Wednesday, September 6, 2023

උසස්පෙළ මතක




හැමදාම උසස්පෙළ ප්රථිපල එනකොට හිත අතීතයට දිව යන එක වලක්වන්න අමාරුයි. ඉස්සර ඉස්කෝලේ 11 වසරට එනකම් හොඳ සාහිත්ය කාරයෙක් වෙලා ඉඳලා, උසස්පෙළ හා විශ්ව විද්යාල දෙකක ගත කරපු පහුගිය ජිවිත කාලෙ එක්ක ඒ සාහිත්ය කාරයා හිත ඇතුලෙම මියැදිලා හිටියත්, හිතට දැනෙන සමහර සිදුවීම් එක්ක අයෙමත් සිතුවිලි අකුරු බවට හැරවෙන එක නවත්වගන්න අමාරුයි.
අද කාර්යාල දවසක්. තියෙන රාජකාරි අනුව හතර වටේ යන්න වෙනවා උනත්, හවස කෙටි නිවාඩුවක් ගන්නත් ඕනැකමක් තිබුන නිසා අද කාර්යාලයේ රැඳී ඉන්න කොහොමත් ඕන උනා. ඒත් උදේ දහයට විතර මෙන්න මගේ කාර්යාල කාමරය වෙත අපේ අංශයේ කළමණාකාර සහකාර මිස්ගේ හදිසි කඩාවැදීමක්. ඒ ඇස් වල කඳුළු. මම කොහොමත් කාර්යාලයේදී කාන්තාවන් තියාගන්නේ අතේ දුරින් නෙමෙයි. අත් දෙකක දුරටත් වඩා වැඩි දුරකින්. තරහකට නෙමෙයි ඒත් ඒ මම පුරුදු උන හැටි. විශේෂයෙන්ම එයාලා ඇස් වල කඳුළු එක්ක ඉන්නකොට. එහෙම කරන්න හේතු ඕන තරම්.
"සර් මගේ පුතාගේ උසස්පෙළ ප්රථිපල ඇවිත්. මෙන්න මෙහෙමයි. ගණිත අංශයෙන් පළවෙනි සැරේ කලේ."
ප්රථිපල කිසිසේත්ම නරක එකක් නෙමෙයි. කොල්ලා දක්ෂයෙක්. හැබැයි කොල්ලා කුරුණෑගල දිස්ත්රික්කයෙන් ඉංජිනියරින් යන්න නම් ඒ ප්රතිපල අනුව ටිකක් වැට උඩ වගෙයි. මොකද මෙහෙ A එකකටයි B අකුරු දෙකකටයි එක්ක, ඒ කියපු රෑන්ක් එකත් එක්ක ඉංජිනියරින් යන්න සාමාන්යයෙන් ටිකක් අමාරුයි වගෙයි මට තේරුණේ. ඒ වෙලාවට මට දෙන්න තියෙන හොඳම උපදෙසක් දුන්නත්, ඊට පස්සේ හිත අතීතයට යන එක නවත්තගන්න බැරි වුණා.
මම පලවෙනි සැරේ උසස්පෙළ කරේ 2004 දී. සාමාන්යපෙළ A අකුරු දහයක් එක්ක සමත් වුනත් මුල් සැරේ හොඳ ප්රතිපලයක් උසස්පෙළ ලැබෙන්නේ නැහැ කියලා කොහොමත් මට දැනිලා තිබුනා. තාත්තා බරපතල හදවත් රෝගයකින් පෙළෙමින් ඉන්නකොට, ගෙදර අදායම් මාර්ගයක් ඉස්තිරව නැති වෙනකොට, හිත එකතැන් කරන් වැඩක් කරන්න මට අමාරුයි කොහොමත්.
