයි. අයිති නොකරගත් දෙය අයිති කරගැනීමට යැමයි. මේ තරගය සඳහා ඔබ අවතීර්ණ වූ විට ඔබට ගොඩාක්‌ අකුසල් සිද්ධ වෙනවා. සමහරවිට ඔබ කර්මාන්තශාලාවක්‌, ව්‍යාපාරයක්‌, ගොවිපළක්‌ කරන පිංවතෙක්‌ වෙන්න පුළුවන්. ඔබ වැඩි ලාභයක්‌ ලබන්න අවශ්‍ය නම්, තව කෙනෙක්‌ව ඔබ සීමා කරන්න ඕනේ. ඔබ තව කෙනකුගේ දෙයක්‌ ලැබීමක්‌ සීමාකිරීමෙනුයි, කප්පාදු කිරීමෙනුයි ඔබට වැඩි දෙයක්‌ ලබාගත හැක්‌කේ. ඒ තුළිනුයි ඔබට අවිද්‍යාවේ මිනුම් දඬු වලින් දියුණුයි කියන ජය කණුවට එන්න පුළුවන්. භික්‍ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ ඔබේ දියුණුව සඳහා අනික්‌ පුද්ගලයාගේ අයිතිය සීමාකිරීමට යාම තුළ ඔබ අයිතිකරගන්නා අකුසල්වල ප්‍රමාණය ගැන ඔබගේ අවධානය යොමුකිරීමය. එසේ නොමැතිව ඔබට ආර්ථික විද්‍යාව ගැන කියාදීමට නොවේ. භික්‍ෂුව දන්නා එකම ආර්ථික විද්‍යාව අඩුකිරීමය. අඩුකිරීම තුළින් නැති කිරීමය.

එකතු කිරීම තුළින් රැස්‌කිරීමත්, රැස්‌කිරීම තුළින් විනාශයත් ධර්මයේ අර්ථය නොවේ. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙන අර්ථයක්‌ ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුක? තම වසඟයේ පවත්වාගතහැකි කිසිවක්‌ ලෝකය තුළ නොමැති නිසා.

අවිද්‍යාව විසින් ඔබට පෙන්වන ලෝකයේ දියුණුව යන මිනුම් දඬු අත්කරගැනීම සඳහා ඔබ යන ගමනේදී සේවකයාගේ, පාක්‍ෂිකයාගේ නිදහස, වැටුප, අයිතීන් සීමා කිරීමට යැම නිසා ඔබ නොදැනුවත්වම අයිsති කරගන්නා අකුසල් ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න ප්‍රමාණාත්මකව ඉහළ යයි. ඒවායේ කර්ම විපාකයන් ගෙවීමේ අවසAථාවද එයට සාපේක්‍ෂව ඉහළ යයි. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතකු, පක්‍ෂියකු, මාළුවකු මුළු රැය පුරා සුවසේ නිදාගැනීමක්‌ නැත. ඔබ නිවසේ රාත්‍රියට සුවසේ නිදාගෙන අලුයම අවදි වේ. මෙවැනි නින්දක්‌ ලබාගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නොමැත. එම සතුන් ගසක කොළයක්‌, අත්තක්‌ වැටුණද වෙනත් සතකුගේ ශබ්දයක්‌ ඇසුණද තිගැස්‌සී බියෙන් ඇහැරේ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්‌කේ කර්ම විපාකයක්‌ නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සිSමාකිරීමයි. අනුන්ව බියගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩපවත්වා තැබීමයි. කොටින්ම නිදහස පැහැරගැනීමයි. එහි විපාකයන් ලෙස මිනිස්‌ ජීවිතයෙන් චුතව තිරිසන් ආත්මයේ ඉපිද එම කර්ම විපාකයන් ගෙවයි. ලෝකයේ ජීවත්වන සත්වයා අකුසල් දෙසටමය. තමාට රැස්‌කරගැනීම සඳහා අනුන්ගෙන් උදුරාගැනීමටය. මේ උදුරාගැනීම කරන්නේ බොහෝම නම්බුකාර ක්‍රමයටය. ලාභය, ගුණාත්මකභාවය, අතිකාල, ආයතනයේ දියුණුව වැනි ලස්‌සන වදන්, ලේබල මෙයට අලවා ඇත. සමාජයේ වෙළෙඳපොළේ පැවැත්ම උදෙසා ඉහත දේවල් අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තර්කයක්‌ නොමැත. මේවා නැති කළ නොහැකි ලෝක ස්‌වභාවයන්ය. එහෙත් මෙහි කථාකරන්නේ අවිචාරයෙන් මේවා අයිති කරගැනීම සම්බන්ධවය. මේවා අවිචාරවත්ව අයිති කරගැනීමට යැම නිසා මනුෂ්‍යයා අතින් රැස්‌වන අකුසල් ප්‍රමාණයත්, අකුසල් රැස්‌කිරීම වැඩිවන්න, වැඩිවන්න අකුසල් විපාකදීමේ ස්‌වභාවයද වැඩිවනවා. මේ සත්ව ප්‍රජාවගේ අකුසල් විපාකදීමේ ස්‌වභාවයේ තියුණුබව ඔබට ලෝකය දෙස බලා වටහාගන්න. අතීතයේ කුකුළෙක්‌ අවුරුද්දක්‌ ජීවත්වුණාට පස්‌සේ තමයි එම සතාව මසට මැරුවේ. එයා අවුරුද්දක්‌ ජීවිතය වින්දා. ඊට පස්‌සේ මේ කුකුළාගේ ජීවත්වීමේ අයිතිය ක්‍රමානුකූලව කුකුළාට අහිමිවුණා. මාසෙන් මාසය ජීවත්වීමේ අයිතිය බ්‍රොයිලර් කුකුළාට අයිතිවෙමින් දැන් බ්‍රොයිලර් කුකුළෙක්‌ව මාස දෙකකටත් අඩු කලකින් මසට මරණවා. මාස දෙකකටත් අඩු කාලයයි ජීවත්වීමට අයිතිය ලැබෙන්නේ. ඇයි මේ? සත්වයාගේ කර්මය විපාකදීමේ වේගය එන්න එන්න වැඩිවෙනවා.

