Sunday, October 23, 2011

"Rahatunge Maga" - The way of Arhath 22

සයුරු සැපෙහි වේ මේ සා දෝසා

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, zඅපි තිරිසන් ලෝකයේ උපත නොලබනවාZ කියලා. මනුෂ්‍යයාට එහෙම හිතන්න පුරුදු කළහම මේ සිත නැමැති පාප මිත්‍රයාට, මිත්‍ර ෙද්‍රdaහියාට හරිම ලේසියි ඔබව, තිරිසන් ලෝකයේ උපතට අවශ්‍ය හේතූන් ඔබ තුළින් සකස්‌ කරන්න. තිරිසන් ලෝකයේ නිසරු උපතකට අවශ්‍ය ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක්‌ මෙලොවදී ඔබට ලබාදෙන්න. සතර අපායෙන් අපේ ඇසට පෙනෙන ලෝකය තමයි තිරිසන් ලෝකය. සතර අපායට අයත් ප්‍රේත, අසුර සහ නිරය දැකීමට නොහැකි වුවත් ඔබට නිරය ගැන, ප්‍රේත ලෝකය ගැන දැනීමක්‌ තිබෙනවා. එහෙත් ඔබට මේ ප්‍රකාශ කරන්නට යන්නේ එතරම් සඳහනක්‌ නොවන සතර අපායට අයත් අසුර ලෝකය ගැනයි.

ඒ අසුර ලෝකයට අපේ අවධානය අඩුයි. එහෙත් ප්‍රේත ලෝකයට සාපේක්‍ෂව අසුර ලෝකය විශාලත්වයෙන් වැඩි විය යුතුය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්‍රිතව තමයි අසුර ලෝකය ස්‌ථානගතවෙලා තිබෙන්නේ. මේ මහා සාගරය තමයි අසුරයන්ගේ නිජබිම. සත්වයෙක්‌ මේ අසුර ලෝකයේ උපතක්‌ ලබන්නේ ඇයි? මහා සාගරයට තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන් මතු අසුර ලෝකයේ උපත ලබා මහා සාගරයට බැසගන්නවා.

ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ මුහුදුකරය කියලා රට වටේ ප්‍රදේශය හඳුන්වනවා. ලෝකයේ අනිකුත් රටවල මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මේ ලෝකයේ මුහුදු ආශ්‍රිතව වෙසෙන ජනයා මුහුද තමන්ගේ ජීවිතය කරගෙනයි ජීවත් වන්නේ. ඒ අය නිවසින් එළියට බැස්‌සත්, ජනේලයෙන් එළිය බැලුවත් ඔවුන් දකින්නේ, පෙනෙන්නේ මුහුදයි. මුහුදේ ඝෝශාව, සුළඟ, මුහුදු රල මේ අය වැසිකිළියට යන්නෙත් මුහුදට, සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ මුහුදු වෙරළේ. නැතිනම් මහ මුහුදේ. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. මේ මුහුද ආශ්‍රිත මිනිස්‌සු යෑපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. අපේ රටේ පමණක්‌ නොවේ මුළු ලෝකයේම සමහරු උදේ ඉඳන් රාත්‍රි වනතුරු, බිලී පිති දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත් නොසිතා මුහුද මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදේ මාළු දැල් එලනවා. තවත් සමහරු සවස තම බෝට්‌ටු වලින් මුහුදු ගියහම ආපසු ගොඩබිමට පැමිණෙන්නේ පසුදා අලුයම. තවත් සමහරු බහුදින ධීවර යාත්‍රා වලින් මුහුදු ගියහම ආපසු පැමිණෙන්නේ සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව් වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්‍ෂණය.

මේ හැම ධීවර කාර්මික මහත්මයෙක්‌ම මහ මුහුද උපාදානය කරගත් අයයි. මේ අයගේ ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත් දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපොරොත්තුවත් මහ මුහුදයි. සාගරය ඔවුන්ගේ ආත්මයයි. මේ ආත්මය තුළින් තමන්ට සැප ලැබේයෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන කරගෙන ගොඩබිමට රැගෙන පැමිණෙන්නේ ප්‍රාණඝාතයේ අස්‌වැන්නයි. ප්‍රාණඝාතයේ අස්‌වැන්න යනු ඔවුන් ගොඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටොන් ගණනයි. කුඩා මසුන් පමණක්‌ නොවේ. කැස්‌බෑවුන්, විශාල මෝරුන්, තල්මසුන්, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්‌සන්... මේවා තමයි මුහුද උපාදානය කරගත් මිනිසුන්ගේ ප්‍රාණඝාතයේ අස්‌වැන්න.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා, ඒ අය මහා සාගරය උපාදානය කරගන්නේ වෙනත් සංඥාවකින්. ඒ අය විනෝදය උදෙසා, සතුට උදෙසා, විවේකය උදෙසා, ක්‍රීඩාව උදෙසා, අධ්‍යාපනය උදෙසා මහා සාගරය උපාදානය කරගන්නවා. අපි මේ අයට කියනවා දෙස්‌, විදෙස්‌ සංචාරකයන් කියලා. සුන්දර මුහුදු වෙරළ තිබෙන රටවල ඉතාමත් දියුණු ආකාරයෙන් පැතිරුණු ව්‍යාපාරයක්‌ මේක. සංචාරයකයන් සැතපුම් දස දහස්‌ ගණනක්‌ දුර කතර ගෙවාගෙන රට රටවල සංචාරයට යනවා. මාලදිවයින කියන රටට වසරකට ලක්‍ෂ ගණනක සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනවා. කුමකටද? මහා සාගරය උපාදානය කරගන්න. අපේ රටත් එහෙමමයි. ලෝකයේ කොහෙ පිහිටියත් සංචරක හෝටලයක මහා සාගරයට මුහුණදාපු කාමර ගොඩබිමට මුහුණදාපු කාමර වලට වඩා මිලෙන් අධිකයි. මෙය සංචාරකයන් මුහුද උපාදානය කරපු නිසා ඇතිවූවක්‌. මේ අය මුහුදේ නාමින්, කිමිදෙමින්, ඔරු බෝට්‌ටු පදිමින්, නොයෙකුත් ජල ක්‍රීඩා කරමින් මහා සාගරය තුළ සතුට සොයනවා. වෙරළේ මහා අවුකාශ්ඨකයේ හිරු එළිය තපිනවා. මුහුද ඒ අයගේ ජීවිතයේ කොටසක්‌ වගේ. ලුණු වතුර, ලවන ස්‌වභාවය ඒ අය ස්‌පර්ශ කරන්නේ දැඩි කැමැත්තකින්. තන්හාවකින්. අපේ රටේ සුන්දර සංචාරක මුහුදු තීරයේදී මේ ස්‌වභාවය ඔබට දකින්න පුළුවන්. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. ඒ අයගේ ආහාරය මහ මුහුදයි. ඒ අයගේ ඇස ඉල්ලන්නේ මුහුදේ සුන්දරත්වයයි. කන ඉල්ලන්නේ රළ පෙරළෙන ඝෝෂාවයි. නාසය ඉල්ලන්නේ පිලී ගඳයි. දිව ඉල්ලන්නේ මුහුදු ආහාරයන්ගේ රසයයි. ශරීරය ඉල්ලන්නේ මුහුදු ජලයේ ලවන ස්‌වභාවයයි. මනස ඉල්ලන්නේ ඉහත සියල්ල තව මදි, තව මදි කියන ඉල්ලීමයි. කය නැමැති ගුහාවේ සැඟවී සිටින සිත නැමැති ඔබගේ පාප මිත්‍රයා ඔබව මේ මුළා කරන්නේ මුහුද මගේ ආත්මයයි. සැපයයි. ලෝකයයි කියාය.

තව පිරිසක්‌ ලෝකයේ සිටිනවා. ඒ අය මහ මුහුදේ විශාල මඟී සහ භාණ්‌ඩ ප්‍රවාහන නැව්වල සේවකයන් සහ සංචරකයන්. නැව් වලට සංඥා ලබාදෙන ප්‍රදීපාගාර සේවකයන්. තවත් බටහිර රටවල පිරිසක්‌ සිටිනවා ඔවුන් සිය රැකියාවෙන් විශ්‍රාම ලබන විට හිමිවන සියලු දීමනා එකතුකර කුඩා රුවල් නැවක්‌ මිලටගෙන රටින් රටට තොටින් තොටට යාත්‍රා කරමින් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමනවා. මේ සියලු ආකාර වල අය ගොඩබිමකට පය නොතබා එක දිගට මාස ගණන් යාත්‍රාකිරීම තුළයි ජීවත්වන්නේ. ඔවුන් විනෝද වෙනවා, සතුටු වෙනවා. හොඳට කනවා, හොඳට බොනවා, තමා සිටින්නේ මහා සාගරය මැද සිර කුටියකයි කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මහ මුහුද කෙරෙහි තිබෙන තන්හාවේ ස්‌වභාවය නිසා මේ සිර කුටිය ඒ අය දකින්නේ සිහින මාලිගාවක්‌ හැටියට. අපි හරියටම නොදන්නා නමුත් අහලා තිබෙන විදිහට මේ අය නැව ගිලුනත් බෑන් චූන් ගහනවලු සැපයි, සැපයි කියලා. මහා සාගරයේ මැරුණත් සැපයි කියන සංඥාවෙන්. මේ අයගේ ජීවිතය කියන්නේ මත්වීම, ඉන්ද්‍රියන් පිනවීම පමණමයි. මේ අය මුහුද මගේ කරගෙන, මුහුද ආත්මය කරගෙන, ඒ ආත්මය තුළ සැප ඇතැයි සොයනවා.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා. ඒ අය තමයි කිමිදුම්කරුවන්. ගවේශකයන්. ඒ අයත් මුහුද තුළ සැප සොයනවා. සම්පත් සොයනවා. ඔක්‌සිජන් ටැංකියක්‌ කරේ එල්ලාගෙන එහි බර දරාගෙන, ගැඹුරු බියකරු මුහුදේ කිමිදෙමින්, ඒවා සැප හැටියට දකිමින් මුහුදේ සැඟවුණු අසිරිය, ධනය, නොපෙනෙන ලෝකය සොයනවා. මේ අයට මුහුදේ ලවන ස්‌වභාවය, මුහුදු ගැඹුරේ භියකරු ස්‌වභාවය බොහොම සුළු දෙයක්‌. මොකද මහ මුහුද කෙරෙහි තබන්නා වූ උපාදානය ඊට වඩා බලවත් නිසා. මේ පිරිසත් මුහුද ආත්මය කොට දකිමින් එහි සැප සොයන පිරිසක්‌මයි. මහා මුහුද ආශ්‍රිතව වෙසෙන කෝටි ප්‍රකෝටි ගණනක්‌ මත්ස්‍යයන්, කැස්‌බෑවන්, ලිහිණියන් වැනි පක්‍ෂීන්... මේ අයත් මුහුද උපාදනය කරගත් පිරිසක්‌මයි. මේ අය තම පංෙච්න්ද්‍රය පිනවන්නේ මහා මුහුදෙන් ලබාගන්නා ආහාරයෙන්. ඒ අයගේ ජීවිතය මහ මුහුදයි. මේ සෑම සතකුම මහ මුහුද තුළ සැප සොයනවා. මහ මුහුද මගේය කියලා දකිනවා. මහ මුහුද මගේ ආත්මය හැටියට දකිනවා.

ඉහත සටහන් කරපු ආකාරයෙන් ධීවර කර්මාන්තය නිසා අධ්‍යාපනික, ගවේෂණාත්මක සහ ජීවත්වීම උදෙසා මුහුද උපාදනය කරගත් මනුෂ්‍යන් වගේම තිරිසන් සතුනුත් ගණනින් මහා විශාල සංඛ්‍යාවක්‌. මෙන්න මේ මුහුද උපාදානය කරගත්, මුහුද මගේ කරගත්, මුහුද තුළ සැප සොයන ඉහත සත්වයන් කවදා හරි දවසක මැරෙන මොහොතේ, තමා ජීවත් වන කාලයේදී තන්හාවෙන් බැඳී සිටි මහා සාගරය කෙරෙහි කැමැත්තක්‌, උපාදානයක්‌, ඡන්දරාගයක්‌, මතුවුණා නම් ඔහු අසුර ලෝකයේ ඉපදීමට ඇති ඉඩ ඉතාමත් වැඩියි. මේ වගේ සාගරය උපාදානය කර ජීවත්වෙලා අසුර ලෝකයට බැසගත්තට පස්‌සේ එම අසුරයන්ට පුළුවන් මහා සාගරය මගේ කරගෙන ජීවත්වෙන්න. සාගරය කළඹන්න, පිහිනන්න, කිමිදෙන්න. ඒ ඔහු අපේක්‍ෂා කළ කැමැත්ත අල්ලාගැනීම නිසා ඒ අසුරයන් අසුර ජීවිතය දුකක්‌ කොට දකින්නේ නැහැ. මොකද එයා පෙර මනුෂ්‍ය ජීවිතයේදීත් මුහුද, ජලය, එහි ලවන ස්‌වභාවය, හිරු රශ්මිය, මුහුදු සුළඟ, බියකරු බව දුකක්‌ හැටියට දැක්‌කේ නැහැ. උතුම් මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබී තිබෙද්දිත් ඉහත කරුණු සැපක්‌ කර ගත්ත කෙනා අසුර ලෝකය කියන සතර අපායට වැටුණහම එම ස්‌වභාවය දුකක්‌ හැටියට දකියිද? නැහැ. ඔහු ලැබූ මහා සැපක්‌ හැටියටයි එය දකින්නේ.

පුංචි දරුවෙක්‌ තමන්ගේ මුත්‍රා අසූචි සමග සෙල්ලම් කරනවා වගේ, අසුරයොත් මහා සාගරයේ සෑම දුක්‌ඛ දෝමනස්‌සයක්‌ම මහා සැපයක්‌a කොටගෙන ප්‍රීතිවෙනවා. මහා සාගරයේ ආධිපත්‍යය පතුරවනවා. මහා සාගරයේ අයිතිය, ප්‍රදේශ වෙනුවෙන් ගැටෙනවා. සටන්කරනවා. මනුෂ්‍යයෝ මේ මුහුදු ප්‍රදේශය අපේ, වෙන අයට මෙහි මසුන් අල්ලන්න බැහැ. මේ වෙරළ අපේ හෝටලයේ. වෙන අයට මෙහි එන්න බැහැ වැනි අසුර සංඥාවල බැසගෙන සිටින නිසා අසුර ලෝකයේදී ඒ දේවල් වඩා පුළුල්ව සිද්ධවෙනවා.

ඔබ හිතන්න කිමිදුම්කරුවකු යම් සේද මහ මුහුද තුළ ක්‍රියා කරන්නේ කියලා. ඔහු දිය මතුපිටත් පිහිනනවා. දිය යටත් කිමිදෙනවා. ගැඹුරු දියෙත් කිමිදෙනවා. මෙන්න මේ කිමිදුම්කරුවා වගේ අසුරයොත් මහසයුරේ කිමිදෙමින් පංචකාමය විඳිනවා. මුහුද වෙනුවෙන් තම වර්ගය සමඟ සටන් වදිනවා. මුහුදේ සැප සොයනවා. එය තමයි අසුර ලෝකයේ ස්‌වභාවය. මාළුවෙක්‌ යම් සේද මුහුද දිය සැපැයි කියමින් එහි වාසය කරන්නේ පිහිනමින්, කිමිදෙමින්, හැඩතල මවමින්, සතුටු වෙමින්.... මාළුවාට එය සැපයක්‌ වුවද එය තිරිසන් ලෝකයයි. තව කුඩා මාළු සිය දහසA ගනනින් ආහාරයට ගනිමින් තව කර්ම රැස්‌කරන එකයි. මාළුවා කරන්නේ අවසානයේදී කාගේ හරි දැලකට අසුවෙලා ජීවිතය පූජාකරනව. අසුරයන් තෘෂ්ණාවෙන් මහ සාගරය අල්ලාගෙන මුහුද බෙදාගැනීමට අයිතිකරගැනීමට වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වඩමින් අවසානයේ විනාශවෙලා තව තව දුකින් දුකට වැටෙනවා.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට මහා සාගරයේ මුහුදු ජලය මත කිමිදෙමින්, සතුටු වන සත්වයන් කිහිපදෙනෙක්‌ දුටුවා. භික්‍ෂුව මේ අය හඳුනාගනු ලැබුවේ අසුරයන් හැටියටයි. හැබැයි මේ අසුරයන් කිහිපදෙනා බොහොම තේජාන්විත, පිරුණු මනුෂ්‍ය ස්‌වභාවයේ ශරීරයක්‌ සහිත බොහොම ශක්‌තිමත් පිරිසක්‌. මේ අය තනිකරම කිරි පැහැයෙන් යුක්‌තයි. මනුෂ්‍ය හිසට වඩා ලොකු හිසක්‌ ඔවුනට තිබුණා. මේ අසුරයන් ඉතා ප්‍රීතියෙන් ජලයේ කිමිදෙමින්, ජලය මතුපිටට එමින් විනෝද වුණා. මේ සියල්ලෙන් පෙනෙන්නේ භික්‍ෂුවට දර්ශනය වූ අසුරයන් කිහිපදෙනා අසුර නායකයන් බවයි. මොකද ඒ අය අසුර ලෝකයේ ජීවත්වුණත් දුක්‌ විඳින බවක්‌ පෙනුණේ නැහැ. ඒ අයගේ සියුම් කයේ පිරුණු ස්‌වභාවයේ විරුපී බවක්‌ පෙනුනේ නැහැ.