ගණිත අංශයෙන් උසස්පෙළ කරන සියළුම දෙනා සංයුක්ත ගණිතයට මුල් තැන දුන්නත්, මම කැමතිම උනේ භෞතික විද්යාව විෂයට. මගේ පාසල් ජිවිතේ හමු උන, වඩාත්ම හිතට දැනුන ගුරුතුමියන් දෙදෙනාගෙන් එක් අයෙක් උනෙත්, පාසලේ උසස්පෙළ අපිට භෞතික විද්යාව උගන්වපු කුමාරි මිස්ව. උදේ හයේ ඉදන් නොමිලේ පාසලේ උගන්වන ඇය, අප වෙනුවෙන් ඕනෑම වෙලාවක පරීක්ෂණ සඳහා පාසලේ භෞතික විද්යාගාරයේ ඉඩ කඩ වෙන්කර දුන්නා. ඒ වගේම, භෞතික විද්යාව විෂයට කුරුණෑගල එවකට ගණිත අංශයේ සිසුන් වැඩිපුර ගිය උපකාරක පන්තිය නෙමෙයි මම තෝරා ගත්තේ. ඒ වෙනුවට මම ගියේ (ආචාර්ය) නිමල් හෙට්ටිආරච්චි සර් ගේ physics class එකට.
ඔව් ඉතින්, 2004 උසස්පෙළ විභාගයේදී භෞතික විද්යාව ප්රශ්න පත්ර දෙකට ඇට්ටි හැලෙන්න ලිව්වා. හැමෝටම කාලය මදියි කියන බහුවරණ 60 ට පැය එකහමරෙන් ලියාලා තව පැය බගේකුත් ඉතුරු උනා. රචනා ප්රශ්න 6 න් 4 ක් කරන්න කිව්වට මොකද, මම 6 ම ලියලා ඉවරවෙලා තවත් වෙලාව ඉතුරු උනා. පස්සේ ඉතින් බලද්දී කරපු බහුවරණ 60 න් 57 ක් නිවැරදියි.රචනා ප්රශ්ණ 6 ම නිවැරදියි. ආ ඔය අනිත් විෂයන් දෙකත් ඔන්න ඔහේ ලියලා දැම්මා. ඒවා එච්චර සාර්ථක උනේ නැද්ද කොහෙද.
ප්රථිපල එද්දී භෞතික විද්යාවට A එකකුත් සංයුක්ත ගණිතයට හා රසායන විද්යාවට C අකුරු දෙකකුත් ඇවිත් තිබුණා. කුරුණෑගලින් රෑන්ක් එක 129 වගේ තමයි මතක. C අකුරු දෙකකුත් තියාගෙන කුරුණෑගල වගේ ගොඩක් තරඟකාරී දිස්ත්රික්කයකින් 129 වුණා කියන්නේ ඉතින් Physics වලට හොඳ ලකුණක් ආව නිසා වෙන්නැති. මොනවා වුනත් දෙවෙනි සැරේට ලියන්න මහන්සි වෙන්න තීරණය කලා. ඒ අතරේ මුල් සැරේ ප්රතිපල වලට විශ්ව විද්යාල අයදුම් කරපු එකට සබරගමුව විශ්ව විද්යාලයේ මිනින්දෝරු පාඨමාලාවට තේරිලා කියලා ලියුමක් ඇවිත් තිබුණා. ආ, තව ලියපු TTI (Institute of Engineering Technology - Katunayake) එකෙන් දෙවෙනියට තෙරිලත් තිබුනා.