අතීතයේ වසරකට එක වතාවක්‌ බෙල්ල කපාගෙන මැරුණු කුකුළෙක්‌ වර්තමානයේ වසරකට හය වතාවක්‌ බෙල්ල කපාගෙන මැරෙනවා. ඒ කියන්නේ කර්ම විපාක විඳිනවා. ලෝකය අවිද්‍යාවෙන් දියුණුවට යනකොට මේ බ්‍රොයිලර් කකුලා සති දෙකකින් මරා මසට ගන්න තාක්‍ෂණයක්‌ ඇතිවේවී. ලෝකය එය තාක්‍ෂණයේ, සත්ව නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ දියුණුවක්‌ ආශ්චර්යයක්‌ ලෙස දකීවී. මෙම තාක්‍ෂණය සොයාගත් විද්‍යාඥයන්ට උපාධි සහතික පිරිනමාවී. හැබැයි ඉතින් කකුළන්ගේ පැත්තෙන් කර්ම විපාක දීමේ වේගයයි පෙනෙන්නේ. කුකුළා වැඩි වාරගණනක්‌ මැරම් කන වාරයක්‌ පාසාම කුකුළාව මැරීමට හවුල්වන මිනිසාද රැස්‌කරන ප්‍රාණඝාත අකුසල් ප්‍රමාණය වේගවත් වෙනවා. ඔන්න දැන් ඔබ බලන්න මෙතන දියුණුභාවයට පත්වුනේ කුමක්‌ද? අවිද්‍යාවයි. සත්වයාගේ දුකයි. කුකුළා මරණ වාර ගණන වැඩි වෙනවා. මිනිසාගේ ප්‍රාණඝාත අකු=සල් ප්‍රමාණයත් වැඩිවෙනවා.

සත්ව ලෝකයේ බ්‍රොයිලර් කුකුලෙක්‌ වෙලා ඉපදෙන්නේත්, මසට හදන සතකු ලෙස ඉපදෙන්නේත් කර්ම විපාකයක්‌ නිසාමයි. අපි මොනතරම් අනුකම්පා කරලා මෛත්‍රිය නිසා කුකුල් මස්‌ නොකෑවත් බ්‍රොයිලර් කකුලාගේ අකුසල් විඳීමේ ස්‌වභාවය නවත්වන්න අපට බැහැ. මස්‌ කඩේ මස්‌ සඳහා කූඩුකරලා තිබෙන බ්‍රොයිලර් කුකුලෙක්‌ 'අනේ මේ සතා මරන්න දෙන්න හොඳ නෑ' කියලා සත්ව කරුණාව ඇතිකරගෙන මුදල් ගෙවා එම සතා ගෙදර ගෙනවිත් හැදුවොත් සතා ටික දවසක්‌ ජීවත්වෙලා මැරිලා යනවා. මැරිලා ගිහින් නැවතත් බිත්තරයක්‌ තුළම උපත ලබාවී, බ්‍රොයිලර් කෙනෙක්‌ වෙලාම. ඔබ ඒ සතාව මරණයෙන් බේරුවා කියලා ඒ සතාගේ කර්ම විපාකයෙන් බේරාගන්න බැහැ. සතර අපායේම ඉපදෙමින්, ජීවත්වීමේ කාලය සීමාකරගනිමින්, මැරුම්කමින් විපාකයන් ගෙවනවා.