සමහර විට මේ දෙය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ඒත් නිවැරැදිවම කියන්න නම් දන්නේ නහැ.

ඔය මුහුදට ආසා කරන කෝටිපති ව්‍යාපාරිකයන්, සංචාරකයන් ඉන්නවා. මේ අය ගොඩාක්‌ සමාජ සේවය, දාන මාන වැනි ක්‍රියාවල යෙදෙනවා. මේවා තුළින් ඔවුන් තුළ කුසල් වැඩෙනවා. නමුත් මේ කෝටිපතියන් මැරෙන මොහොතේ ඔවුන් තුළ ඇතිවන්නේ ඉහත සමාජ සේවා, අනුනට කළ උපකාර පිළිබඳ මතකය නොවෙයි. සාගරය කෙරෙහි උපාදානයක්‌. zඅනේ මට නැවත මුහුදු සැප අහිමිවේයZ කියා බියක්‌. ඒ සැපය කෙරෙහි ආශාවක්‌.

අනෙක මේ සමහරක්‌ කෝටිපතියන්, සංචාරකයන් මිත්‍යාදෘෂ්ටිකයන් වීම නිසා, පිං පව් පිළිබඳ විශ්වාසයක්‌ නොමැති නිසා දානයේ ආනිශංස පරලොවදී ලැබෙතැයි විශ්වායක්‌ නොමැති නිසා ඒ අයට මේවා මතක්‌ වෙන්නේ නැහැ. මතකයට එන්නේ තමන් කරපු, තමන් කැමති වූ දෙය පිළිබඳ අල්ලාගැනීමක්‌. මේ හේතුව නිසා මේ අය මරණින් මතු තමන් කැමති වූ මහ මුහුදේම අසුරයෙක්‌ ලෙස උපත ලබන්න බොහෝ ඉඩක්‌ තිබෙනවා. මෙන්න මේ අය අසුර ලෝකයට ලෝකයේදී භික්‍ෂුවට දර්ශනය වූ පරිදි තේජාන්විත පෞරුෂත්වයෙන් යුත් අසුර නායකයන්, ප්‍රාදේශීය නායකයන් වශයෙන් උපත ලබනත් ඉඩ තිබෙනවා.

ඔබ මෙහෙම සිතන්න, එක ධීවර මුදලාලි කෙනෙක්‌ ඉන්නවා ඔහු අදහන්නේ ක්‍රිස්‌තියානි ආගම. එහෙම නැතිනම් මුස්‌ලිම් ආගම. ඒ ගැන කිසිම ගැටලුවක්‌ නැහැ. ඒ එම මහත්වරුන්ගේ නිදහසයි. එවැනි ආගම් භක්‌තිකයෙක්‌ට ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌ වෙන්නේ නැහැ කියලා භික්‍ෂුවක්‌ හිතනවා. වැරැදි නම් සමාවෙන්න ඕනේ. නමුත් බුදු දහම පැත්තෙන් ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌. අපි මෙහෙම හිතමු. ඔය ධීවර මුදලාලිට ට්‍රොලර් යාත්‍රා දහයක්‌ තිබෙනවා කියලා. දිනපතා හොඳින් කාලගුණය පවතිනකොට මේ යාත්‍රා දියඹට ගොස්‌ විශාල මාළු අස්‌වැන්නක්‌ ගොඩබිමට ගෙනෙනවා. මේ අස්‌වැන්න තමයි බෞද්ධ ජනතාවත් ආහාරයට ගන්නේ. ස්‌වාමීන්වහන්සේලාට පූජා කළොත් වළඳන්නේ. ඉහත එක යාත්‍රාවකින් මාළු දහස්‌ ගණන් මරලා ගොඩට ගෙනෙන්නේ. එතකොට දිනකට යාත්‍රා දහයකින් මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දමනවාද? එතකොට මේ මුදලාලිලා ජීවිත කාලය තුළ මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දැමීමට හවුල් වෙනවාද? මේ මුදලාලි උදයට මුqහුදුවෙරළට ඇවිත් සතුටුවෙන්නේ මාළු අස්‌වැන්න දැකලා. බලලා. අස්‌වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න මුදලාලිගේ, සේවකයන්ගේ, සතුට සිනහව බලාපොරොත්තු වැඩිවෙනවා. සමහරදාට මැරුණු මාළුන්ගේ කුස තුළ ලෝකයට බිහි නොවූ නමුත් ජීවී පැටවුනුන් කෝටි ගණනක්‌ ඉන්න පුළුවන්. මෙම මාළු පැටවුත් මැරෙනවා. මෙවැනි පිරිස්‌ ජීවිත කාලයක්‌ පුරාවට රැස්‌කරගන්නා අකුසල් ප්‍රමාණය ඉලක්‌කම් වලින් ප්‍රකාශ කරන්න බැහැ. මෙවැනි අකුසල් නිසාත් බොහෝම දුර්වල, විරූපී අසුරයන් වශයෙන් වගේම මුහුදු පතුළේ ගල් ප්‍රේතයන් වශයෙන්ද ඉපැදීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩිය. මුහුදු පතුළේ සිටින මේ ගල් ප්‍රේතයන් ගලක්‌, කොරල් පරයක්‌, මුහුදු ශාකයක්‌ වශයෙනුයි සිටිනුයේ. මේ ප්‍රේතයන් පහළ වෙන්නේ ගල තුළයි, කොරල් පරය තුළයි. විශාල මුහුදු ශාක නිධි තුළයි. මේවා තමන්ගේ නිවාස කරගෙන, භවන කරගෙන මේ අය ජීවත්වෙනවා. තමා තන්හාවෙන් අල්ලාගත් මුහුද මුරකරන්නේ, බලාගන්නේ zමගේZ සංඥාවෙන් අයිතියේ තබාගෙන සිටින්නේ මේ නිවස තුළ සිටයි. මේ ගල් ප්‍රේතයන් දිනකට දෙතුන්වරක්‌ හිස ගලෙන් මතුකොට මුහුදේ වටපිටාව හොඳින්, තෘෂ්ණාවෙන් නිරීක්‍ෂණය කරනවා. කවුරු හරි ඇවිත්ද, වෙනත් කෙනෙක්‌ අයිති කරගෙනද කියලා. මුහුද පතුලේ ඇති ධන නිධාන, ගිළුන නැව්, මත්ස්‍ය සම්පත බලලා නැවත එයා ගල්වෙනවා. මිනිස්‌සු මේ ධන නිධාන ගන්න එහෙම නැතිනම්, නිරීක්‍ෂණය කරන්න මුහුදු පතුළට ගියොත්, ඔන්න මේ අය පීඩා කරනවා. බය කරනවා. මේවාට තමයි මිනිස්‌සු හොල්මන් කියන්නේ. මේ හේතූන් නිසා වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව තව තව වැඩි වෙනවා. මේ සත්වයන් තවත් දුකෙන් දුකටම යනවා. අසුර ලෝකයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් නිරයට වැටී කල්ප ගණන් දුක්‌ විඳිනවා.

දැන් ඔබ සිතන්න, ඔබත් මහා සාගරය ජීවිකාව උදෙසා, විනෝදය උදෙසා, අල්ලාගත් තෘෂ්ණාවෙන් උපාදානය කරගත් අයෙක්‌ නම් මහා සාගරයේ ප්‍රාණඝාත අස්‌වැන්න ගොඩබිමට ගෙනෙන අයෙක්‌ නම්, සතර අපායට අයත්වන අසුර ලෝකයේ ස්‌වභාවයත්, අසුර ලෝකයේ ප්‍රතිසන්ධියකට අවශ්‍ය කරන හේතූන් ගැනත් අවධානය යොමු කරන්න. අසුර ලෝකයේ ප්‍රතිසන්ධියක්‌ ලැබුවොත් ඔබට කල්ප ගණනාවකින් ගොඩ ඒමට නොහැකි බව දකින්න. ලවන රසයට ඇති අනවශ්‍ය ආසාවන්ගෙන් මිදෙන්න. බියකරු මහ මුහුදට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. එසේ නොවුණහොත් ඔබම, ඔබ කැමති වූ පරිදිම කල්ප ගණනක්‌ ලුණු රසයත්, ලවන ජලයත්, පිලී ගඳත්, ගැඹුරු නොගැඹුරු සයුරත්, එහි ඇති ධන නිධානත් ඔබේ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබට අයිති නැති, ඔබගේ වසඟයේ පවත්වාගැනීමට නොහැකි දෙයක්‌ ඔබට දුක පිණිසම හේතුවන දෙයක්‌ අවිද්‍යාව නිසා ඔබේ කරගෙන, සැපයක්‌ කරගෙන දුක්‌ විඳින්න ඔබට සිදුවේවි. මහා සාගරයට කැමති වන හැම මොහොතකම ඔබ අසුර ලෝකයට යැමට මඟ එළිපෙහෙළි කරගන්නවා වීම නොවැලැක්‌විය හැකි කරුණකි. මහා සාගරයට ඇති කැමැත්තෙන්, තෘෂ්ණාවෙන් මිදී අසුර ලෝකයට යන මාර්ගය ඔබ වසා දමන්න. ලැබූ මනුශ්‍ය ජීවිතය සතර අපායෙන් මුදාගෙන ඔබත් ලොව්තුරු සුවය අත්විඳින්න.

මහා සාගරයේ ඇති බියකරු බව බියකරු බවක්‌ම ලෙසින් දකින්න. මහා සාගරයේ ඇති පාළුව, සෙවණක්‌ නොමැති හිරු රශ්මිය, ලවන ස්‌වභාවය, පිළිකුලක්‌ සේම දකින්න. ඒවා ඔබේ කරනොගන්න. මහා සාගරය සත්වයාට අකුසලයේ අස්‌වැන්න පමණක්‌ම උරුමකොට දෙන ඒ අකුසල් හේතුවෙන් අසුර ලෝකයේ දුකම උරුම කරදෙන zමාර සාගරයක්‌Z බවට දකින්න ඔබ දක්‍ෂවෙන්න. මහා සාගරයට ඇති කැමැත්තෙන් මිදී අසුර ලෝකයෙන් මිදෙන්න.

Sunday, October 16, 2011

"Rahatunge Maga" - The way of Arhath 21

බ්‍රොයිලර් ජීවිතය II
සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි!


බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද, සෙසු තිරිසන් සතුන්ට මෙන් ඇවිදීමේ නිදහසක්‌ නැතිව, කුඩා පෙට්‌ටියක, කුඩා කූඩුවක ජීවිතය ගෙවනවා මැරම් කන තුරුම....

මෙන්න මේ දෙවැනි ස්‌වභාවය ගැන ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. බෞද්ධ ජනතාව සත්ව ඝාතනය කරනවා හුඟාක්‌ අඩුයි. නමුත් මෙහි දෙවැනිව සඳහන් කළ අනුන්ගේ නිදහස සීමාකිරීමේ අකුසලය නම් බෞද්ධ ජනතාව අතින් බොහෝවිට සිද්ධ වෙනවා. බොහොම ධනවත්, ගොඩක්‌ පින්දහම් කරන අයගෙනුත්, සාමාන්‍ය අයගෙනුත් ව්‍යාපාර, වැවිලි, කර්මාන්තශාලා හිමියන් අතිනුත් මේ අකුසලය සිදුවීමට හුඟාක්‌ ඉඩකඩ තිබෙනවා. එච්චර අවශ්‍ය නැහැ, තම ගෙදර සේවය කරන මෙහෙකාර දරුවා නිසා ඔබට මේ අකුසලය සිදුවෙන්න පුළුවන්. නිදහස සීමා කිරීම, වැටුප් අඩුවෙන් දීම, සීමාවකින් තොරව වැඩ ගැනීම මොනම ආකාරයට හෝ සූරාකෑම බොහොම භයානක දෙයක්‌. ලෝකය දියුණුවෙන තරමටම මෙම අකුසලය දෝරේගලා යමින් මිනිසා අතින් සිදුවෙනවා. මේ අකුසලය නිසා එහි විපාකයක්‌ හැටියට සත්වයාගේ නිදහස සීමා වෙනවා. කූඩු ජීවිතයකට සත්වයා යොමුවෙනවා. ගමේ, නගරයේ අඩියෙන් අඩිය ගෙවල් තැනීම නිසා මිනිසාගේ නිදහස සීමාවෙලා. එදා මනුෂ්‍යයාට තිබුණ ඇවිදීමේ, සෙල්ලම් කිරීමේ නිදහස අද ගෙදරදොරේ නැහැ. පෙට්‌ටියේ කුකුළා වගේ අපිත් කොටුවෙලා, කූඩුවෙලා. ලොකු ගෙදරක්‌ හදාගන්නවා. ලොකු තාප්පයක්‌, ලොකු ගේට්‌ටුවක්‌ දමාගන්නවා. ගේ ඇතුළේ මැද මිදුලක්‌ හදා ගන්නවා. ඕක තමයි වර්තමානයේ මිදුල, එළිමහන. අපේ මියගිය ආච්චිලා, සීයලා, ඔය වර්තමානයේ නිවසේ මැද මිදුල දැක්‌කොත් සිනාසේවි. මොකද ඒ සා විශාල ගෙමිදුල් ඒ කාලවල ගෙදරකට තිබුණා. වර්තමාන ලෝකය සකස්‌වෙන්නෙ සත්වයාගේ කර්ම විපාක ගෙවීමට සුදුසු ස්‌වභාවයෙන්මයි.

වර්තමානයේ බොහොම ගරු ගාම්භීර, නම්බුකාර නිවාස සංකල්පය තමයි තට්‌ටු විසිපහේ තිහේ තට්‌ටු නිවාස ක්‍රමය. මේ දැවැන්ත නිවාස සංකීර්ණ අහස උසට විරාජමානව වැජඹෙන්නේ හරිම සාඩම්භරයෙන්. එහෙත් අප මේ දකින්නේ අවිදාවේ බියකරු සතුරාවමයි. මේ සතුරා අහස උසට නැගී සිට ලෝකයාට කියන්නේ, 'ඔබත් මෙතැනට, මේ උසට එන්න' කියා. ඔබත් ඔබේ තනි තට්‌ටුව තට්‌ටු දෙකට උස්‌කරගන්න කියලා. අවිද්‍යාවේ ගඩොලින්, ඔබේ ලෝකය විශාල කරගන්න, උස්‌කරගන්න කියා. අවිද්‍යාවේ මාරයා ඔබට දෙන පණිවුඩයට ලෝකයාගේ ප්‍රතිචාරය පැහැදිලියි. දැන් හැමෝගේම ආශාව, තරගය කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිකර ඒවා මගේ කරගැනීමයි.

මේ අතිදැවැන්ත නිවාස සංකීර්ණවල ජීවත්වන පිංවත් මහත්වරු අධිසුඛෝපභෝගී ජීවිත ගතකරන, බොහොම ධනවත් අයයි. පෙර සංසාරයේ කරපු මහා කුසල් විපාකයක්‌ නිසාමයි මෙවැනි විශාල නිවාස වල සුඛෝපභෝගී ජීවිත ලැබෙන්නේ. ඒ ගැන තර්කයක්‌ නැහැ. නමුත් මේ කුසල් විපාකය යටින් සියුම් අකුසල් විපාකයක්‌ ක්‍රියාත්මක වෙනවා. අර පෙට්‌ටිය තුළ වැඩෙන බ්‍රොයිලර් කුකුළාටත් ඇති තරම් කෑම, ජලය, බෙහෙත් ලැබෙනවා. නමුත් ඒ සතාගේ නිදහස සිමාවෙලා. දැන් ඔබ දෙස ඔබ අවංකව බලන්න. ඔබට තේරෙන්නේ නැතිද ඔබ මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකළත් ඔබේ නිදහස සීමාවෙලා කියලා. ඔබේ ආච්චිලා, සීයලා ගතකළ නිදහස්‌ ලෝකයට අනුව ඔබේ ජීවිත සිමාවෙලා නේද තිබෙන්නේ? නිදහස්‌ ලෝකය හමුවේ ඔබ පෙට්‌ටියක්‌ තුළ ජීවත්වන සතෙක්‌ වගේ නේද?