TTI entrance exam ලියන්න ගියපු හැටිත් තව කතාවක් ඉතින්. ඒක කොළඹ රෝයල් එකේ තිබුනට මම කොළඹ පාරවල් දන්න එකක්යැයි. මාව එක්කන් ගියේ අජිත් බාප්පා. එවකට එයා පුංචි අම්මත් එක්ක රාගම රණවිරු සෙවණ වෛද්ය නිල නිවාසෙක තමයි හිටියේ. තාත්තට අසනීපෙ නිසා යන්න අමාරු නිසා මම පාන්දර 4 ට තියෙන කෝච්චියක කුරුණෑගල ඉඳන් රාගම ගිහින් බාප්පා එක්ක තමයි කොළඹ ගියේ. කොහොම හරි TTI exam ලියලා එලියට එද්දී එවකට වරලත් ඉංජිනේරුවරයෙක් හා අද ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යධිකාරී කෙනෙක් වෙන අජිත් බාප්පා පාරේ අයිනේ තියෙන කොන්ක්රීට් බෝක්කුවක් උඩ වාඩිවෙලා මම එනකම් බලන් ඉන්නවා. ඒ දර්ශනය අදත් ඒ වගේම මතකයි. ඉන්ජිනේරුවරයෙකුට එදා තිබුන ඒ නිහතමානීකමට මම අදටත් සැහෙන්න ගරු කරනවා විතරක් නෙමෙයි අදටත් මගේ ජිවිතේ එක පූර්වාදර්ශි චරිතයක් තමයි ඒ.
කොහොම හරි 2005 දී දෙවෙනි සැරෙත් උසස්පෙළ කරද්දී භෞතික විද්යාව ප්රශ්න පත්ර ටිකට කලින් වතාවේ වගේම දුවන්න දුන්නා. මේ පාර නම් සංයුක්ත ගණිතයත් ගොඩ වගේ. රසායන විද්යාව බහුවරණ එකත් සැහෙන ගොඩ දාගත්තා. ඔන්න ඉතින් වැඩේ කචල් වෙන්න ගත්තේ රසායන විද්යා දෙවෙනි ප්රශ්න පත්රයට කලින් දවසේ. හවස් වෙද්දී තාත්තට තදින් අසනීප වෙන්න පටන් ගත්තා. දරුණු පපුවේ අමාරුවක්. කලින් වතාවල් වල නාල අවහිරතා එක්ක වැඩ කරපු තාත්තගේ හදවත් පේශි වලට, තමන්ගේ එකම පුතාගේ උසස්පෙළ ඉවර වෙනකම් ඉන්න තරම් හයියක් තියෙන්න නැතුව ඇති.
ජීවිතයත් මරණයත් අතර ඉන්න තාත්තා එක්ක නිදි නැති රැයක් ගත කරලා ඔන්න රසායන විද්යා දෙවෙනි ප්රශ්න පත්රය අතට ගත්තා. නිදිමතේ ඔය මොනවද මන්දා ලියලා දැම්මා.
ඔව් 2005 උසස්පෙළ දෙවෙනි වර ප්රථිපල ආවා. A අකුරු දෙකකුත් එක්ක රසායන විද්යාවට B අකුරකුත් එක්ක කුරුණෑගල දිස්තික්කයේ 51 රෑන්ක් එකත් එක්ක පේරාදෙණි තේරුණා. මම හිතන්නේ ඒ සැරෙත් රෑන්ක් එක උඩට එන්න භෞතික විද්යාව ප්රශ්න පත්ර ටිකට ගහපු හයේ පාරවල් උදව් වෙන්න ඇති. ඔව් ඉතින් කලින් වගේම බහුවරණ 60 න් 59 ක් හරියට කරලා, තව රචනා ප්රශ්න 4 ක් කරන්න තිබුනට 6 ම කරා නේ.
ඇත්තටම ඒ සැරේ රසායන විද්යා රචනා ප්රශ්න පත්තරේ ඉවර වෙලා ගෙදර අවේ සුදු කොඩි දකින්න බලාපොරොත්තුවෙන්. එත් වාසනාවකට ඒ හදවත් අකර්මන්යතාවට තාත්තගේ ජිවිතේ එදා උදුරගන්න බැරි වෙලා තිබුණා. ඒ නිසා තමන්ගේ එකම දරුවා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට බාර දෙන්න යන්න තාත්තට හැකියාව ලැබිලා තිබුණා.
ජිවිතේ ඔහොම තමයි ඉතින්.