ඔබ හිතන්න ඔය කුකුළු ගොවිපළවල, කුකුල්මස්‌ තොගයට මරණ කඩවල, බ්‍රොයිලර් සතුන් මරන මිනිස්‌සු ඉන්නවා. මේ එක මනුස්‌සයෙක්‌ දවසකට සතුන් 500 ක්‌ විතර බෙල්ල කපා මරාදමනවා. මෙහෙම බලනකොට ඒ මනුස්‌සයා ජීවිතකාලය තුළ මොනතරම් නම් සතුන් මරන්න ඇතිද? සමහර අන්‍ය ආගම් වල මිනිසුන් සිටිනවා, ඒ අය දිනපතා ආහාර සඳහා කුකුල්ලු මරණවා. අනුන් මරන මස ඒ අය පාවිච්චිකරන්නේ නැහැ. මේ විදිහට බලනකොට දිනකට බ්‍රොයිලර් 25,000ක්‌ මරණවා කියලා හිතමුකෝ. ඒ හැම සතෙක්‌ම මරන්නෙ මනුෂ්‍යයෙක්‌. එහෙම නම් මේ කර්ම විපාකය නිසා මේ මනුෂ්‍යයෙක්‌ මැරිලා ගිහින් දිව්‍යලෝකේ උපදිනවාද? නැහැ. බිත්තරයක්‌ ඇතුළේමයි උපදින්නේ. ඇයි? කුකුල් සංඥාව කැමති නිසා. කර්මය විපාක දීමට අවශ්‍ය නිසා. ගෙවන්නට තිබෙන අකුසල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, විපාක දීමේ අවස්‌ථාවත් වැඩිකරනවා. මේ විපාක දීමේ වැඩිභාවය තමයි වර්තමානයේ මේ සත්ව ලෝකයේ අඩු ආයුෂින් මස්‌ පිණිස සකස්‌වීමේ තාක්‍ෂණය ඉදිරියට යන්නේ. හැකි තරම් රසායනිකයන්, ආහාර, බෙහෙත් පොවලා ඉක්‌මනට ලොකුකරලා ඉක්‌මනට මරනවා. නැවත උපදින්න. අතීතයේ කරපු මහා අකුසල් කඳු ගෙවීමට අවස්‌ථාව උදාකරගන්න. ඔබ බ්‍රොයිලර් කුකුලෙක්‌ කියන්නේ අතීතයේ කුකුල් මරන්නෙක්‌මයි. ඔය පෘෂ්ඨිමත් එළුවෙක්‌, ඌරෙක්‌ හරක්‌ නාම්බෙක්‌ කියන්නේ පෙර ආත්මභාව වල හරක්‌ මරන්නෙක්‌මයි. ඔවුන් එම මිනිස්‌ ජීවිත වලදීa එළුවන්, ඌරන්, හරකුන් දහස්‌ ගණනින් මැරූ අය. ඔබ මරණයට කැපවූ සතෙක්‌ නිදහස්‌ කළා කියලා එම සතා මරණයෙන් මුදවන්න, එම අකුසල් කන්දෙන් මුදවන්න බෑ. ඔවුන් ඒවා ගෙවිය යුතුමයි. ඔබ කළ යුත්තේ සතුන් මරණයෙන් මුදවාගැනීමට යැම නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ විෂම ලෝක ස්‌වභාවය හඳුනාගෙන නැවත ඔබ කුකුලෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌, හරකෙක්‌ නොවන්නටය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක්‌ බවට පත්වීමට උත්සහකිරීමය.

දිනකට බ්‍රොයිලර් විසිපන්දහස්‌ ගණනින් මරපු මිනිසුන්මයි එය නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ මැරුම්කන්නමයි. නිදහසේ මියයන්න නොවේ. නිදහසේ ගේ මිදුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ, සුළඟේ පහස විඳින්න නොවේ. නිදහසේ තම වර්ගයා සමග සතුටුවෙන්න නොවේ. මේ සත්වයන් කළ කර්මයන් ඔය ගෙවන්නේ. අපේ මෛත්‍රියට කරුණාවට ඒ කර්මයෙන් ඒ අයව මුදවන්න. ආහාර තාක්‍ෂණයේ දියුණුවෙන් නිපදවන සෑම සොසේජස්‌ එකක්‌ පාසාම මීට්‌ බෝල් එකක්‌ පාසාම සකස්‌කළ, සකස්‌ නොකළ මස්‌ කැබැල්ලක්‌ පාසාම එම සතුන් මරාදරමූ මිනිසුන්ට නැවත කල්ප ගණන් තිරිසන් ලෝකයේ ඉපද සොසේජස්‌, මීට්‌බෝල්ස්‌ වෙන්න සිදුවෙනවා.