ඔබ උඩුමහල් තලයේ සිට ජනේලය හැර පරිසරය දෙස බලනකොට මට පෙනෙන්නේ කුකුළා පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හිස එළියට දමා ලෝකය දෙස බලනවා වගෙයි. ඔබට නිදහස්‌ ලෝකය ස්‌පර්ශ කරන්න නම්, නිදහසේ හුස්‌ම ගන්න නම් ඔබ සතිඅන්තයේ නුවරඑළියට, ගමකට, අඩුම වශයෙන් විවේකීව ක්‍රීඩාංගණයකටවත් යා යුතුයි. නැවතත් කියමි, ඔබතුමන්ලා සැබෑම සසර පින්කළ පිරිසක්‌මය. ඒ පින නිසාමය ඔබට සශ්‍රීක භාවය. එහෙත් පෙර ආත්මවල ඔබ, තමන් යටතේ සිටි සේවකයන්ගේ නිදහස සීමාකර තබා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට යැම නිසා මෙම අකුසලය ඔබ සිදුකොට ඇත. එමනිසා මේ ජීවිතයේදී ඔබ යටතේ, ඔබගෙන් යෑපෙන පිරිස්‌ වලට සාධාරණව සලකන්න. ඔබ හම්බකරන මිල මුදල් වලින් නොමසුරුව දාන, මාන, පිංකම් කරනවා වගේම නොපෙනෙන පැත්ත ගැනත් අවධානය ඇතිකරගන්න. එසේ නොවුණහොත් ඔබ කරනා පිංකම් නිසා මතු සසර කෝටිගණන් වටිනා නිවාස භාග්‍යය ලැබුණද, එය අර රාක්‌ක පෙට්‌ටියේ බ්‍රොයිලර් කුකුළාගේ ජීවිතය වගේ සීමාවෙලානම් එය අවාසනාවකි.

මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි. ලෝකය කවදත් ගියේ මුළාව දෙසටය. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරැදි කළ නොහැක. නිවැරැදිකිරීමට ස්‌ථිරවූ , නිත්‍යවූ දෙයක්‌ ලෝකය තුළ නොමැත, ස්‌ථිර නොවන දෙයක්‌ යමෙක්‌ කෙසේ වෙනස්‌ කරන්නද, එය ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙමින් පවතී. ඝනභාවයත්, දියර ස්‌වභාවයත්, උණුසුම් ස්‌වභාවයත්, වායු ස්‌වභාවයත් පදමට මුසුව හතරෙන් එකකට සිඳුවා නිර්මාණය වූ ලෝකයක්‌, රූපයක්‌ ලෝකය ලෙස අල්වාදීම අවිද්‍යාවේ ස්‌වභාවයයි.

මිනිසා මේ හති දමාගෙන, බුල්ඩෝසර් දමාගෙන චිකන් ගුන්යා, සත්ව කුර රෝගය යෑයි කියමින් සතුන් ලක්‍ෂ ගණනින් මරා දමන්නේද මස්‌, බිත්තර, කිරි, චොකලට්‌, විනාශ කරන්නේද රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වීම මිනිසාට වෙනස්‌කළ නොහැකි නිසාය. එය ස්‌වභාවයෙන් පීඩා විඳිය යුතුය. ඔය සතුන් ලක්‍ෂ ගණනින් විනාශකරන මිනිසුන් අතින් සිදුවන අකුසල කර්මයන් ඊළඟ ජීවිතයේදී ගෙවීමට පරිසර ලෝකය තුළ නිර්මාණය විය යුතුය. මරණ බියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මියයන සතුන්ද, එම අකුසල් නිසා නැවත කර්ම ගෙවීමට අවශ්‍ය ලෙස ලෝකය නිර්මාණය විය යුතුය. නිර්මාපකයා අවිද්‍යාවයි. අවිද්‍යාව ඌරාගේ මස්‌ ඌරාගේ පිටේ තබා කපනවා සේය. හේතුඵල ධර්මයන්ට අනුව මැරෙන්නටද, මරන්නටද ඔහුගේ කර්ම විපාකයන් විඳීමට අවශ්‍ය මාරාන්තික රෝග, මාරාන්තික යුද්ධ නිර්මාණය කරයි. මේ මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග නිර්මාණය කරන්නේද අවිද්‍යාසහගත සිත විසින්මය. මාරාන්තික යුද්ධ, මාරාන්තික රෝග යනු අහම්බයන් නොවේ. දේව කෝපයන් නොවේ. හේතුඵල ධර්මයන්ය. මේවා ලෝකය අවිද්‍යාවෙන් දියුණුවන්න දියුණුවන්න, සත්වයා රැස්‌කරන්නාවූ අකුසල් විපාකදීමට සකස්‌වන්නා වූ ලෝකධර්මතාවයන්ය. එහිදී යුද්ධයක්‌ යනු, මාරාන්තික රෝග යනු අතීතයේ ඔබ කළ කර්මවිපාකයන්ගේ කැඩපතක්‌මය. ඔබ ඒ කැඩපත දෙස අවිද්‍යාවෙන් තොරව බැලුවොත් ඔබ දකින්නේ පෙර ආත්මභවවල ඔබ කළ අකුසල්වල ස්‌වභාවයන්ය. දැන් ඔබට වැටහෙනවාද ලෝකය මේ වන විට ගමන් කරන්නේ මොන දිශාවටද කියලා. ඔබ විසින් ඇතිකළ හේතූන්ට විපාකයන් සකස්‌වීමට සුදුසු ස්‌වභාවය දෙසට, පරිසරයක්‌ දෙසට.

සෑම සත්වයෙක්‌ තුළින්ම රැස්‌වෙන්නේ තනණහාධික චිත්ත පරම්පරාවක්‌ නම් තරගකාරීත්වය, අයිතිකරගැනීම නමැති අවිද්‍යාවේ ශබ්දකෝෂය නම් එබද මේ නොදැනුවත්වම ඇදී යන්නේ බ්‍රොයිලර් කුකුළකුගේ තත්ත්වයට පත්කරන දිශාවටමය. ඒ තරමටම මිනිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට වේගයෙන් ලක්‌වෙනවාය, ගොදුරුවෙනවාය. තාප්ප, ගේට්‌ටු දැමූ කූඩුවලට කොටුවෙනවාය. රෝග බිය, මරණ බිය, ජල බිය, යුද බිය වැඩිවෙනවාය. උපතත් මරණයත් අතර කාලපරතරය කෙටිවෙනවාය. නැවත ඉපදීම, මරණය වේගවත් වනවාය. මේ වේගය කියන්නේ දුකයි. හේතුව ඔබ අවිද්‍යාවෙන් තෙත්කළ සිත ඔබව අකුසලයේ යෙදවීමයි. ඵලය ඉපැදීම, මරණය වේගවත්වී දුක පසුපස තරගකාරීව හඹායැඹයි. මේ ස්‌වභාවය ඔබම නිර්මාණය කරගත් දෙයක්‌.

මේ ස්‌වභාවයන් ගැන හිතලා ඔබ බිය ඇතිකරගන්න. ඇයි මෙහෙම වෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ තිබෙන්නේ විඳවන්නටද, අවබෝධ කරන්නටද?

මේ බුද්ධෝපත්ති කාලයක, ඔබ මේ උතුම් මනුෂ්‍යත්වයක්‌ ලැබ උපත ලැබුවේ නැවත සතර අපායේ වැටෙන්නද? ඔබේ අම්මට, තාත්තාට, ඔබේ බිරිඳට, දරුවාට ඔබව බේරන්න බැහැ මේ මහා දුකෙන්.

ඒ නිසා ඔබ දක්‍ෂවෙන්න. සියල්ලම, සියල්ලන්වම පෝෂණය කරන ගමන් ඔබ කරන ව්‍යාපාරය, විවාහ ජීවිතය, දෙමාපියන් පෝෂණය කරන ගමන් එම බැඳීම්වලට බාධාවක්‌ නොවන ලෙස මේ දුකෙන් ගැලවෙන්න. ඔබ පැවිදිවෙන්නම අවශ්‍ය නැහැ. ඔබ කය මහණ නොකරාට කමක්‌ නැහැ. සිත මහණ කරගන්න. පැවිදි කරගන්න. එසේ නොවුණහොත් ඔබත්, ඔබගේ යෑයි අල්ලාගත් සියල්ලෝමත් සතර අපායට, දුකට වැටේවී. බ්‍රොයිලර් කෙනෙක්‌ වේවි. මහා ගමනක්‌, මහා දුකක්‌, මහා විනාශයක්‌ වළක්‌වාගැනීමට ඔබ කළ යුත්තේ විසිරුණු, සලිත වුණු ඔබ සිතේ ස්‌වභාවය බොහෝම නිවිසැනසිල්ලේ අවබෝධකරගැනීමයි. කලබලවෙන්න, ඉක්‌මන්වෙන්න, යමක්‌ අල්ලාගන්න උත්සාහගන්න එපා. අල්ලාගත් දේවල් අනිත්‍ය දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිඳ සමඟ නිදන සයනයේ සිටියදීත් ජීවිතය විඳින්න. එහෙත් ඒ විඳීම අනිත්‍යබව දකින්න. නැවත නැවතත්, නැවත නැවතත්, නැවත නැවතත් එකම දේ සිදුවෙන්නේ ඊයේ දවසේ සිදුවූදෙය අනිත්‍ය නිසා බවද දකින්න. මෙම සටහන තැබුවේ පැවිදි උතුමන් සඳහා නොව ගිහි පිංවතුන් සඳහාය. ඒ නිසා ඔබ ගිහි ජීවිතයේ බැඳීම් සමඟ ජීවත්වෙමින්, දුවා දරුවන්, ව්‍යාපාර, රැකී රක්‍ෂා නඩත්තු කරමින් නිරතුරුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ශීලය ආරක්‍ෂා කිරීමත්, ඒ කියන්නේ තමා අතින් නොදැනුවත්ව හෝ සිල්පදයක්‌ කැඩුණහොත් ඒ වහාම එම වැරැද්ද නිවැරදි කරගැනීම. ඒ ආකාරයෙන් අවංකව ශීලයක්‌ ආරක්‍ෂා කිරීමත්, ඔබ ඇසුරුකරන, ඔබට අයිති සෑම දෙයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, මගේ ආච්චි, සීයා, අම්මා, තාත්තා රැස්‌කරපු, හම්බකරපු හැම දෙයක්‌ම තියලයි මැරුණේ. කිසිවක්‌ අරගෙන ගියේ නැහැ. ඒ වගේම් මේ කිසිවක්‌ මට අයිති නැහැ. මම මේ සියල්ල දාලමයි මියයන්නේ. මේ වගේ ජීවිතයේ අනිත්‍යය දකින්න. අතීතයේ මියගිය ඔබේ පරම්පරාවේ වැඩිහිටියන් සමඟ ඔබේ ජීවිතය සංසන්දනය කරන්න. මෙම සටහනේ තිබෙන බ්‍රොයිලර් කුකුළා, ඌරා, එළුවා, හරකා ගැන නිතර මෙනෙහි කරන්න. ඔබ එවැනි සතෙක්‌ වුවොත් ඔබ විඳින දුක මෙනෙහි කරන්න. අතීත සංසාරයේ ඔබ එවැනි සතුන්වී හිස්‌ ගැසුම්කෑ ස්‌වභාවය, වේදනාව, මරණබිය මනසින් දකින්න. මේ විදිහට මාස 3 ක්‌ ඔබ ඔබේ සිත පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය සංකීර්ණබවෙන් මිදේවි. ඔබට දැනේවි ජීවිතයේ අවබෝධ කරගැනීම පිණිස ගොඩක්‌ දේවල් නොමැතිබව. ජීවිතය මහා ගොඩක්‌ ලෙස දැනුණද ඔබට අවබෝධ කරගැනීමට ඇත්තේ එකක්‌ පමණක්‌ බව ඔබට දැනේවි. සිත වේවා, කය වේවා ඒ අනිත්‍යය පමණක්‌මයි. මේ අවබොධය, ලෝකයේ අවබෝධය ලැබීමට ඇති දුෂ්කරම ස්‌වභාවය වුවද, ඔබ තුළ හේතු සහිතව ලෝකය දුකය යන දැක්‌ම ඇතිකරගතහොත්, ඔබට මේ දුක අවබෝධ කරගැනීම දුෂ්කර කාර්යයක්‌ නොවනු ඇත. ඔබත් මේ මනුෂ්‍ය ජීවිතයේදී ඔය ආකාරයෙන් ගිහි ජීවිත ගතකරමින්, කම් සැප අත්විඳිමින්, සතර අපායෙන් මිදී නැවත බ්‍රොයිලර් කුකුළෙක්‌, මසට මරණ සතෙක්‌ වීමේ වේදනාත්මක අනතුරෙන් ගැලවෙන්න. සතර අපායෙන් මිදෙන්න.

ඉහත සටහන භික්‍ෂුව හේතුඵල අනුව දකිමින් සටහන් කළා පමණි. එබැවින් වඩාත් වටින්නේ දොස්‌ පරොස්‌ සෙවීම නොව, එවැනි ස්‌වභාවයක්‌ ලෝකයේ තිබේය යන්න හඳුනාගනිමින් අවබෝධය ලැබීමය. මන්ද මෙහි සඳහන් පෙට්‌ටියේ ජීවත්වන, බ්‍රොයිලර් සතෙක්‌ අතිවිඳින නිදහසේ ස්‌වභාවයත්, වර්තමාන සුඛෝපභෝගී නිවාස සංකල්පයන් නිසා මිනිසා අත්විඳින නිදහසේ ස්‌වභාවයත් එකට සංසන්දනය කිරීම කෙනකුට ප්‍රශ්නයක්‌ වීමට පුළුවන. ඔබ කෙලෙස්‌වලින් ගොරෝසු වූ සිතකින් නොව, නිකෙලෙස්‌, කෙලෙස්‌ වලින් තුනීවූ සිතකින්, සියුම්ව මේ කරුණ දකින්න උත්සාහ ගන්න. පෙර මහා කුසල් සිදුකරගත්තත්, තමන් තුළින් සිදුවූ සියුම් අකුසල් විපාකයක්‌මයි මෙයට හේතුව විය යුතුව තිබෙන්නේ.

සමහර පිංවත් පිරිස ලක්‍ෂ ගණන් වියදම් කරමින්, මහා දාන පිංකම්, ශීල පිංකම් කරනවා. නමුත් ඒ අය තම සේවකයන්ට, අඩුවැටුප්, නිදහස සීමාකිරීම් කරනවා. මේ හේතුවෙන් ඒ අය පිංකම් කිරීමේ ආනිසංශය නිසා සශ්‍රීක ජීවිතත්, අනුන්ගේ නිදහස සීමාකිරීම් පාපයට තමාටද මතු සසර, සීමාවන් තුළට කොටුවූ ජීවිත ගෙවන්න සිදුවීම මෙහි කර්ම විපාකයක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව මෙහි කරන සටහන සියයට සියයක්‌ නිවැරැදි නොවන්නට පුළුවන්. එහෙත් ඔබ එය සියයට සියයක්‌ම වැරැදි යෑයි වටහාගතහොත් එය ඔබේ අවාසනාවක්‌ වනු ඇත.

හැකිතරම් දානමාන පිංකම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්‌වාමියකු ලෙස ඔබ නිරතුරුවම අවංක වෙන්න. ඔබ ලබන සතුටින් යම් ප්‍රමාණයක්‌ හෝ ඔබේ සේවකයාද ලබනවා දකින ඔබ අවංකව කැමැති වෙන්න. ඔබේ දක්‍ෂභාවයෙන් ඔබගේ සේවකයාවද ඔබ යහපතේ යොදවන්න. වෛරය, ක්‍රෝධය, සූරාකෑම වැනි ස්‌වභාවයන්ගෙන් තුනීවූ සිත කුසල් වැඩීමට සශ්‍රීක පොළොවක්‌ බව නිතරම සිතන්න. වැඩෙන කුසල් නිරතුරුවම නිවීම උදෙසා උත්තම පාරමීධර්මයක්‌ වේවායි දකිමින් නිවීමේ මඟම ශක්‌තිමත් කිරීමට උත්සහවත් වෙන්න. ව්‍යාපාරික ඔබේ ශබ්දකෝෂයේ ලාභය යන වචනය වෙනුවට බෙදාදීම, නිවීම යන වචන ඔබ භාවිතයට ගන්න. එය ඔබ සංසාරයක්‌ පුරාවට නොලැබූ වර්තමාන ජීවිතයේ ලැබූ ලොකුම ලාභය වනු ඇත. එම ලාභය ඔබට නැවත ජාති, ජරා, මරණ, ව්‍යාධිවලින් ඔබට කළ අලාභය අවසන් කරනු ඇත.

"Rahatunge Maga" - The way of Arhath 20

'අතහැරිම' 3 කොටස - බ්‍රොයිලර් ජීවිතය

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්‌ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්‌වභාවය තීරණය වෙයි. දේශපාලනඥයකු මනින මිනුම්දණ්‌ඩ ඔහු ලබාගන්නා මනාප ජන්ද සංඛ්‍යාවයි. වෛද්‍යවරයා මනින මිනුම් දණ්‌ඩ ඔහු වෙත ගලාඑන රෝගීන් සංඛ්‍යාවයි. පාතාල නායකයා මනින මිනුම් දණ්‌ඩ ඔහු සතු පිරිවර, ආයුධ ප්‍රමාණය සහ ඔහු කරන විනාශයේ ප්‍රමාණයයි. බුද්ධිමතා මනින මිනුම් දණ්‌ඩ ඔහු ලබාගත් උපාධි සහතික ප්‍රමාණයයි. තමා කැමැතිදෙය දැඩි තෘෂ්ණාවකින් අල්ලාගෙන අල්ලාගත් ක්‍ෂේත්‍රය තුළ ශක්‌තිමත්භාවයෙන් සියල්ල උපාදානය කරගන්නා පුද්ගලයා යනු දියුණු පුද්ගලයාය. මේ දියුණුව කියන තැනට පැමිණීමට තමයි හැමෝගේම උත්සාහය. වැඩි වැඩියෙන් අයිති කරගන්න. වැඩි වැඩියෙන් අයිති කරගැනීමට යන ගමනේදී හැමෝටම එකම ස්‌ථානයකට එන්න බැහැ. පුද්ගල ශක්‌තිමත්භාවය මත, පෙර සංසාරික කුසල් අකුසල් මත අයිති කරගැනීමේ විවිධත්වයන් පවතිනවා. සමාජය තුළ තිබෙන තරගකාරීත්වය වශයෙන් අප දකින්නේ තමා අයිතිකරගත් දෙය තව වැඩි කරගැනීමට දරන ප්‍රයත්නයයි. අයිති නොකරගත් දෙය අයිති කරගැනීමට යැමයි. මේ තරගය සඳහා ඔබ අවතීර්ණ වූ විට ඔබට ගොඩාක්‌ අකුසල් සිද්ධ වෙනවා. සමහරවිට ඔබ කර්මාන්තශාලාවක්‌, ව්‍යාපාරයක්‌, ගොවිපළක්‌ කරන පිංවතෙක්‌ වෙන්න පුළුවන්. ඔබ වැඩි ලාභයක්‌ ලබන්න අවශ්‍ය නම්, තව කෙනෙක්‌ව ඔබ සීමා කරන්න ඕනේ. ඔබ තව කෙනකුගේ දෙයක්‌ ලැබීමක්‌ සීමාකිරීමෙනුයි, කප්පාදු කිරීමෙනුයි ඔබට වැඩි දෙයක්‌ ලබාගත හැක්‌කේ. ඒ තුළිනුයි ඔබට අවිද්‍යාවේ මිනුම් දඬු වලින් දියුණුයි කියන ජය කණුවට එන්න පුළුවන්. භික්‍ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ ඔබේ දියුණුව සඳහා අනික්‌ පුද්ගලයාගේ අයිතිය සීමාකිරීමට යාම තුළ ඔබ අයිතිකරගන්නා අකුසල්වල ප්‍රමාණය ගැන ඔබගේ අවධානය යොමුකිරීමය. එසේ නොමැතිව ඔබට ආර්ථික විද්‍යාව ගැන කියාදීමට නොවේ. භික්‍ෂුව දන්නා එකම ආර්ථික විද්‍යාව අඩුකිරීමය. අඩුකිරීම තුළින් නැති කිරීමය.

එකතු කිරීම තුළින් රැස්‌කිරීමත්, රැස්‌කිරීම තුළින් විනාශයත් ධර්මයේ අර්ථය නොවේ. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙන අර්ථයක්‌ ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුක? තම වසඟයේ පවත්වාගතහැකි කිසිවක්‌ ලෝකය තුළ නොමැති නිසා.

අවිද්‍යාව විසින් ඔබට පෙන්වන ලෝකයේ දියුණුව යන මිනුම් දඬු අත්කරගැනීම සඳහා ඔබ යන ගමනේදී සේවකයාගේ, පාක්‍ෂිකයාගේ නිදහස, වැටුප, අයිතීන් සීමා කිරීමට යැම නිසා ඔබ නොදැනුවත්වම අයිsති කරගන්නා අකුසල් ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න ප්‍රමාණාත්මකව ඉහළ යයි. ඒවායේ කර්ම විපාකයන් ගෙවීමේ අවසAථාවද එයට සාපේක්‍ෂව ඉහළ යයි. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතකු, පක්‍ෂියකු, මාළුවකු මුළු රැය පුරා සුවසේ නිදාගැනීමක්‌ නැත. ඔබ නිවසේ රාත්‍රියට සුවසේ නිදාගෙන අලුයම අවදි වේ. මෙවැනි නින්දක්‌ ලබාගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නොමැත. එම සතුන් ගසක කොළයක්‌, අත්තක්‌ වැටුණද වෙනත් සතකුගේ ශබ්දයක්‌ ඇසුණද තිගැස්‌සී බියෙන් ඇහැරේ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්‌කේ කර්ම විපාකයක්‌ නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සිSමාකිරීමයි. අනුන්ව බියගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩපවත්වා තැබීමයි. කොටින්ම නිදහස පැහැරගැනීමයි. එහි විපාකයන් ලෙස මිනිස්‌ ජීවිතයෙන් චුතව තිරිසන් ආත්මයේ ඉපිද එම කර්ම විපාකයන් ගෙවයි. ලෝකයේ ජීවත්වන සත්වයා අකුසල් දෙසටමය. තමාට රැස්‌කරගැනීම සඳහා අනුන්ගෙන් උදුරාගැනීමටය. මේ උදුරාගැනීම කරන්නේ බොහෝම නම්බුකාර ක්‍රමයටය. ලාභය, ගුණාත්මකභාවය, අතිකාල, ආයතනයේ දියුණුව වැනි ලස්‌සන වදන්, ලේබල මෙයට අලවා ඇත. සමාජයේ වෙළෙඳපොළේ පැවැත්ම උදෙසා ඉහත දේවල් අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තර්කයක්‌ නොමැත. මේවා නැති කළ නොහැකි ලෝක ස්‌වභාවයන්ය. එහෙත් මෙහි කථාකරන්නේ අවිචාරයෙන් මේවා අයිති කරගැනීම සම්බන්ධවය. මේවා අවිචාරවත්ව අයිති කරගැනීමට යැම නිසා මනුෂ්‍යයා අතින් රැස්‌වන අකුසල් ප්‍රමාණයත්, අකුසල් රැස්‌කිරීම වැඩිවන්න, වැඩිවන්න අකුසල් විපාකදීමේ ස්‌වභාවයද වැඩිවනවා. මේ සත්ව ප්‍රජාවගේ අකුසල් විපාකදීමේ ස්‌වභාවයේ තියුණුබව ඔබට ලෝකය දෙස බලා වටහාගන්න. අතීතයේ කුකුළෙක්‌ අවුරුද්දක්‌ ජීවත්වුණාට පස්‌සේ තමයි එම සතාව මසට මැරුවේ. එයා අවුරුද්දක්‌ ජීවිතය වින්දා. ඊට පස්‌සේ මේ කුකුළාගේ ජීවත්වීමේ අයිතිය ක්‍රමානුකූලව කුකුළාට අහිමිවුණා. මාසෙන් මාසය ජීවත්වීමේ අයිතිය බ්‍රොයිලර් කුකුළාට අයිතිවෙමින් දැන් බ්‍රොයිලර් කුකුළෙක්‌ව මාස දෙකකටත් අඩු කලකින් මසට මරණවා. මාස දෙකකටත් අඩු කාලයයි ජීවත්වීමට අයිතිය ලැබෙන්නේ. ඇයි මේ? සත්වයාගේ කර්මය විපාකදීමේ වේගය එන්න එන්න වැඩිවෙනවා.

අතීතයේ වසරකට එක වතාවක්‌ බෙල්ල කපාගෙන මැරුණු කුකුළෙක්‌ වර්තමානයේ වසරකට හය වතාවක්‌ බෙල්ල කපාගෙන මැරෙනවා. ඒ කියන්නේ කර්ම විපාක විඳිනවා. ලෝකය අවිද්‍යාවෙන් දියුණුවට යනකොට මේ බ්‍රොයිලර් කකුලා සති දෙකකින් මරා මසට ගන්න තාක්‍ෂණයක්‌ ඇතිවේවී. ලෝකය එය තාක්‍ෂණයේ, සත්ව නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ දියුණුවක්‌ ආශ්චර්යයක්‌ ලෙස දකීවී. මෙම තාක්‍ෂණය සොයාගත් විද්‍යාඥයන්ට උපාධි සහතික පිරිනමාවී. හැබැයි ඉතින් කකුළන්ගේ පැත්තෙන් කර්ම විපාක දීමේ වේගයයි පෙනෙන්නේ. කුකුළා වැඩි වාරගණනක්‌ මැරම් කන වාරයක්‌ පාසාම කුකුළාව මැරීමට හවුල්වන මිනිසාද රැස්‌කරන ප්‍රාණඝාත අකුසල් ප්‍රමාණය වේගවත් වෙනවා. ඔන්න දැන් ඔබ බලන්න මෙතන දියුණුභාවයට පත්වුනේ කුමක්‌ද? අවිද්‍යාවයි. සත්වයාගේ දුකයි. කුකුළා මරණ වාර ගණන වැඩි වෙනවා. මිනිසාගේ ප්‍රාණඝාත අකු=සල් ප්‍රමාණයත් වැඩිවෙනවා.

සත්ව ලෝකයේ බ්‍රොයිලර් කුකුලෙක්‌ වෙලා ඉපදෙන්නේත්, මසට හදන සතකු ලෙස ඉපදෙන්නේත් කර්ම විපාකයක්‌ නිසාමයි. අපි මොනතරම් අනුකම්පා කරලා මෛත්‍රිය නිසා කුකුල් මස්‌ නොකෑවත් බ්‍රොයිලර් කකුලාගේ අකුසල් විඳීමේ ස්‌වභාවය නවත්වන්න අපට බැහැ. මස්‌ කඩේ මස්‌ සඳහා කූඩුකරලා තිබෙන බ්‍රොයිලර් කුකුලෙක්‌ 'අනේ මේ සතා මරන්න දෙන්න හොඳ නෑ' කියලා සත්ව කරුණාව ඇතිකරගෙන මුදල් ගෙවා එම සතා ගෙදර ගෙනවිත් හැදුවොත් සතා ටික දවසක්‌ ජීවත්වෙලා මැරිලා යනවා. මැරිලා ගිහින් නැවතත් බිත්තරයක්‌ තුළම උපත ලබාවී, බ්‍රොයිලර් කෙනෙක්‌ වෙලාම. ඔබ ඒ සතාව මරණයෙන් බේරුවා කියලා ඒ සතාගේ කර්ම විපාකයෙන් බේරාගන්න බැහැ. සතර අපායේම ඉපදෙමින්, ජීවත්වීමේ කාලය සීමාකරගනිමින්, මැරුම්කමින් විපාකයන් ගෙවනවා.

ඔබ හිතන්න ඔය කුකුළු ගොවිපළවල, කුකුල්මස්‌ තොගයට මරණ කඩවල, බ්‍රොයිලර් සතුන් මරන මිනිස්‌සු ඉන්නවා. මේ එක මනුස්‌සයෙක්‌ දවසකට සතුන් 500 ක්‌ විතර බෙල්ල කපා මරාදමනවා. මෙහෙම බලනකොට ඒ මනුස්‌සයා ජීවිතකාලය තුළ මොනතරම් නම් සතුන් මරන්න ඇතිද? සමහර අන්‍ය ආගම් වල මිනිසුන් සිටිනවා, ඒ අය දිනපතා ආහාර සඳහා කුකුල්ලු මරණවා. අනුන් මරන මස ඒ අය පාවිච්චිකරන්නේ නැහැ. මේ විදිහට බලනකොට දිනකට බ්‍රොයිලර් 25,000ක්‌ මරණවා කියලා හිතමුකෝ. ඒ හැම සතෙක්‌ම මරන්නෙ මනුෂ්‍යයෙක්‌. එහෙම නම් මේ කර්ම විපාකය නිසා මේ මනුෂ්‍යයෙක්‌ මැරිලා ගිහින් දිව්‍යලෝකේ උපදිනවාද? නැහැ. බිත්තරයක්‌ ඇතුළේමයි උපදින්නේ. ඇයි? කුකුල් සංඥාව කැමති නිසා. කර්මය විපාක දීමට අවශ්‍ය නිසා. ගෙවන්නට තිබෙන අකුසල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, විපාක දීමේ අවස්‌ථාවත් වැඩිකරනවා. මේ විපාක දීමේ වැඩිභාවය තමයි වර්තමානයේ මේ සත්ව ලෝකයේ අඩු ආයුෂින් මස්‌ පිණිස සකස්‌වීමේ තාක්‍ෂණය ඉදිරියට යන්නේ. හැකි තරම් රසායනිකයන්, ආහාර, බෙහෙත් පොවලා ඉක්‌මනට ලොකුකරලා ඉක්‌මනට මරනවා. නැවත උපදින්න. අතීතයේ කරපු මහා අකුසල් කඳු ගෙවීමට අවස්‌ථාව උදාකරගන්න. ඔබ බ්‍රොයිලර් කුකුලෙක්‌ කියන්නේ අතීතයේ කුකුල් මරන්නෙක්‌මයි. ඔය පෘෂ්ඨිමත් එළුවෙක්‌, ඌරෙක්‌ හරක්‌ නාම්බෙක්‌ කියන්නේ පෙර ආත්මභාව වල හරක්‌ මරන්නෙක්‌මයි. ඔවුන් එම මිනිස්‌ ජීවිත වලදීa එළුවන්, ඌරන්, හරකුන් දහස්‌ ගණනින් මැරූ අය. ඔබ මරණයට කැපවූ සතෙක්‌ නිදහස්‌ කළා කියලා එම සතා මරණයෙන් මුදවන්න, එම අකුසල් කන්දෙන් මුදවන්න බෑ. ඔවුන් ඒවා ගෙවිය යුතුමයි. ඔබ කළ යුත්තේ සතුන් මරණයෙන් මුදවාගැනීමට යැම නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ විෂම ලෝක ස්‌වභාවය හඳුනාගෙන නැවත ඔබ කුකුලෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌, හරකෙක්‌ නොවන්නටය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක්‌ බවට පත්වීමට උත්සහකිරීමය.

දිනකට බ්‍රොයිලර් විසිපන්දහස්‌ ගණනින් මරපු මිනිසුන්මයි එය නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ මැරුම්කන්නමයි. නිදහසේ මියයන්න නොවේ. නිදහසේ ගේ මිදුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ, සුළඟේ පහස විඳින්න නොවේ. නිදහසේ තම වර්ගයා සමග සතුටුවෙන්න නොවේ. මේ සත්වයන් කළ කර්මයන් ඔය ගෙවන්නේ. අපේ මෛත්‍රියට කරුණාවට ඒ කර්මයෙන් ඒ අයව මුදවන්න. ආහාර තාක්‍ෂණයේ දියුණුවෙන් නිපදවන සෑම සොසේජස්‌ එකක්‌ පාසාම මීට්‌ බෝල් එකක්‌ පාසාම සකස්‌කළ, සකස්‌ නොකළ මස්‌ කැබැල්ලක්‌ පාසාම එම සතුන් මරාදරමූ මිනිසුන්ට නැවත කල්ප ගණන් තිරිසන් ලෝකයේ ඉපද සොසේජස්‌, මීට්‌බෝල්ස්‌ වෙන්න සිදුවෙනවා.