ඔය මසට ඇතිකරන සතුන් ගැන ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න. ඒ සතුන් මරුම්කන තුරුම සීමිත ඉඩ ප්‍රමාණයකයි ජීවත්වෙන්නේ. ඒ සතුන්ට ඇවිදීමේ ඉඩකට සීමාකරලයි තිබෙන්නේ. ශක්‌තිය කැලරි වැයවන නිසා මස්‌ බර අඩුවේය කියලා. දැන් අලුත්ම බ්‍රොයිලර් කුකුළන් ඇතිකීරීමේ තාක්‍ෂණය තමයි විශාල කූඩුවල රාක්‌ක පෙට්‌ටි තනා, එම කුඩා පෙට්‌ටියේ කුකුලා ඇති කිරීම. කුකුලාගේ ප්‍රමාණයට තැනූ එම පෙට්‌ටියේ එම සතාගේ හිස එළියට දැමීමට ප්‍රමාණවත් කවුළුවක්‌ තිබෙනවා. මසට ගන්නාතුරු ඒ කුකුළා ජීවත්වෙන්නේ එම පෙට්‌ටිය ඇතුළේ. පෙට්‌ටියේ ඇති කුඩා කවුළුව ඉදිරියේ ජලය සහ ආහාර පටියක්‌ තිබෙනවා. පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හොට එළියට දමලා, ජලය සහ ආහාර අරගෙන පෙට්‌ටිය සැපය කරගෙන එයා එහි ජීවත්වෙනවා. මේ ක්‍රමයෙන් මස්‌ බර වැඩිවෙනවලු. මෙම සතා කූඩුවේ සිටියත්, මෙම පෙට්‌ටියේ සිටියත් මාස එකහමාරෙන් මරා මස්‌ කරනවා. එහෙත් මේ ක්‍රමය යටතේ මේ සතාට එම කෙටි කාලය තුළ ඇවිදීමේ නිදහසත් නැතිවෙලයි මැරුම්කන්න වෙන්නේ. ලෝකයා මේවා හඳුන්වන්නේ තාක්‍ෂණයේ නව සොයාගැනීම් දියුණු වශයෙන්. මිනිසාට සත්තු මරන්න කියලා යොමුකරන්නෙත් අවිද්‍යාසහගත සිතමයි. එම අකුසල් නිසා මරණින් මතු තිරිසන් ලෝකයේ ඉපදුනහම එම තිරිසන් සතාව ඉක්‌මනටම ශරීර බර වැඩි කරලා මසට ගන්න ක්‍රමය කියලා දෙන්නෙත් අවිද්‍යා සහගත සිතමයි. ලෝකය දියුණුවෙනකොට සත්වයාගේ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. ආයුෂ අඩු වෙනවා. මියයැමේ වේගය, ඉපදීමේ වේගය වැඩිවෙනවා. තිරිසන් සත්වයකුගේ ඉපදීමේ වාර ගණන වැඩිවෙනවා කියන්නේ එම සතුන් හිස කපාගන්නා වාර ගණන වැඩි වෙනවාය කියන එකයි.

එක්‌තරා ඌරු ගොවිපලක මස්‌ පිණිස විශාල චීන ඌරන් ඇතිකරන්නේ අඩි හතරේ දිග පළල, භාග බිත්ති බැඳපු කුඩා කුටිවලයි. එම සතුන්ගේ ලෝකය තමයි අර කුඩා කුටිය. ඒ සතුන්ට ඇවිදින්න දෙන්නේ නැහැ. මස්‌ බර අඩුවෙනවාය කියලා. ආහාර ජලය ඖෂධ දෙනවා පමණයි. සමහර ඌරන් ශරීර බර වැඩි නිසා පැත්ත වැටිලයි ඉන්නේ. මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න කුකුළෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, හරකෙක්‌ දැක්‌කහම එම සතාගේ අයිතිකරු මොනතරම් සතුටක්‌ ලබනවද. මොකක්‌ද මේ ලබන සතුට, මතු ආත්ම දහස්‌ ගණනක තමාත් තිරිසන් සතකුව ඉපිද මේ දුක සහතික කරගැනීමේ අවිද්‍යාවේ සතුටයි. මෙ මෝඩ සල්ලිකාර මනුෂ්‍යයාගේ ඇස්‌ අවිද්‍යාවෙන් වහලයි තියෙන්නේ. එයා දකින්නේ වැඩි යමක්‌ අයිතිකරගැනීමේ අවිද්‍යාවේ සිහිනය පමණයි. ඒ සිහින සුන්දර තරමටම, එම සිහිනයෙන් බැංකු ගිණුමේ ඉලක්‌කම් ගණන වැඩිවන තරමටම, එහි විපාකයන් භයානයකය. අවිද්‍යාවෙන් දෑස්‌ අන්ධ වුණු මේ සල්ලිකාර මහත්තයා මොහොතක්‌වත් සිතන්නේ නැහැ මේ මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න තිsරිසන් සතා අතීතයේදී ඔහුටත් වඩා සල්ලිකාර මහත්තයෙක්‌ය කියලා.