ඔය මසට ඇතිකරන සතුන් ගැන ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න. ඒ සතුන් මරුම්කන තුරුම සීමිත ඉඩ ප්‍රමාණයකයි ජීවත්වෙන්නේ. ඒ සතුන්ට ඇවිදීමේ ඉඩකට සීමාකරලයි තිබෙන්නේ. ශක්‌තිය කැලරි වැයවන නිසා මස්‌ බර අඩුවේය කියලා. දැන් අලුත්ම බ්‍රොයිලර් කුකුළන් ඇතිකීරීමේ තාක්‍ෂණය තමයි විශාල කූඩුවල රාක්‌ක පෙට්‌ටි තනා, එම කුඩා පෙට්‌ටියේ කුකුලා ඇති කිරීම. කුකුලාගේ ප්‍රමාණයට තැනූ එම පෙට්‌ටියේ එම සතාගේ හිස එළියට දැමීමට ප්‍රමාණවත් කවුළුවක්‌ තිබෙනවා. මසට ගන්නාතුරු ඒ කුකුළා ජීවත්වෙන්නේ එම පෙට්‌ටිය ඇතුළේ. පෙට්‌ටියේ ඇති කුඩා කවුළුව ඉදිරියේ ජලය සහ ආහාර පටියක්‌ තිබෙනවා. පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හොට එළියට දමලා, ජලය සහ ආහාර අරගෙන පෙට්‌ටිය සැපය කරගෙන එයා එහි ජීවත්වෙනවා. මේ ක්‍රමයෙන් මස්‌ බර වැඩිවෙනවලු. මෙම සතා කූඩුවේ සිටියත්, මෙම පෙට්‌ටියේ සිටියත් මාස එකහමාරෙන් මරා මස්‌ කරනවා. එහෙත් මේ ක්‍රමය යටතේ මේ සතාට එම කෙටි කාලය තුළ ඇවිදීමේ නිදහසත් නැතිවෙලයි මැරුම්කන්න වෙන්නේ. ලෝකයා මේවා හඳුන්වන්නේ තාක්‍ෂණයේ නව සොයාගැනීම් දියුණු වශයෙන්. මිනිසාට සත්තු මරන්න කියලා යොමුකරන්නෙත් අවිද්‍යාසහගත සිතමයි. එම අකුසල් නිසා මරණින් මතු තිරිසන් ලෝකයේ ඉපදුනහම එම තිරිසන් සතාව ඉක්‌මනටම ශරීර බර වැඩි කරලා මසට ගන්න ක්‍රමය කියලා දෙන්නෙත් අවිද්‍යා සහගත සිතමයි. ලෝකය දියුණුවෙනකොට සත්වයාගේ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. ආයුෂ අඩු වෙනවා. මියයැමේ වේගය, ඉපදීමේ වේගය වැඩිවෙනවා. තිරිසන් සත්වයකුගේ ඉපදීමේ වාර ගණන වැඩිවෙනවා කියන්නේ එම සතුන් හිස කපාගන්නා වාර ගණන වැඩි වෙනවාය කියන එකයි.

එක්‌තරා ඌරු ගොවිපලක මස්‌ පිණිස විශාල චීන ඌරන් ඇතිකරන්නේ අඩි හතරේ දිග පළල, භාග බිත්ති බැඳපු කුඩා කුටිවලයි. එම සතුන්ගේ ලෝකය තමයි අර කුඩා කුටිය. ඒ සතුන්ට ඇවිදින්න දෙන්නේ නැහැ. මස්‌ බර අඩුවෙනවාය කියලා. ආහාර ජලය ඖෂධ දෙනවා පමණයි. සමහර ඌරන් ශරීර බර වැඩි නිසා පැත්ත වැටිලයි ඉන්නේ. මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න කුකුළෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, හරකෙක්‌ දැක්‌කහම එම සතාගේ අයිතිකරු මොනතරම් සතුටක්‌ ලබනවද. මොකක්‌ද මේ ලබන සතුට, මතු ආත්ම දහස්‌ ගණනක තමාත් තිරිසන් සතකුව ඉපිද මේ දුක සහතික කරගැනීමේ අවිද්‍යාවේ සතුටයි. මෙ මෝඩ සල්ලිකාර මනුෂ්‍යයාගේ ඇස්‌ අවිද්‍යාවෙන් වහලයි තියෙන්නේ. එයා දකින්නේ වැඩි යමක්‌ අයිතිකරගැනීමේ අවිද්‍යාවේ සිහිනය පමණයි. ඒ සිහින සුන්දර තරමටම, එම සිහිනයෙන් බැංකු ගිණුමේ ඉලක්‌කම් ගණන වැඩිවන තරමටම, එහි විපාකයන් භයානයකය. අවිද්‍යාවෙන් දෑස්‌ අන්ධ වුණු මේ සල්ලිකාර මහත්තයා මොහොතක්‌වත් සිතන්නේ නැහැ මේ මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න තිsරිසන් සතා අතීතයේදී ඔහුටත් වඩා සල්ලිකාර මහත්තයෙක්‌ය කියලා.

Monday, October 3, 2011

"Rahatunge Maga" - The way of Arhath 19

ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න

වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක්‌ මැද, බැලුම් බෝලයක්‌ වැනි ආවරණයක්‌ මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක්‌ මගේ කොටගෙන එයට ඇලී, ඉන් මිදීමට අකමැතිව වාසය කරපු කෙනෙක්‌මයි. මෙවැනි ගර්භාෂ කෝටි කීයක්‌ අතීතයේදී අපි අපේ කරගෙන ඇතිද? අවාසනාව මෙය නොවේ. මෙතරම් ගර්භාෂවලට රිංගාගෙන මහා දුකක්‌, කැමැත්තෙන් වින්ද අපි වර්තමානයේදීද උත්සහ කරන්නේ ඔබේ ගර්භාෂයෙන් එවැනි දුක්‌ විඳින සත්වයෙක්‌ උපද්දවා ගැනීමටය. ඔය කැමැත්ත ඔබ තුළ තිබෙන තාක්‌කල් ගර්භාෂය මගේ කරගත් දරුවන් ද, දරුවන් මගේ කරගත් මවුවරුන්, පියවරුන්ද වීම මිස සසරින් මිදෙන්න නම් බැහැ.

ඔබේ මවුකුසින් දරුවකු ලෝකයට බිහිවුණ සැනින්, ඔබත් ඔබේ ස්‌වාමීපුරුෂයාත් මුළින්ම මොකද කරන්නේ. නමක්‌ හදනවා, වාසගම, මුලකුරු සමග උප්පැන්න සහතිකය සමගම... ඇයි මේ උප්පැන්න සහතිකය? බයයි මේ දරුවා අහිමි වේය කියලා. වෙන කෙනෙක්‌ අයිතිකරගනීය කියලා. ඒ නිසා රජයේ පොතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරනවා. ප්‍රශ්නයක්‌ වුණොත් උසාවියට ගිහින්හරි අයිතිකර ගන්නවා කියලා. නමුත් ඔබ සිතන්නේ නැහැ මේ දරුවා කොහේ සිටද ආවේ කියලා. සමහර විට ගිය ජීවිතයේදී මේ දරුවා අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්, යාචකයෙක්‌ වශයෙන් ජීවත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. කුල වශයෙන් සමාජයේ පීඩනයට පත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක්‌ වෙන්නත් පුළුවන්. ප්‍රේතයෙක්‌ වෙන්නත් පුළුවන්, යක්‍ෂයෙක්‌ වෙන්නත් පුළුවන්. දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක්‌ වෙන්නත් පුළුවන්. මෙසේ සිටි සත්වයෙක්‌ එතැනින් චුතව මව්කුසේ ප්‍රතිසන්ධිය ඇතිවූවා වෙන්න පුළුවන්. මේ දරුවා පෙර ආත්ම භවයේ ඔබේම අම්මා, තාත්තා, ඥාතියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒත් ඔබ දන්නේ නැහැ ඔබ මේ නළවන්නේ පෙර ආත්මයක ඔබේ අම්මා, තාත්තා, එහෙම නැතිනම් අන්‍ය ආගමක, අන්‍ය ජාතියක කෙනෙක්‌, ප්‍රේතයෙක්‌, දෙවියෙක්‌... කියන සම්මුතියෙන් හැඳින්වුණ සත්වයෙක්‌ය කියලා. මේ තමයි උපාදානයේ බලවත් බව. නිර්ලඡ්ජිත බව. උපාදානයේ සෙළුව, තන්හාවේ දුහුල් සළුවෙන් අපි වසාගන්නවා.

ඔබ මෙහෙම සිතන්න. ඔබ යුද කාලයේ ක්‍රියාන්විතයේ සේවය කරන හමුදා නිලධාරියෙක්‌ය කියලා. ඔබ රට, ජාතිය, ආගම, රැකියාව නාමයෙන් යුද්ධ කරනවා. ඔබේ අතින් මිනිසුන් මැරෙනවා. අපි හිතමු ඒ මිය යන මිනිසුන් ද්‍රවිඩ ජාතික නොමඟ ගිය අය කියලා. ඔබට ඒ අය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවෙනවා, වේදනාවක්‌ ඇතිවෙනවා. ඒ අයගේ දෙමාපියන් ඥාතියන් කෙරෙහි දුකක්‌ ඇතිවෙනවා. මෙවැනි සිත් පරම්පරාවක්‌ ඔබ තුළ ඇතිවෙමින් නැතිවෙන මොහොතක ඔබද යුද බිමේදී මියයනවා. මෙවැනි මියයැමකදී ඔබ නැවත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගැනීමට ඉඩකඩ ඕනෑතරම් තියෙනවා. ඒ ආකාරයකට ඔබ තුළ ඇති වූ උපාදානය නිසා, ඔබ ද්‍රවිඩ මවකගේ කුසේ ප්‍රතිසන්ධිය ලබනවා. දරුවකු ලෙස ලෝකයට බිහිවෙනවා. ඔබ දැන් අලුත් සම්මුතිය තුළ අභිශේක ලබන්නේ යාපනයේ ද්‍රවිඩ පවුලක ද්‍රවිඩ නමක්‌, වාසගමක්‌ සහිත ද්‍රවිඩ දරුවෙක්‌ ලෙසයි. එම දරුවා යාපනයේ ලොකු මහත්වී දසවැනි වියට පැමිණියහම ද්‍රවිඩ කණ්‌ඩායමේ ළමා සොල්දාදුවෙක්‌ වශයෙන් රාජ්‍ය හමුදාවට එරෙහිව සටන් වදිනවා. බලන්න මොනතරම් මුළාවක්‌ද? වසර 11ක කාලයක්‌ තුළ සිංහල හමුදා නිලධාරියෙක්‌ වශයෙනුත්, ද්‍රවිඩ සොල්දාදුවෙක්‌ ලෙසත් භූමිකා දෙකකට පණ දුන්නා. මේ භූමිකාව මෙතැනින් නවතින්නේ නැහැ. නැවත නැවත උපාදානයක්‌ නිසාම භවය කරා යනවා. ඔබ වර්තමාන ජීවිතයේදී මහත් අභිමානයෙන් යුතුව මම සිංහල බෞද්ධයෙක්‌ කියලා උදම් ඇනුවද ඔබ පෙර ආතමයේ අන්‍ය අගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්. මේ ජීවිතයෙන් පසු නැවත ඔබ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වන මවුකුසක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් අපි අල්ලාගත් දේ තුළ 'මම' ඉන්නවාය කියලා දකිනවා. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ කල්ප සියක්‌ කෝටි ගණනක ඈත පටන් අපි මැරෙමින් ඉපදෙමින් පැමිණීමේ ගමනේදී ඔබ මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, තිරිසන් සතෙකුටම, ප්‍රේතයෙකුටම, තිරිසනෙකුටම, බ්‍රහ්මයෙකුටම ලේ ඥාතියෙක්‌ වී සිටිය බව. සම්මුතිය තුළ වෙන් වශයෙන් හඳුනාගත්තත් සියලුදෙනාම ඔබේ ලේ ඥාතීන්මයි. නමුත් ලෝකය තවමත් වර්ගවාදීව යුද්ධ කරනවා. ඒ අය දන්නේ නැහැ යුද්ධය තිබෙන්නේ යුද බිමේ නොවේ කියලා. ඒත් ඒ අය හිතනවා යුද්ධය තිබෙන්නේ යුද බිමේය කියලා. නමුත් යුද්ධය තිබෙන්නේ, යුද්ධයේ මූල බීජයන් හටගන්නේ අවිද්‍යා සහගත මනුෂ්‍ය සිතේ. සිතේ තමයි යුද්ධය හටගන්නේ. කුමක්‌ නිසාද? තන්හාව නිසා හටගන්නා උපාදානය හේතුවෙන්. ඒක නිසා කවුරුහරි හිතනවානම් ලෝකයේ යුද්ධය නතර කළ හැකිය කියලා, එය මිත්‍යාවක්‌මයි. යුද්ධ නතර කරන්න බැහැ. ඉවරකරන්නත් බැහැ. හැබැයි තාවකාලිකව වැඩි බලයෙන් යටපත් කර තබන්න පුළුවන්. එයත් තාවකාලිකයි. යුද්ධය නතර කළ හැක්‌කේ මිනිසුන් මැරීමෙන්, දෘෂ්ටින් මැරීමෙන් නොවේ, මිනිසා තුළ අවිද්‍යාව මරාදැමීමෙන් පමණක්‌මයි. අවිද්‍යාව මියගිය තැන උපදින්නේ විද්‍යාවයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු යුද්ධ භූමිය පමණක්‌ නොවේ. යුද ආයුධ, යුද ආයුධ කර්මාන්ත ශාලා සේම යුද සේනාවද සුණුවිසුණුකොට දමා අවසන්ය. ඔහු මේ සියල්ල විනාශකොට දැමුවේ ආයුධ පාවිච්චි කර නොවේ. සතිය සිහිය නැමැති ආයුධය පමණක්‌ පාවිච්චි කිරීමෙනි. ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ තව තව මායිම් අල්ලාගැනීමෙන් නොව, අතහැරීමෙන්ය. දැන් ඔබට වැටහෙන්න ඕනේ ගෙදර යුද්ධයත්, ගමේ යුද්ධයත්, රටේ යුද්ධයත් හටගන්නේ කුමක්‌ හෝ උපාදානය කරගත් නිසාය කියලා. උපාදානය කරගත් දෙය අතහරින්න. එවිට යුද්ධය නවතිනවා. ඒත් ඔබ එයට කැමති නැහැ. මොකද ඔබ උපාදානය කරගත් දෙය මගේය, එය නිත්‍යය කියලා දකින නිසා. ඔබ උපාදානය කරගත් දෙය රට වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ආත්මගරුත්වය, රැකියාව, තමාගේ පැවැත්ම, නායකත්වය, මේ අනිත්‍යවූ ධර්මතාවයන් තමයි ඔබේ සකස්‌වීමට හේතූන් වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්හාව නිසාය උපාදානය සකස්‌ වෙන්නේ කියලා. මේ උපාදානය තමයි ඔබව ජාති, ජරා, ව්‍යාධි මරණ කරා රැගෙන යන්නේ. ඒ නිසා ඔබ ඔය දිවීම, ව්‍යායාම කිරීම, ශරීරය හැදීම මොහොතකට නතර කරලා, එහෙම නැතිනම් ඒවා කරන ගමන් විවේකීව සිතන්න මොකක්‌ද මේ කය..... මස්‌, නහර, ඇට, රුධිරය, අසූචි, මුත්‍රා, බොකු බඩවැල්, සෙම්, සොටු... මෙහි හදන්න දෙයක්‌ තිබෙනවාද? මේවායේ මොනවා හදන්නද? ජරාවක්‌මයි. පිළිකුලක්‌මයි තිබෙන්නේ. මෙය හදන්න නොවේ තිබෙන්නේ, අතහරින්නයි. ඔබ උදේට කටේ තිබෙන කුණුකෙළ මගේ නොවේ කියලා ඉවතට දමනවා. ඇසේ තිබෙන කබ, ශරීරයේ පිරුණු අසූචී, මුත්‍රා මගේ නොවේ කියලා ඉවතට දමනවා. ශරීරයේ පිරුණු වාතය මගේ නොවේය කියලා එලියට දමනවා. ශරීරයේ පිටවන දහදිය මගේ නොවේය කියලා පිසදමනවා. අන්න ඒ වගේ ඔබ තුළ තිබෙන්නාවූ, 'මා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාය. ඔහුව නිරෝගී කරන්න ඕනෑය. ඔහුගේ මස්‌පිඩු ක්‍රමවත් කරන්න ඕනෑය' කියන අවිද්‍යා සහගත සිත ඔබ ඔබේ නොවේය කියලා ඉවතට දමන්න. මා තුළ 'මම' සිටියි. මා තුළ ආත්මයක්‌ තිබේය යන දෘෂ්ටීන්ගෙන් මිදෙන්න. ඔබට ලැඡ්ජා නැතිද, හිරිකිතයක්‌ අපුලක්‌ නැතිද මළ කුණකට, මළ කඳකට අතීතයේ ප්‍රේතයෙකු, තිරිසනකු, තිරිසන් සතකුව ඔබ ඔබේ කරගන්න. 'මම' කියලා හඳුන්වාගන්න. ඔබට ලැඡ්ජයි නේද?

තාමත් ඔබට ලැඡ්ජාවක්‌ නොදැනෙන්නේ නම් ඔබ මේ සටහන නැවත නැවත කියවන්න. මේ ඔබ කියවන්නේ ඔබේ රූපයෙන් නිදහස්‌වීමේ මාර්ගයයි. නිවීමේ මාර්ගයයි. මේ ගැන සිතලා සතුටු නොවී, ඇති වූ සතුටත් අනිත්‍ය බවම දකින්න. ඇතිවූ, නැතිවගිය සිත අනිත්‍ය වශයෙන් දැක නිවීමේ මඟට අවතීර්ණ වන්න.

කයේ ස්‌වභාවය හොඳින් දකින්න. ඔබ දැකලා තිබෙනවාද ලස්‌සන කුකුලෙක්‌ව. නා නා වර්ණ පිහාටු වලින් කුකුලා අලංකාරයි. දකින්න ප්‍රිය උපදවන රූපයක්‌ එයාට තිබෙනවා. මේ ලස්‌සන කුකුලාව මස්‌ කඩයට ගෙනිහින් පිහාටු සේරම ගලවලා, සුද්ද කරලා, යකඩ කොක්‌කක, එහෙත් නැතිනම් වීදුරු ශීතකරණයක විකිණීම සඳහා තබා තිබෙනවා ඔබ දැකලා ඇති. උගේ දැන් තිබෙන්නේ සම පමණයි. ලස්‌සන පිහාටු නැහැ.

දැන් ඔබ ඔබේ කය දෙස බලන්න. ඔබ හුදෙකලාව මනසින් හෝ හැබැහින් ඔබේ කය නිරුවත් කරන්න. කැඩපතක්‌ ඉදිරියේ සිට දකිනවා සේ ඔබේ කය දෙස බලන්න. අර කුකුල් මස්‌ කඩේ එල්ලලා තිබෙන හමගහපු කුකුළාගේ කයත් ඔබේ කයත් අතර වෙනසක්‌ තිබෙනවාද? ඔබේ කයත් හමගහපු කුකුලෙක්‌ වගේමයි. ඔබ මමත්වයෙන් පිරුණු ඔබේ සිත ලැඡ්ජාවට පත්කරන්න. සිත අපහසුවට පත්කරන්න. මාන්නය බිඳ දමන්න. කුකුලාව ලස්‌සන කළේ උගේ ලස්‌සන පිහාටු වගේම ඔබවත් ලස්‌සන කරලා පෙන්වනනේ ඔබේ ඇඳුම් පැළදුම්, ආභරණ, සුවඳ විලවුන්. අර කුකුල් කය බාහිර දේ විසින් අලංකාර කරනවා. ඔබ යථාර්ථයෙන් ඈත් කරනවා. අවිද්‍යාවෙන් අන්ධ කරනවා මේ වෙළෙඳපොළ කියන්නේ අවිද්‍යාව විකුණන තැනට. වෙළෙඳපොළේ මුදලාලිලා අවිද්‍යාව පැකට්‌ කරලා, බෝතල් කරලා, පෙට්‌ටි කරලා, ලස්‌සන ලේබල් අලවලා, රූපවාහිනී දැන්වීම් දමලා, ලොකු බෝඩ් ප්‍රදර්ශනය කරලා, විදුලි බුබුලු දමලා අලෙවි කරනවා. මේ මිනිස්‌සු උදේ ඉඳලා රෑ වෙනකම් කර්මාන්තශාලා වල, වැඩබිම් වල රැකියා කරන්නේ මේ අවිද්‍යාව මිලදී ගන්න සල්ලි සොයන්නයි. එක පැත්තකින් ඔවුන්ට අවිද්‍යාව නිෂ්පාදනය කරනවා. තව පැත්තකින් ඔවුන් අවිද්‍යාව මිලදී ගන්නවා. සමාජයේ ඇති නැති ස්‌වභාවය මත මේ නිෂ්පාදනයේ සහ මිලදී ගැනීමේ ගුණාත්මකභාවයන් අඩුවැඩි වෙනවා. ලෝකය භාණ්‌ඩ සහ සේවා අංශයෙන් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යා දියුණු වෙනවා කියන එකයි. අවිද්‍යා නිෂ්පාදනය සහ මිලදී ගැනීම ඉහළ යනවා කියන එකයි.

ඔබ දැන් නිවී සැනසිල්ලේ සිතන්න ඔබත් අවිද්‍යාවේ දාසයෙක්‌ද? පිංවත් ඔබ ශරීරයේ නිරෝගීබවට, දිවීමට, ව්‍යායාම කිරීමට වැයකරන කාලය මේ කය අවබෝධ කරගැනීමට වැයකරන්න. ඔබට අයිති නැති ආගන්තුක සිත, ඔබේ යටතට ගන්න. සතිය සිහිය උපද්දවාගන්න. දුවන්න, ව්‍යායාම කරන්න කියන සිත ඔබ අතහරින්න. එවිට දිවීම, ව්‍යායාම ඔබට අතහැරේවී. දිව සංවරව තබාගෙන නිරෝගී වන්න. නිරෝගී ශරීරයක්‌ ඇති අයෙක්‌ වන්න, එහි අනිත්‍යය දකිමින්ම.

නිරෝගී කය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොව, සසර ගමනින් එතෙරවීම සඳහා ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක්‌ කරගන්න. ඔබ නැවත වේගයෙන් දුවන චීටාවෙක්‌, සිරුරට බොහෝ ව්‍යායාම් දෙන වඳුරෙක්‌, ව්‍යායාම් සරඹ ආදිය උපාදානය කිරීමෙන් ඉපැදුණු අහසේ ජිම්නාස්‌ටික්‌ කරනා ප්‍රේතයෙක්‌ නොවීමට වගබලාගන්න.

"Rahatunge Maga" - The way of Arhath 18

කය දුවවා වැඩක්‌ වේද
සිත නතර කරනු බැරිනම්


ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම.....

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුqරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත - උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්...

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් 'ජොල් වීමට' පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යෑපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර.... මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා 'මගේ දරුවාය' යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්aතිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැŽම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.

"Rahatunge Maga" - The way of Arhath 17

බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න -- "අතහැරිම" - 1 කොටස

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.

පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක්‌ ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි.

සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක්‌ දැනෙන දෙයක්‌ විය නොහැක. එය ඔබව බරෙන් නිදහස්‌ කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව, ශාසනයේ සැහැල්ලුව දැරීමටය. ශාසන ප්‍රතිපදාවේ යෙදෙන විට ඔබට වෙහෙසක්‌ බරක්‌ දැනේ නම් ඔබ, ඔබ ඉදිරියේම ප්‍රශ්නාර්ථයක්‌ තබාගත යුතුය. මග නොමග ගැන සිතීමට ඔබ නිහතමානී විය යුතුය. එහෙත් ඔබ සොයන්නේ ඔබේ ජීවිතයට සැපයක්‌ නම්, සතුටක්‌ නම්, ඔබට වෙහෙස මෙන්ම බර දැනෙනු ඇත. මන්ද ඔබ නැති යමක්‌ සොයන නිසාය. අපි බෞද්ධයන් විය යුත්තේද, පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය. ශාසන ප්‍රතිපදාවේ යෙදීමේදී අපට බරක්‌, වෙහෙසක්‌ දැනේනම් එය අපට අවශ්‍ය නොමැත.

ගිහි පැවිදි අප නිවැරැදි ලෙස ආමිස ප්‍රතිපදාවේ යෙදෙන විට, ලොව්තුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජා පවත්වන විට, එහි ආනිසංශ වශයෙන් පූජා පවත්වන්නාට සිව්පසය ගලාගෙන එන්නේය. එය ආශ්චර්යයක්‌ නොවේ. බුදු බලය, සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ශ්‍රද්ධාව ඔබට ලැබෙන දිට්‌ඨධම්මවේදනීය කුසල විපාකයකි. මෙම සෞභාග්‍යය සමාජයේ අපට නිතර දකින්න පුළුවන්. නමුත් කුසල විපාකයක්‌ වශයෙන් සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා. ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ, ලොව්තුරා බුදු සමිඳුන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන උන්වහන්සේ දේශනා කළ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් වඩින්න. සෞභාග්‍යය තුළින් ඔබට විශ්වාසයක්‌ ලබාදෙන්නේ මේ දෙය කළොත් මේ දෙය ලැබෙනවා කීම පිණිසයි. එවිට ඔබ දක්‍ෂ විය යුතුයි. ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න. නමුත් අප සෞභාග්‍යය බදාගැනීමට ආමිසය තුළ සිරවෙනවා. එවිට තව තවත් සිව්පසය ගලාගෙන එනවා. අවසානයේ එම සිව්පසය විසින් අපව ග්‍රහනයකට ගන්නවා. එවිට ඔබ ශීල, සමාධි, ප්‍රඥා නිවන් මගේ ඉදිරියට නොයා, ඔබ සැපයි කියා සිතූ තැන නවාතැන් ගන්නවා. පදිංචි වෙනවා. මෙහි වැරැද්දක්‌ ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ දැන් සෞභාග්‍යය ලැබීමෙන් මත්වෙලා. ඔබට දුර පෙනෙන්නේ නැහැ. ඔබ දකින්නේ ළඟ පමණයි. ඈත තිබෙන ප්‍රඥා මාර්ගය ඔබට පෙනෙන්නේ නැහැ. මොකද ඔබ පසුපසටයි ගමන් කරන්නේ. අලෝකයට පිටුපාමින්, අඳුරේ අතපතගාමින් අපි මොනවද මේ සොයන්නේ. නැති සතුටක්‌, සෞභාග්‍යයක්‌ සොයනවා. ඔබ සොයමින් යන සතුට, සෞභාග්‍යයේ මිම්ම, සීමාව, සෑහීම, නොසැහීම තිබෙන්නේ ඔබ ළඟමය. මේවායේ තීරකයා, විනිශ්චයකරුවා ඔබේ ඇති වෙමින් නැතිවන සිතමය. එහෙත් ඔබ ලෝකය තුළ කිසිදා හමුනොවන සතුට සොයනවා. සැප සොයනවා.

ඔබට ලැබීමටත්, අතහැරීමටත් දෙකටම මඟ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි. ඔබ මෙහිදී දක්‍ෂ වෙන්න අවශ්‍යයි. කුමකටද? ලැබීම අතහැර ඔබට සිව්පසය ලාභසත්කාර ලබාදීමට මඟ පෙන්වූ ලොව්තුරා බුදු සමිඳුන් දැකීමට. ලොව්තුරා බුදුසමිඳුන් උන්වහන්සේව දකින්නට, ඔබට අවස්‌ථාව සලසාදී තිබියදී, ඔබ නැති සතුටක්‌ සොයමින්, නිදිමරා වෙහෙසෙනවා. විඩාවෙන් අවිවේකයෙන් සිටින ඔබ ඔබෙන් අසන්න, මේ මොහොතේ ඔබ සොයන්නේ එම නැති සතුටම නේද? කියලා.

සියලුම මනුෂ්‍යයන් විසි හතර පැයේම වෙහෙසෙන්නේ කුමක්‌ සඳහාද? ඔවුන් ඒ වෙහෙසෙන්නේ අයිති කරගැනීම සඳහාය. වැඩිකර ගැනීම සඳහාය. මොනවා අයිතිකර ගැනීම සඳහාද?

සැප, සතුට, වගකීම්, නායකත්වය වැඩිකර ගැනීමටය. අයිතිකර ගැනීමටය. මිනිසා පමණක්‌ නොව, තිරිසන් සතාද අරගල කරන්නේ, වෙහෙසෙන්නේ, සැරිසරන්නේ සැප සෙවීම සඳහාය. දෙවියෝද දිව්‍ය ලෝකවල බැසගෙන දිව්‍ය සැප, දිව්‍ය ඕජාව විඳින්නේ සැපයට ඇති කැමැත්ත නිසාය. සැපය නිත්‍ය යෑයි ගෙන සැප පසුපසම හඹායැම නිසා ඔවුන් නිරතුරුවම රැස්‌කරන්නේද තන්හාවමය. තන්හාව තුළින් ජනිතවන්නේද අකුසලයක්‌මය. සත්වයින්ට සැප සෙවීම සඳහා යන මේ අසාර්ථක ගමනේදී තමන් නොදැනුවත්වම සතර අපායට වැටී අනන්ත දුක්‌ විඳිමින් සැරි සැරීමට සිදුවනු ඇත. බ්‍රහ්ම ලෝකවල ජීවත්වන මිත්‍ය දෘශ්ඨික, තෙරුවන් සරණ නොගිය බ්‍රහ්මයෝද නැවත සතර අපායට වැටී දුක්‌විඳීමේ ස්‌වභාවය ඇත. බ්‍රහ්මලෝක වල සිටින සම්‍යක්‌දෘෂ්ඨික බ්‍රහ්මයන් හැර අන් සියලු සත්වයන්ට සැපය සොයායන ගමනේදී අත්වනුයේ එකම ඉරණමකි.

දිව්‍ය සැප කෙටිය. සතර අපායේ දුක ඉතා දීර්ඝය. දිව්‍ය ලෝකයේ දෙවියන් නිරතුරුවම අනන්ත කාම සම්පත් විඳිමින්, එම කාම සම්පත් වලට තව තවත් ලොල් වෙමින්, අධික ආශාවෙන් කාමය පසුපස හඹායැම නිසාත්, නිරතුරුව තන්හාව වැඩීම නිසාත් අකුසල රැස්‌කර ගනී. මේ හේතුවෙන් දිව්‍ය සැප ඉක්‌මනින් පිරිහී යයි. දෙවියන් නැවත සතර අපායට වැටීමේ ඉඩකට ඉතාම වැඩිය. එහෙයින් දිව්‍ය සැප කෙටිය. සතර අපායේ ජීවත්වන සත්ත්වයා, ඔහු විඳින දුක නිසාම නිරතුරුව වෛරය, ක්‍රෝධය සහිතව ජීවත් වේ. එතුළින් සෑම මොහොතකම එම සත්වයන් රැස්‌කරන්නේ අකුසලයක්‌මය. මේ හේතුවෙන් අකුසල් වැඩිවී, මේ සත්වයා දුකෙන් දුකටම පත්වේ. සතර අපායේ කොටස්‌කරුවන් බවටම පත්වේ. බ්‍රහ්ම ලෝකයේ ජීවත්වන බ්‍රහ්මයාද තමා විඳින සමාධි සැපය අනිත්‍ය යෑයි දකින මොහොතේම අරිහත්වයට පත්වීමට හැකියාව තිබියදී, සමාධි සැපය අනිත්‍ය යෑයි දකිමින් එහි සතුට සොයන නිසා, අරිහත්වයට තමා විසින්ම දොරගුළු දමාගනී.

බ්‍රහ්ම ලෝකයේ, බ්‍රහ්ම තලවල මිත්‍යදෘෂ්ඨික බ්‍රහ්මයන්ද ඇත. ඒ මිනිස්‌ ජීවිත වලදී ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීම නිසා බ්‍රහ්ම සැප ලබයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ නොගිය පිරිසකි. බෞද්ධයින් නොවේ. මේ බ්‍රහ්මයන් ප්‍රඥාව වඩවාගෙන නොමැත. ඔවුන් සිටින්නේ අවිද්‍යාව තුළය. එවැනි බ්‍රහ්මයන් නැවත සතර අපායට වැටේ. එහෙත් ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීමේ ආනිසංස නිසා ඒ අයට කල්ප ගණන් බ්‍රහ්ම සැප ලැබිය හැකිය. කවදාහෝ දවසක තෙරුවන් මුණගැසී, තෙරුවන් සරණ ගොස්‌, ප්‍රඥාව වැඩී, සෝවාන් ඵලයට පත්ව, බ්‍රහ්ම ලෝකය තුළම නිවීමේ මඟට පත්වීමට මේ අයට හැකියාව ඇත. එතෙක්‌ ඔවුනද නැති සතුටක්‌ ලෝකය තුළ සොයන පිරිසක්‌මය. ඒ අය මිනිස්‌ ජීවිතවලදී අතහැරීම පුරුදුකොට ඇත. එහෙත් ඔවුන් අතහැරීම පුරුදුකොට ඇත්තේ ප්‍රඥාව නිසා නොව සමාධි සැපයට ඇති ලොල්වීම, තෘෂ්ණාව නිසාය. සියලුම සැප අතහැරියත් සමාධි සැපය නිත්‍ය බවට ඇති විශ්වාසය නිසාය.

සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකය. ඔබේ කුටිය දෙස බලන්න. එහි සුවපහසු පුටු,මේස, ඇඳ, ඇතිරිලි, පාපිස්‌නා, පලස්‌, රේඩියෝ, ආහාර පාන, කිරිපිටි, බෙහෙත් තිබෙනවාද? මේ සියල්ල තිබෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, සැප සඳහාය.ඒ කියන්නේ නිරතුරුවම ඔබ සිටින්නේ දෙවැනියෙක්‌ සමඟමයි. හුදෙකලාව නම් නොවේ. ඔබම සිතන්න, තුන් සිවුරත් පාත්‍රයත් කියන සීමාවෙන් කොච්චර දුරස්‌වද ඔබ ඉන්නේ. එපමණටම තන්හාව ඔබේ හුදෙකලාව මකන හිතවතා වෙලා.