Monday, October 3, 2011

"Rahatunge Maga" - The way of Arhath 19

ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න

වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක්‌ මැද, බැලුම් බෝලයක්‌ වැනි ආවරණයක්‌ මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක්‌ මගේ කොටගෙන එයට ඇලී, ඉන් මිදීමට අකමැතිව වාසය කරපු කෙනෙක්‌මයි. මෙවැනි ගර්භාෂ කෝටි කීයක්‌ අතීතයේදී අපි අපේ කරගෙන ඇතිද? අවාසනාව මෙය නොවේ. මෙතරම් ගර්භාෂවලට රිංගාගෙන මහා දුකක්‌, කැමැත්තෙන් වින්ද අපි වර්තමානයේදීද උත්සහ කරන්නේ ඔබේ ගර්භාෂයෙන් එවැනි දුක්‌ විඳින සත්වයෙක්‌ උපද්දවා ගැනීමටය. ඔය කැමැත්ත ඔබ තුළ තිබෙන තාක්‌කල් ගර්භාෂය මගේ කරගත් දරුවන් ද, දරුවන් මගේ කරගත් මවුවරුන්, පියවරුන්ද වීම මිස සසරින් මිදෙන්න නම් බැහැ.

ඔබේ මවුකුසින් දරුවකු ලෝකයට බිහිවුණ සැනින්, ඔබත් ඔබේ ස්‌වාමීපුරුෂයාත් මුළින්ම මොකද කරන්නේ. නමක්‌ හදනවා, වාසගම, මුලකුරු සමග උප්පැන්න සහතිකය සමගම... ඇයි මේ උප්පැන්න සහතිකය? බයයි මේ දරුවා අහිමි වේය කියලා. වෙන කෙනෙක්‌ අයිතිකරගනීය කියලා. ඒ නිසා රජයේ පොතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරනවා. ප්‍රශ්නයක්‌ වුණොත් උසාවියට ගිහින්හරි අයිතිකර ගන්නවා කියලා. නමුත් ඔබ සිතන්නේ නැහැ මේ දරුවා කොහේ සිටද ආවේ කියලා. සමහර විට ගිය ජීවිතයේදී මේ දරුවා අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්, යාචකයෙක්‌ වශයෙන් ජීවත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. කුල වශයෙන් සමාජයේ පීඩනයට පත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක්‌ වෙන්නත් පුළුවන්. ප්‍රේතයෙක්‌ වෙන්නත් පුළුවන්, යක්‍ෂයෙක්‌ වෙන්නත් පුළුවන්. දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක්‌ වෙන්නත් පුළුවන්. මෙසේ සිටි සත්වයෙක්‌ එතැනින් චුතව මව්කුසේ ප්‍රතිසන්ධිය ඇතිවූවා වෙන්න පුළුවන්. මේ දරුවා පෙර ආත්ම භවයේ ඔබේම අම්මා, තාත්තා, ඥාතියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒත් ඔබ දන්නේ නැහැ ඔබ මේ නළවන්නේ පෙර ආත්මයක ඔබේ අම්මා, තාත්තා, එහෙම නැතිනම් අන්‍ය ආගමක, අන්‍ය ජාතියක කෙනෙක්‌, ප්‍රේතයෙක්‌, දෙවියෙක්‌... කියන සම්මුතියෙන් හැඳින්වුණ සත්වයෙක්‌ය කියලා. මේ තමයි උපාදානයේ බලවත් බව. නිර්ලඡ්ජිත බව. උපාදානයේ සෙළුව, තන්හාවේ දුහුල් සළුවෙන් අපි වසාගන්නවා.