සක්‌විති රජ පදවියද, රාජ රාජ මහාමාත්‍ය පදවිද සංසාරයේ ලබා ඇති අපි , එම රජශ්‍රීය තළුමරමින් රසවිඳ ඇති අපි. වර්තමානයේදී අනවබෝධය නිසා නොවිඳපු රස, සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්‌විති රජ පදවිය ලද මොහොතේදීද එම සක්‌විති රජ පදවියෙන් චුතවන මොහොතේදීද, ඔබ එම සැපයෙන් සෑහීමකට පත්නොවුණි. ඒ නිසාම තන්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනටම වැටුණි. මේ ඔබ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතමය. මේ කෑදරකම නිසාම ඔබව රැගෙන පැමිණි දුර තව රැගෙන යැමට නියමිත දුර, ඉලක්‌කම් වලින් ප්‍රකාශ කළ නොහැක. ඔබ කව්රුන් වුවද ඔබ මේ වෙහෙසෙන්නේ සැප සෙවීම සඳහා නොවේද? ඔබ මේ පුවත්පත අතට ගත්තේද ඔය සිත ඔබට අණ කළ නිසා නේද? ඒ සිත දැන් තිබෙනවාද? එය අනිත්‍ය වී ගොසිනි. ඒ සිත ඔබට අයිති දෙයක්‌ නොවෙයි නේද? ඔබට ආගන්තුකයෙක්‌ නේද? එහෙත් අතීතයේ යම් මොහොතක එම සිත නිත්‍ය යෑයි සිතා, ඔබේ යෑයි සිතා, සිත ක්‍රියාත්මක කළා නේද? ඒ තුළින් ඔබ කුසලයක්‌ හෝ අකුසලයක්‌ රැස්‌ කළා නේද? මේ දෙකම ඔබට රැගෙන යන්නේ බවයට නේද? එසේ නම් අනිත්‍ය වශයෙන් නොදකින සෑම සිතක්‌ම ඔබව සංසාරයට රැගෙන යනවා නේද?

ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම් සන්ධිස්‌ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්‌ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මඟේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක්‌ දෙනවා. එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. ශාස්‌තෘන් වහන්සේ දෙන කමටහනක්‌ නිසා එය දැඩි ලෙස ඔබට දැනෙනවා. අවබෝධ වෙනවා. ඒ මොහොතේම ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකපු සිත අනිත්‍ය වශයෙන් දකිනවා. උන්වහන්සේගේ රූපකාය, උන්වහන්සේගේ කමටහන, මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ එය එසේ වනවාමයි. මෙහිදී ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ ඔබ තුළ වැඩෙන ප්‍රඥාවයි. ප්‍රඥාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් කියන්නේ දෙකක්‌ නොව එකක්‌ය යන්න ඔබට මෙහිදී හොඳින් අවබෝධ වනවා. අපි හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාවත් කියන්නේ එකක්‌ බව. එහෙත් ඔබ නිවීමේ මෙහෙයුමේ ක්‍රියාත්මක භාවයට පත්වීමේදී ඔබට මේ යථාර්ථය අවබෝධ වනවා. අද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවානම් ඔබට දෙන කමටහනත් ඔය කමටහනම විය යුතුය. zඇතිවුණ සිත අනිත්‍ය වශයෙන් දකින්නZ එය තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙතෙක්‌ කළේද, කරමින් සිටින්නේද ඇතිවන සිත තන්හාවෙන් තෙත්කර ක්‍රියාත්මකභාවයට පත්කිරීමය.

බලන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දෙදහස්‌ හයසියයක්‌ ඉක්‌මගියද, ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් කමටහන් ලබාගන්න. උන්වහන්සේව දකින්න. උන්වහන්සේගෙන් ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න.

අසූහාරදහසක්‌ පහන්ද, මල්ද, හඳුන්කූරුද, පිරිකරද පූජාකර ඔබ දකින්නේ දිව්‍ය, මනුෂ්‍ය සශ්‍රීක සංඥාවන්මය.

එම සංඥා භවගාමීය. එහෙත් ඔබ එම සිත අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඔබ දකින්නේ ධර්මයයි. ඔබ දකින්නේ ලෝකයේ සැබෑ ස්‌වභාවයයි. හැබැයි ඔබ තුළ තවම එම ශක්‌තිය මෝදුවී නැති නම්, ඔබ කළ යුත්තේ ඉහත පිංකම්වල යෙදෙමින්, ඔබ තුළ ඉහත ශක්‌තිය වර්ධනය කර ගැනීමය. එහෙත් ඔබ එකතැන පල්වෙන, එකතැන පදිංචිවෙන බෞද්ධයෙක්‌ නොවිය යුතුය. අත්විඳිමින්, අත්දකිමින්, අවබෝධය කරා යන බෞද්ධයෙක්‌ විය යුතුය. පෘථග්ජන සත්වයා කල්මැරීමට ඉතාමත් ප්‍රියය. අතීතය පුරාවට කළේද කල් මැරීමය. බහුතරයක්‌ බෞද්ධයෝ වර්තමානයේදීද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා, නිවන් දැකීමට බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. ඔබ ගිහි හෝ පැවිදි වුවද මෙසේ ප්‍රාර්ථනා කිරීමේදී ඔබ දකින්නේ මෛත්‍රී බුදුන් නොව, අවිද්‍යාවයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවයි. නමුත් මෛත්‍රී බුදුන්ගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා නිවන් දකින්න යෑයි ඔබට අණකරන ඔබේ සිත අනිත්‍ය බව දැකීමෙන් ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයමයි. බලන්න ධර්මයේ ආශ්චර්යය. අද මේ මොහොතේදී ඔබට පුළුවන් මෛත්‍රී බුදුසමිඳුන් විසින් දේශනා කරන ධර්මය දකින්න. අත්විඳින්න. එහෙත් ඔබ තුළ ඇති අවිද්‍යාව නිසා, ඔබ දුක්‌ විඳිමින් කල්ප ගණනක්‌ සසර ඈතට යන්න යනවා. අවිද්‍යාව විසින් සත්වයාව මොනතරම් මුලාකරනවාද බලන්න. මෛත්‍රී බුදුසමිඳුන්වත්, උන්වහන්සේ දේශනාකරන ධර්මයත් මේ මොහොතේ දකින්න අවස්‌ථාව තිබියදී, භවයට කෑදර අපේ සිත, අපිව දුකටම ඇදගෙන යනවා. මෛත්‍රී බුදුසමිඳුන්ව පෙන්වනම් කියා අපිට අවිද්‍යාව පෙන්වනවා.

ඔබ දක්‍ෂවෙන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. ඔබට ආගන්තුකයෙක්‌ බව දකින්න. සිත ඔබේ දුක්‌ දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානයයි. ඔබ අවබෝධ කරන්නේ පංචඋපාදානස්‌කන්ධයයි. පටිච්චසමුප්පාදයයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. ඔබ මේ කිසිවක්‌ සොයා යා යුතු නැත. හැදෑරිය යුතුද නැත. ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දැකීමේදී ඉහත ධර්මතාවන් ඔබ තුළ අයාසයෙන් තොරව වැඩෙනු ඇත. ඔබට අවබෝධවනු ඇත. සිතේ අනිත්‍යභාවය නොදකින්නා, මේ ධර්මථාවන් සොයාගෙන කමටහන් පංති දේශනා පසුපස යා යුතුය. ඔහු මේ සොයන්නේ තමා තුළ තිබෙන දෙයකි. සියල්ල සෙවීම අතහැර ඔබ මේ සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, දෙතිස්‌ කුණපය ක්‍රියාත්මකභාවයට පත්කරන, ඇතිවී නැතිවී යන සිත ගැන පමණක්‌ සොයන්න. දකින්න. ඒ ඔබ සොයන්නේද, දකින්නේද ධර්මයයි.

ඔබට කතරගමට යැමට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ බස්‌ නැවතුමට ගොස්‌ කතරගම බසයකට ගොඩවී, ටිකට්‌පතක්‌ ලබාගැනීමය. එවිට බසය ඔබව කතරගමට රැගෙනයනු ඇත. කතරගමට යන ගමනේදී ඔබ වටපිටාව හොඳින් නිරීක්‍ෂණය කරමින් ගියහොත් ඔබට කළුතර බෝ සමිඳුන්ද, ගාල්ල වරායද, හම්බන්තොට ලුණු ලේවායද, තිස්‌ස මහසෑ සමිඳුන්ද දැකිය හැකිය. ඔබ බස්‌ රථයට ගොඩ නොවී බස්‌ නැවතුමේ සිටින අයගෙන්, එහෙත් නැතිනම් මාර්ග සිතියමකින් කළුතර බෝ සමිඳුන් ගැන, ලුණු ලේවාය, වරාය, මුහුද ගැන විස්‌තර තොරතුරු ඒවායේ ස්‌වභාවය ඇසීමට ගියහොත්, සෙවීමට ගියහොත් ඔබට බසය වැරදී අතරමං වීමට සිදුවනු ඇත. මෙපරිද්දෙන් ඔබ සිත දෙස බලාසිටින්න. එවිට සතර සතිපට්‌ඨානයද පටිච්චසමුප්පාය, පංචඋපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජංග ධර්මයන් පෙණෙනු ඇත. දකිනු ඇත. අවබෝධය ලබනු ඇත.

මේවා සොයා ටියුෂන් නොයා යුතුය.

සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. ලෝකයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. මෛත්‍රයයි.ක්‍රෝධයයි.භවයයි. නිවීමයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි.

සිත යනු දුක්‌ ගොඩකි.එහෙත් ඔහු ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලිබස්‌ තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. එනිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලණ මිතුරා කරගන්න. එය කළ හැක්‌කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මඟහැරෙනු ඇත.

සැප අනිත්‍ය වන බව දුක දන්නා නිසා, සැප අසලම දුක ගැවසෙමින් සිටියි. සැපය දන්නා දෙයත්, දුක දන්නා දෙයත් ඔබ නොදන්නේ සැපත් දුකත් දෙකම ඇති කළේ ඔබට ආගන්තුක, ඔබට අයිති නැති සිතක්‌ නිසාය. ඔබ සිත ගැන දන්නේ නැහැ. සිත ගැන බලන්නේ නැහැ. දිනපතා කණ්‌ණාඩි මේසය ළඟට ගිහින් හිස, රැව්ල, ඇස, කන, දිව, දත්, මුහුණ, කුරුළෑ, සම බලනවා. අඩුපාඩු තිබුණොත් විටමින් බොනවා. ක්‍රීම් ගානවා. මා තුළ මා බලනවා. ලස්‌සන කරනවා. නමුත් සිත ගැන බලන්නේ නැහැ. ඔබ, සැප සෙයාන සිත, ලස්‌සන සොයන සිතදෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න. ඔබ දකින්නේ ඔබව නොව, මහා වේගයක්‌ පමණක්‌ය.

"Rahatunge Maga" - The way of Arhath 16

අවබෝධයෙන් දකිමු මේ කය

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න......

බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි.

වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය.

යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ,

රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න...

බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා.

මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව.

ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ.

රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි.

ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.

එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා.... මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න.

ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට "හාමුදුරුවෝ" කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.

මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.

ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.

ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය.... කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි.

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.

"Rahatunge Maga" - The way of Arhath 15

පොඩි හාමුදුරුවන්ට ස්‌ථාවර අනාගතයක්‌......

ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්‌.

මෙම ක්‍රියාව දැන් හුඟක්‌ ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට ස්‌ථාවර අනාගතයක්‌......

පුංචි කාලෙම ඉතිරි කිරීම පුරුදු කළහම පොඩි හාමුදුරුවන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුවෝ තරුණ වියට පත්වුණහම, භවයට ඉතිරි කිරීම සඳහා සිව්රු හැරයනවා.

පුංචි හාමුදුරුවෝ වැරැදි නැහැ.

පුංචි කාලෙ ඉඳලා උගන්වපු දෙය පොඩි හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, ප්‍රේත ලෝකේ බැංකු වල හොඳ පොලියක්‌ ගෙවනවා.

අවසානයේ සියල්ලන්ම එකතුවී සිව්රු හැරයැම ගැන තරුණ ස්‌වාමීන්වහන්සේලාට දොස්‌ කියනවා.

Sunday, August 28, 2011

"Rahatunge Maga" - The way of Arhath 14

සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

Sunday, August 21, 2011

"Rahatunge Maga" - The way of Arhath 13

"ආදරණීය" බරපොදිය බිම තබන්න

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක්‌ හෝ බ්‍රහ්ම ලෝකයක්‌ ගැන සිතිය නොහැකිය. යශෝදරාවන්ටද නිවීම අවබෝධකොට ගන්නට සිදුහත් කුමරුන්ද, රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමඟ නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද, ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට, ඔබේ මඟ නිරවුල්ය. ඔබේ තනියට, පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔහු හෝ ඇය පමණක්‌ වුවද, ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබව තබා බඳින වරපටයි.

ඔබ දක්‍ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක්‌ බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න....

නිවන් මඟ ඔබට තරණය කළ හැක්‌කේ ඔබ සරල, පහසු, සැහැල්ලු වන තරමටය. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔහු හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්‌මය. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පිහිට, සරණ යෑයි ඔය සිත නිරතුරුව සිතුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවළක්‌ ලෙස කුසල් මඟේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ, එය අත අතහැරීමට ඔබට නොහැකි වුවහොත් එය මහා අවාසනාවක්‌ වනු ඇත.

Sunday, August 14, 2011

"Rahatunge Maga" - The way of Arhath 12

දුක්‌ දෙන මිතුරා

ලෝකය කියන්නේ දුකක්‌. ලෝකය දුකක්‌ බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්‌ විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක්‌ නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම සෙවුවද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්‌වලින් සෑදුණ, නිරතුරුව වෙනස්‌වන රූපයක්‌ මිසක්‌ වෙන දෙයක්‌ හමුවන්නේ නැහැ. මම, අපි, ඔබ..... මෙහෙම කෙනෙක්‌ කොතැනකදිවත් හමුවන්නේ නැහැ. මෙතෙක්‌ ඔබ 'මම, අපි, ඔබ' කියා කෙනෙක්‌ මුණගැසී ආශ්‍රය කර ඇත්නම් ඒ හැමදෙනාම නිරතුරුවම ලෙඩට, වයසට, මරණයට පත්වූ, එහෙම නැතිනම් පත්වෙන පිරිසක්‌. ඔබේ සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, අම්මා, තාත්තා මැරිලා යනකොට පුතා, දුව, මුනුපුරා, මිනිපිරී ලොකු මහත් වෙනවා. කුමක්‌ සඳහාද?

කවදාහරි දවසක ආච්චිලා සීයලා වීම සඳහා.

ඔය චක්‍රය වටේ අපි දිව යනවා. අපට ගැලවිල්ලක්‌ නැහැ. චක්‍රය කියන්නේ ලෝකයයි. ලෝකය තුළ සත්වයා දුවනවා. මෙය චක්‍රයක්‌ නිසා ඉන් පිටවෙන්න කාටවත්ම බැහැ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රයම නිවාදමන්න ඕනෙ. මේ චක්‍රය තුළ දුවනකොට අපට ලෝකය සුන්දර බව පේනවා. සත්තකින්ම ලෝකයේ සුන්දර බවක්‌ තිබෙනවා. එය ඔබට පෙනෙනවා, ස්‌පර්ශ කරනවා, විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. එහි රශ්මි වළල්ලක්‌ සහිතව පායන පුරසඳ, නැතිනම් වැහි අහසේ පායන පාට පාට දේදුන්න. සති අන්තයක කතරගම, අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරු පහේ හෝටලයක, සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය....

ඔබ මේවායේ මොනතරම් ආශ්වාදයක්‌ අත්විඳිනවාද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැමදෙයක්‌ම මොහොතින් මොහොත වෙනස්‌වන නිසා. මේ මොහොතේ පවතින ස්‌වභාවය, ඊළඟ මොහොතේ වෙනස්‌වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත්නොවී නිත්‍යභාවයේ පවතිනවා නම් ඔබට ඒවායේ විවිධත්වයක්‌ පෙනෙන්නේ නෑ.