ඔබ මෙහෙම සිතන්න. ඔබ යුද කාලයේ ක්‍රියාන්විතයේ සේවය කරන හමුදා නිලධාරියෙක්‌ය කියලා. ඔබ රට, ජාතිය, ආගම, රැකියාව නාමයෙන් යුද්ධ කරනවා. ඔබේ අතින් මිනිසුන් මැරෙනවා. අපි හිතමු ඒ මිය යන මිනිසුන් ද්‍රවිඩ ජාතික නොමඟ ගිය අය කියලා. ඔබට ඒ අය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවෙනවා, වේදනාවක්‌ ඇතිවෙනවා. ඒ අයගේ දෙමාපියන් ඥාතියන් කෙරෙහි දුකක්‌ ඇතිවෙනවා. මෙවැනි සිත් පරම්පරාවක්‌ ඔබ තුළ ඇතිවෙමින් නැතිවෙන මොහොතක ඔබද යුද බිමේදී මියයනවා. මෙවැනි මියයැමකදී ඔබ නැවත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගැනීමට ඉඩකඩ ඕනෑතරම් තියෙනවා. ඒ ආකාරයකට ඔබ තුළ ඇති වූ උපාදානය නිසා, ඔබ ද්‍රවිඩ මවකගේ කුසේ ප්‍රතිසන්ධිය ලබනවා. දරුවකු ලෙස ලෝකයට බිහිවෙනවා. ඔබ දැන් අලුත් සම්මුතිය තුළ අභිශේක ලබන්නේ යාපනයේ ද්‍රවිඩ පවුලක ද්‍රවිඩ නමක්‌, වාසගමක්‌ සහිත ද්‍රවිඩ දරුවෙක්‌ ලෙසයි. එම දරුවා යාපනයේ ලොකු මහත්වී දසවැනි වියට පැමිණියහම ද්‍රවිඩ කණ්‌ඩායමේ ළමා සොල්දාදුවෙක්‌ වශයෙන් රාජ්‍ය හමුදාවට එරෙහිව සටන් වදිනවා. බලන්න මොනතරම් මුළාවක්‌ද? වසර 11ක කාලයක්‌ තුළ සිංහල හමුදා නිලධාරියෙක්‌ වශයෙනුත්, ද්‍රවිඩ සොල්දාදුවෙක්‌ ලෙසත් භූමිකා දෙකකට පණ දුන්නා. මේ භූමිකාව මෙතැනින් නවතින්නේ නැහැ. නැවත නැවත උපාදානයක්‌ නිසාම භවය කරා යනවා. ඔබ වර්තමාන ජීවිතයේදී මහත් අභිමානයෙන් යුතුව මම සිංහල බෞද්ධයෙක්‌ කියලා උදම් ඇනුවද ඔබ පෙර ආතමයේ අන්‍ය අගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්. මේ ජීවිතයෙන් පසු නැවත ඔබ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වන මවුකුසක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් අපි අල්ලාගත් දේ තුළ 'මම' ඉන්නවාය කියලා දකිනවා. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ කල්ප සියක්‌ කෝටි ගණනක ඈත පටන් අපි මැරෙමින් ඉපදෙමින් පැමිණීමේ ගමනේදී ඔබ මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, තිරිසන් සතෙකුටම, ප්‍රේතයෙකුටම, තිරිසනෙකුටම, බ්‍රහ්මයෙකුටම ලේ ඥාතියෙක්‌ වී සිටිය බව. සම්මුතිය තුළ වෙන් වශයෙන් හඳුනාගත්තත් සියලුදෙනාම ඔබේ ලේ ඥාතීන්මයි. නමුත් ලෝකය තවමත් වර්ගවාදීව යුද්ධ කරනවා. ඒ අය දන්නේ නැහැ යුද්ධය තිබෙන්නේ යුද බිමේ නොවේ කියලා. ඒත් ඒ අය හිතනවා යුද්ධය තිබෙන්නේ යුද බිමේය කියලා. නමුත් යුද්ධය තිබෙන්නේ, යුද්ධයේ මූල බීජයන් හටගන්නේ අවිද්‍යා සහගත මනුෂ්‍ය සිතේ. සිතේ තමයි යුද්ධය හටගන්නේ. කුමක්‌ නිසාද? තන්හාව නිසා හටගන්නා උපාදානය හේතුවෙන්. ඒක නිසා කවුරුහරි හිතනවානම් ලෝකයේ යුද්ධය නතර කළ හැකිය කියලා, එය මිත්‍යාවක්‌මයි. යුද්ධ නතර කරන්න බැහැ. ඉවරකරන්නත් බැහැ. හැබැයි තාවකාලිකව වැඩි බලයෙන් යටපත් කර තබන්න පුළුවන්. එයත් තාවකාලිකයි. යුද්ධය නතර කළ හැක්‌කේ මිනිසුන් මැරීමෙන්, දෘෂ්ටින් මැරීමෙන් නොවේ, මිනිසා තුළ අවිද්‍යාව මරාදැමීමෙන් පමණක්‌මයි. අවිද්‍යාව මියගිය තැන උපදින්නේ විද්‍යාවයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු යුද්ධ භූමිය පමණක්‌ නොවේ. යුද ආයුධ, යුද ආයුධ කර්මාන්ත ශාලා සේම යුද සේනාවද සුණුවිසුණුකොට දමා අවසන්ය. ඔහු මේ සියල්ල විනාශකොට දැමුවේ ආයුධ පාවිච්චි කර නොවේ. සතිය සිහිය නැමැති ආයුධය පමණක්‌ පාවිච්චි කිරීමෙනි. ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ තව තව මායිම් අල්ලාගැනීමෙන් නොව, අතහැරීමෙන්ය. දැන් ඔබට වැටහෙන්න ඕනේ ගෙදර යුද්ධයත්, ගමේ යුද්ධයත්, රටේ යුද්ධයත් හටගන්නේ කුමක්‌ හෝ උපාදානය කරගත් නිසාය කියලා. උපාදානය කරගත් දෙය අතහරින්න. එවිට යුද්ධය නවතිනවා. ඒත් ඔබ එයට කැමති නැහැ. මොකද ඔබ උපාදානය කරගත් දෙය මගේය, එය නිත්‍යය කියලා දකින නිසා. ඔබ උපාදානය කරගත් දෙය රට වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ආත්මගරුත්වය, රැකියාව, තමාගේ පැවැත්ම, නායකත්වය, මේ අනිත්‍යවූ ධර්මතාවයන් තමයි ඔබේ සකස්‌වීමට හේතූන් වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්හාව නිසාය උපාදානය සකස්‌ වෙන්නේ කියලා. මේ උපාදානය තමයි ඔබව ජාති, ජරා, ව්‍යාධි මරණ කරා රැගෙන යන්නේ. ඒ නිසා ඔබ ඔය දිවීම, ව්‍යායාම කිරීම, ශරීරය හැදීම මොහොතකට නතර කරලා, එහෙම නැතිනම් ඒවා කරන ගමන් විවේකීව සිතන්න මොකක්‌ද මේ කය..... මස්‌, නහර, ඇට, රුධිරය, අසූචි, මුත්‍රා, බොකු බඩවැල්, සෙම්, සොටු... මෙහි හදන්න දෙයක්‌ තිබෙනවාද? මේවායේ මොනවා හදන්නද? ජරාවක්‌මයි. පිළිකුලක්‌මයි තිබෙන්නේ. මෙය හදන්න නොවේ තිබෙන්නේ, අතහරින්නයි. ඔබ උදේට කටේ තිබෙන කුණුකෙළ මගේ නොවේ කියලා ඉවතට දමනවා. ඇසේ තිබෙන කබ, ශරීරයේ පිරුණු අසූචී, මුත්‍රා මගේ නොවේ කියලා ඉවතට දමනවා. ශරීරයේ පිරුණු වාතය මගේ නොවේය කියලා එලියට දමනවා. ශරීරයේ පිටවන දහදිය මගේ නොවේය කියලා පිසදමනවා. අන්න ඒ වගේ ඔබ තුළ තිබෙන්නාවූ, 'මා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාය. ඔහුව නිරෝගී කරන්න ඕනෑය. ඔහුගේ මස්‌පිඩු ක්‍රමවත් කරන්න ඕනෑය' කියන අවිද්‍යා සහගත සිත ඔබ ඔබේ නොවේය කියලා ඉවතට දමන්න. මා තුළ 'මම' සිටියි. මා තුළ ආත්මයක්‌ තිබේය යන දෘෂ්ටීන්ගෙන් මිදෙන්න. ඔබට ලැඡ්ජා නැතිද, හිරිකිතයක්‌ අපුලක්‌ නැතිද මළ කුණකට, මළ කඳකට අතීතයේ ප්‍රේතයෙකු, තිරිසනකු, තිරිසන් සතකුව ඔබ ඔබේ කරගන්න. 'මම' කියලා හඳුන්වාගන්න. ඔබට ලැඡ්ජයි නේද?

තාමත් ඔබට ලැඡ්ජාවක්‌ නොදැනෙන්නේ නම් ඔබ මේ සටහන නැවත නැවත කියවන්න. මේ ඔබ කියවන්නේ ඔබේ රූපයෙන් නිදහස්‌වීමේ මාර්ගයයි. නිවීමේ මාර්ගයයි. මේ ගැන සිතලා සතුටු නොවී, ඇති වූ සතුටත් අනිත්‍ය බවම දකින්න. ඇතිවූ, නැතිවගිය සිත අනිත්‍ය වශයෙන් දැක නිවීමේ මඟට අවතීර්ණ වන්න.

කයේ ස්‌වභාවය හොඳින් දකින්න. ඔබ දැකලා තිබෙනවාද ලස්‌සන කුකුලෙක්‌ව. නා නා වර්ණ පිහාටු වලින් කුකුලා අලංකාරයි. දකින්න ප්‍රිය උපදවන රූපයක්‌ එයාට තිබෙනවා. මේ ලස්‌සන කුකුලාව මස්‌ කඩයට ගෙනිහින් පිහාටු සේරම ගලවලා, සුද්ද කරලා, යකඩ කොක්‌කක, එහෙත් නැතිනම් වීදුරු ශීතකරණයක විකිණීම සඳහා තබා තිබෙනවා ඔබ දැකලා ඇති. උගේ දැන් තිබෙන්නේ සම පමණයි. ලස්‌සන පිහාටු නැහැ.

දැන් ඔබ ඔබේ කය දෙස බලන්න. ඔබ හුදෙකලාව මනසින් හෝ හැබැහින් ඔබේ කය නිරුවත් කරන්න. කැඩපතක්‌ ඉදිරියේ සිට දකිනවා සේ ඔබේ කය දෙස බලන්න. අර කුකුල් මස්‌ කඩේ එල්ලලා තිබෙන හමගහපු කුකුළාගේ කයත් ඔබේ කයත් අතර වෙනසක්‌ තිබෙනවාද? ඔබේ කයත් හමගහපු කුකුලෙක්‌ වගේමයි. ඔබ මමත්වයෙන් පිරුණු ඔබේ සිත ලැඡ්ජාවට පත්කරන්න. සිත අපහසුවට පත්කරන්න. මාන්නය බිඳ දමන්න. කුකුලාව ලස්‌සන කළේ උගේ ලස්‌සන පිහාටු වගේම ඔබවත් ලස්‌සන කරලා පෙන්වනනේ ඔබේ ඇඳුම් පැළදුම්, ආභරණ, සුවඳ විලවුන්. අර කුකුල් කය බාහිර දේ විසින් අලංකාර කරනවා. ඔබ යථාර්ථයෙන් ඈත් කරනවා. අවිද්‍යාවෙන් අන්ධ කරනවා මේ වෙළෙඳපොළ කියන්නේ අවිද්‍යාව විකුණන තැනට. වෙළෙඳපොළේ මුදලාලිලා අවිද්‍යාව පැකට්‌ කරලා, බෝතල් කරලා, පෙට්‌ටි කරලා, ලස්‌සන ලේබල් අලවලා, රූපවාහිනී දැන්වීම් දමලා, ලොකු බෝඩ් ප්‍රදර්ශනය කරලා, විදුලි බුබුලු දමලා අලෙවි කරනවා. මේ මිනිස්‌සු උදේ ඉඳලා රෑ වෙනකම් කර්මාන්තශාලා වල, වැඩබිම් වල රැකියා කරන්නේ මේ අවිද්‍යාව මිලදී ගන්න සල්ලි සොයන්නයි. එක පැත්තකින් ඔවුන්ට අවිද්‍යාව නිෂ්පාදනය කරනවා. තව පැත්තකින් ඔවුන් අවිද්‍යාව මිලදී ගන්නවා. සමාජයේ ඇති නැති ස්‌වභාවය මත මේ නිෂ්පාදනයේ සහ මිලදී ගැනීමේ ගුණාත්මකභාවයන් අඩුවැඩි වෙනවා. ලෝකය භාණ්‌ඩ සහ සේවා අංශයෙන් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යා දියුණු වෙනවා කියන එකයි. අවිද්‍යා නිෂ්පාදනය සහ මිලදී ගැනීම ඉහළ යනවා කියන එකයි.

ඔබ දැන් නිවී සැනසිල්ලේ සිතන්න ඔබත් අවිද්‍යාවේ දාසයෙක්‌ද? පිංවත් ඔබ ශරීරයේ නිරෝගීබවට, දිවීමට, ව්‍යායාම කිරීමට වැයකරන කාලය මේ කය අවබෝධ කරගැනීමට වැයකරන්න. ඔබට අයිති නැති ආගන්තුක සිත, ඔබේ යටතට ගන්න. සතිය සිහිය උපද්දවාගන්න. දුවන්න, ව්‍යායාම කරන්න කියන සිත ඔබ අතහරින්න. එවිට දිවීම, ව්‍යායාම ඔබට අතහැරේවී. දිව සංවරව තබාගෙන නිරෝගී වන්න. නිරෝගී ශරීරයක්‌ ඇති අයෙක්‌ වන්න, එහි අනිත්‍යය දකිමින්ම.

නිරෝගී කය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොව, සසර ගමනින් එතෙරවීම සඳහා ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක්‌ කරගන්න. ඔබ නැවත වේගයෙන් දුවන චීටාවෙක්‌, සිරුරට බොහෝ ව්‍යායාම් දෙන වඳුරෙක්‌, ව්‍යායාම් සරඹ ආදිය උපාදානය කිරීමෙන් ඉපැදුණු අහසේ ජිම්නාස්‌ටික්‌ කරනා ප්‍රේතයෙක්‌ නොවීමට වගබලාගන්න.

"Rahatunge Maga" - The way of Arhath 18

කය දුවවා වැඩක්‌ වේද
සිත නතර කරනු බැරිනම්


ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම.....

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුqරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත - උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්...

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් 'ජොල් වීමට' පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යෑපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර.... මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා 'මගේ දරුවාය' යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්aතිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැŽම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.