මේ විවිධත්වය, චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසාමයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ ඇත්තේද වේගයක්‌ පමණක්‌මයි. අම්මා, තාත්තා මැරුණහම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍යභාවයට පත්වන විට තව තව සිත් පරම්පරාවක්‌ සකස්‌ කර ගන්නවා. සිත් සකස්‌කිරීමට හේතුවන අභ්‍යන්තර ආයතන හය හරියට කර්මාන්ත ශාලා හයක්‌ වගේ. 24 පැයේම ක්‍රියාත්මකයි. භාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමුවූ සැණින් නිෂ්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි. බාහිරින් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය වන බාහිර රූප, ආයතන හයෙන් එකකට ලැබුණ සැණින් නිෂ්පාදනය (නිමි භාණ්‌ඩය) සූදානම්. නිමි භාණ්‌ඩය තමා සිත. ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක්‌ මෙය. ලෝකයේ සංකීර්ණ බව ඇතිවෙලා තියෙන්නේ සිත් සකස්‌වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්‌හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්තශාලාවේ ඉල්ලුමට සැපයුම ස්‌ථිරව සපයනවා. නිෂ්පාදනය වැඩි වන්න වැඩි වන්න සංකීර්ණ බව වැඩිවනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්‌වභාවිකත්වය විනාශකොට කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිවන්නේ, ශීලාචාරකම විනාශකර අශීලාචාරකම බිහිවන්නේත්, මැදිහත්බව පරාජය කර තරගකාරීබව ඇතිවන්නේත් , ආධ්‍යාත්මික වටිනාකම් අභිබවා භෞතික වටිනාකම් පැතිරෙන්නේත් අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසාමයි. අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණභාවයට ඔබ දාසයකු වනවා. ඔබව දාසභාවයේ, වහල්භාවයේ යොදවන්නේ තණ්‌හාව විසින්. අවිද්‍යාවේ තණ්‌හාවේ හැඩතල, ස්‌වරූපය, වර්ණය, රසය, ගුණය සකස්‌ වන සිත්වල ක්‍රියාකාරිත්වය තුළ මනාව පිහිටලා තිබෙනවා. අම්මා, තාත්තාගේ රුව ගුණ දරුවාට තිබෙනවා වගේ, අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව, තණ්‌හාව ඔබව මුළාකරන මහා මගෝඩියන් දෙදෙනකු වගේ. ඔබ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බු නාම දෙනවා. පොහොසතා, කෝටිපතියා, මුදලාලි, පාලකයා, නායකයා, සභාපති.....

සමාජයේ විවිධ ස්‌ථරවල ඉහත කොටස්‌ ඉන්නවා. ගමේ කඩේ හිමිකරු 'මුදලාලි'. පිටකොටුවේ තොගකඩේ හිමිකරුත් 'මුදලාලි'. පන්ති භේදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බු නාම දෙනවා. 'අම්මෝ හරිම ගාම්භීරයි, ආඩම්බරයි, ශ්‍රේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්‌කෙක්‌, විධායකයෙක්‌, මගේ මහත්තයට පැක්‌ටරියක්‌ තිබෙනවා. මගේ මහත්තයා ඇමරිකාවේ' හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණාට ඔබේ කට දෙකොනින් තණ්‌හාව, මමත්වය බේරෙනවා. ඒ කුණුකෙළටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනකුට මෙය හරිම අප්‍රසන්න සිද්ධියක්‌ වෙන්න පුළුවන්. තමා ඉලක්‌ක කරන සැප සෑම මොහොතකම අනිත්‍ය වෙනවා. අහිමි වෙනවා. ගිලිහෙන, අහිමිවන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිතිකර ගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට නානාප්‍රකාර උපදෙස්‌ දෙනවා. හරියට මුදලට වහල්වෙච්චි නීති උපදේශකයෙක්‌ වගේ. සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලක්‌ය කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටක්‌ පැන්න ආච්චි කෙනෙක්‌ තරුණියක්‌ ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක්‌ ගැහැණියක්‌ කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සියක්‌ කෝටි ගණනක සිට තණ්‌හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා.

ඔබ මැඩියෙක්‌ ගැන සිතන්න. එම සතා ජලයේද, මඩේද, ගොඩබිමද, නිවසේද, පීවත්වන්නේ එකම ස්‌වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලගින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක්‌ දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා දෙස සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන් ගැන ඔබට හොඳින් දැනේවි, වැටහේවී. මොහු චපලයෙක්‌, දෙපිටකාට්‌ටුවෙක්‌, පෙරේතයෙක්‌. උම්මත්තකයෙක්‌ වගේම විටෙක සිල්වතෙක්‌, ගුණවතෙක්‌....

මේ දෙබිඩි චර්යාව ඔබට දර්ශනය වේවි. මෙවැනි දෙබිඩි මිතුරෙක්‌ ඔබට හමුවුවහොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. පරිස්‌සම්වනවා නේද?

අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න. අනවශ්‍ය බරක්‌ නොගෙන හුදෙකලාවේ මේ අධ්‍යයනය කරන්න. එවිට ඔබට ජීවිතේ වෙනසක්‌ දැනේවී. ඔබ යමක්‌ හඳුනාගන්නා බව, සොයාගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතේ සංකීර්ණ බව දුරස්‌ වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍ය බව දැකීම පමණක්‌මය.

Sunday, August 7, 2011

"Rahatunge Maga" - The way of Arhath 11

ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්...

නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක්‌ පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක්‌ ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක්‌ පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස දුව ආවේය. ඇය එක්‌ දරු මවක විය හැකිය. ඇය දෝතට රැගෙන පැමිණියේ සීනි බෝතලයකි. එය ද අඩක්‌ හිස්‌ව තිබිණි. ඇය සීනි හැඳි දෙකක්‌ පාත්‍රයට පූජා කළාය. එකපාරටම ඇය ඉකිගසා හැඬුවාය. "හාමුදුරුවනේ, මේ දරුවගේ තාත්තා හම්බ කරන සේසතම බොන්න වියදම් කරනවා. ගෙදර මොකුත්ම නැහැ පූජා කරන්න, බොහෝ බැගෑපත් ස්‌වරයෙන් කියූ ඇය ඉකිගැසීය. ඇයට පිං අනුමෝදන් කර භික්‍ෂුව ඉවතට වැඩම කළහ.

කාන්තාවකගේ කඳුළු, ඉකිබිඳුම, විරහ වේදනාව, පුරුෂයාගේ නොසලකාහැරීම, එක්‌දරු මවක්‌ ඉල්ලන කරුණාව, මේ සියල්ල මාරයා ඔබට දෙන ආහාරය. එක්‌දරු මවක ලෙස ඔබ ඉදිරියේ හඬාවැටුණේ මාරයාමය. ඔබට සිතුණොත් 'අනේ පව්. ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රයෙන් යමක්‌ දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්‌කට්‌ මොනවහරි ගෙනත් දෙන්න ඕනෙ....'

මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත්, ඒ ඔබ අනුකම්පා කරන්නේ මාරයාටය. අනාගතයේදී මාරයා ඔබව ගිහිගෙදරක්‌ තුළ එක්‌දරු මවකගේ දාසයකු කරනු ඇත.

හැබැයි ඔබ දක්‍ෂයෙක්‌ නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරය පුරාවට මනුෂ්‍ය, දේව, ප්‍රේත, තිරිසන් දුවක්‌ ලෙස ඉපිද හඬමින්ද, විරහවෙන්ද, පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬාවැටී මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුළම උරුම කරගත් මිනිස්‌ දුවක්‌ බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි. කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව, කරුණාව ඉල්ලීම යනු යමක්‌ එකතුකරගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුළ, දුක අතහැරිය යුතුය. කඳුළ, ඉකිබිඳුමේ ස්‌වභාවය ලෙසත්, දරුවා මවකගේ ස්‌වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය.

සියලු දෙය අතහැර, ගිහිගෙදරින් ඉවත්ව යමෙක්‌ නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකයට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුළ දුක නිවා ගැනීමටය. මේ ගමන ඔබ යන විට මෛත්‍රිය, කරුණාව ද අනුකම්පාව ද අත්හැරිය යුතු අවස්‌ථා පැමිණෙනවාය. ලෝකයාට මෛත්‍රිය, කරුණාව දක්‌වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණ භාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවාය කියන මුළාව පසුපස දුවන, තව පාරමී මදිය කියලා විශ්වාස කරන, රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වතුන්ට නම් තව තව මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම වැඩිය යුතුය. ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ නොමැත. හැකි උපරිමයෙන් එම ගුණධර්මයන් වැඩිය යුතුය. බලන්න, සත්වයා මාරයාගේ සිත දවන්න කොතරම් අකැමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුළ තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලු මරමින් සතුටු වෙමින්, ඉකිගසමින් හඬමින් කල්ප සියක්‌ කෝටි ගණනක්‌ ඇවිඳපු ඔබ අදත් මාරයා අතදිගුකොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය තෙක්‌ නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක්‌, ආත්ම දස දහස්‌ ගණනක්‌ මැරී මැරී ඉපිදෙමින් යම් හෙයකින් මනුෂ්‍යයකුව ඔබ මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුණහොත්, එදාටද අද වගේම මාරයො ඔබට ඊළඟට බුදු වන බුදු සමිඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකොට පෙන්වාවී. ඔබ එයත් පිළිගනීවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනාවක්‌ පසුකොට මාරයා ඔබව රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක්‌ පුරාවට ඔබට දුක්‌ සාගරයක්‌ උරුමකොට දුන් මාරයාගෙන් නිදහස්‌ වීමට නම් ඔබ කිසිවක්‌ ජීවිතයට එකතුකරගතයුතු නැත. ඔබ කළ යුත්තේ සියල්ල අතහැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරුදේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දෙය මගහරිනවා. එකතු කිරීමය යනු මාරයාගේ ධර්මයයි. අතහැරීම යනු ලොව්තුරා ධර්මයයි. ඔබ මාර පුතෙක්‌ වෙන්නද කැමැති? බුදු පුතෙක්‌ වෙන්නද කැමැති?

ඔබ කරන්නේ එකතුකිරීම, රැස්‌කිරීම ගොඩගසා ගැනීම නම් ඔබ මාරපුත්‍රයෙක්‌මය.මරණින් පසු පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරගයට දේශන පවත්වා, බැනර් ඔසවා ඔබව නිවන් දක්‌වනු ඇත. පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක්‌ කරා යැමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය, මනුෂ්‍ය ලෝක වීමටද හැකිය. එහෙත් ඒ සියල්ලේම ඇත්තේ දුකමය.

පිණ්‌ඩපාතය වැඩීම නිවන් මඟ වැඩීමට අවශ්‍ය කලමනා සොයායන ගමනක්‌ කරගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක්‌ නම් මාරයා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාරයාගේ පැවැත්ම පිණිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සැවොම කරන දෙය නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැක්‌කේ නොදුන් කෙනාට මෛත්‍රිය කිරීමයි. පිණ්‌ඩපාත ගමනේදී ඔබ දක්‍ෂ වුවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක්‌ ආහාර පමණක්‌ සොයා පිණ්‌ඩපාතය වඩිනවා නම් ඔහු තුළ ඉතිරිවන්නේ කුසගින්න නොව, භව ගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක්‌ අප කර ඇත්තේ ගින්නට පිදුරු දමාගැනීමය. පිදුරු සපයන්නේ මාරයා වුවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්‌වභාවය ඇවිළීමය. පිදුරුවල ස්‌වභාවය ඇවිළීමට උපකාරී වීමය. මාරයාගේ ස්‌වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්‌වභාවය විය යුත්තේ භව ගින්නට කෙලෙස්‌ පිදුරු නොදමා, මාරයාට නොපෙනෙන්නට ගින්න නිවාදැමීමය.

Sunday, July 31, 2011

"Rahatunge Maga" - The way of Arhath 10

පරණ පුරුදු
අපි හැමෝම පැවිදි වෙන්නේ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම පැවිදිවෙලා ආරණ්‍යගතව කුටි හදන්න, පාරවල් හදන්න වගේ සංවර්ධන වැඩට යොමුවීම අභාග්‍යයකි.

ගිහිගෙදර ගෙවල් දොරවල් අතහැරලා පැවිදිවෙන්නේ අතීතයේ කළ දේවල් නැවත කරන්නට නොවේ. ගිහි කාලේ බාසුන්නැහේ පැවිදි වෙලා බාස්‌ වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදිවෙලා පොත්ලියනවා, අරක්‌කැමියා පැවිදිවෙලා මුළුතැන්ගෙයි දානය හදනවා.....

මෙය නොවිය යුතු දෙයක්‌.

අපි සිතන්න ඕනේ අපි පැවිදි වූණේ එවැනි සංවර්ධන වැඩ කිරීමට නොව සිත සංවර්ධනය කිරීමටය කියා. ඇයි සිත සංවර්ධනය කරන්නේ, සිත කෙළෙස්‌ වලින් ගරා වැටී ඇති නිසා. එහෙයින් නිවන් මගේ හික්‌මෙන ඔබ කළයුත්තේ ගොඩනැගීම නොව, කඩාදැමීමය.

සියලු කෙළෙස්‌ කඩා දැමූ කල අප ගමන් කරන්නේ නිවීම දෙසටය. ගිහි ජීවිතය පුරාවට අපි කළේ ගොඩනැගීමයි.

පවුල, ධනය, සම්පත්, සමාජ තත්ත්වය අපි ගොඩනැගූ කෙළෙස්‌ කන්දයි. අපි කළයුත්තේ එම බර එකිනෙක බිම තැබීමයි. එම බර බිම තබා ආරණ්‍ය සංවර්ධන බර ඔබ කරට ගන්නේ නම්, එයද කෙළෙස්‌ කන්දක්‌මය. අපි කළ යුත්තේ "කැහි ගෑනියදී, සොටු ගැහැනිය ගැනීම" නොව මේ දෙදෙනාම අතහැරීමය.

එසේ නොකළහොත් කැහි සහ සොටු වලින් ඔබව සංසාරික පීනස්‌ රෝගියෙක්‌ කරනු ඇත.

'ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න'... මේවා මාරයාගේ ලස්‌සන අයිසිං තැවරූ කේක්‌ ගෙඩිය. ඔබ දක්‍ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක්‌ ගෙඩියකට නොව ලෝදිය හැළියකට බව අවබෝධකර ගැනීමටය.

සංසාරය පුරාවට අපි ආරක්‍ෂා කළ ශාසන වල, අපි හැදූ, පූජාකළ කුටිවල, ආරණ්‍ය වල මහරහතන් වහන්සේලා ලක්‍ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනිතලා, පටාචාරලා සෝපාක ලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ, අරහත්වය ලබාගත් උතුමන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය, ගල්වැටි බඳිමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමයි. මේ දුක අපි ඊළඟ පරම්පරාවන්ටද උරුමකොට දෙන්නෙමු. ගිහි පිංවතුන්වද මේ කඹයේම දිගේලි කරමු.

වනය තිබෙන්නේ එළිකරන්නටවත්, ලස්‌සන කරන්නට වත් නොවේ. වනය ස්‌වභාවයෙන්ම පියකරුය. අප කළයුතේ අපේ හදවත් ධර්මයෙන් ලස්‌සන කිරීමයි. අපේ හදවත් අපිරිසිදු නම් වනය ලස්‌සන කරන්නට අපිට සිදුවේ. එහෙත් ඔබ කැමැති ආරණ්‍ය සංවර්ධනයට නම් ඔබ එම වනයේම මතු ආත්මයේදී රුක්‌ දෙවියෙක්‌ ,ආරණ්‍ය සුරකින දෙවියෙක්‌ වීමට පුළුවන. එය ඔබ කැමති දෙයම නිසා සතුටින් භාරගතයුතුය. ලෝකයේ ස්‌වභාවය විවිධය. ස්‌වභාවය විවිධත්වයට පත්වන්නේ අනිත්‍ය භාවය නිසාය. එහෙයින් විවිධත්වය ලෙස අප දකින්නේ අනිත්‍යයි. එය අවබෝධ කරගැනීම ධර්මය, අනිත්‍යය අවබෝධ කරගැනීමය.

ආරණ්‍යයක්‌, ශුන්‍යගාරයක්‌ තුළට නිවන් මග වඩන්නෙක්‌ යා යුත්තේ පරිසරයේ ස්‌වභාවය අවබෝධ කරගැනීමට මිස තම තමන්ගේ උවමනා එපාකම් වලට අනුව පරිසරයේ ස්‌වභාවය වෙනස්‌ කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධකිරීම මඟහැර, ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා ඇත. අසනීපයට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි.

ඔහු එය පසෙක තබා රෝගීන්ට උපස්‌ථාන කිරීමට යන්නේ නම්, ඔහුගේ රෝගය ඔහුව පිළිගනු ඇත. අවාසනාව වනුයේ වෛද්‍යවරයාත්, ඖෂධත් රෝහලත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මිය යැමයි. අපි කළ යුත්තේ බැළුම්බෝලයක්‌ වන් මිනිස්‌ දුවකගේ, තිරිසන් දුවකගේ, ප්‍රේත දුවකගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් කිරීමට නොව මේ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලාගැනීමයි. එහෙත් ඔබ පතන්නේ ගර්භාෂ කුටියක්‌ නම් නොවරදවාම ඔබට එය ලැබෙනු ඇත.

"Rahatunge Maga" - The way of Arhath 9

සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු...
ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි.

ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය.

එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක්‌ බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක්‌ බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි.

ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක්‌ ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්‌ සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක්‌ සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක්‌ නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ.

ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්Cධායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක්‌ නොමැත. යමක්‌ ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය.

ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස්‌ වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට "දිවට" ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට.

එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස්‌ විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්‌, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට්‌ සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක්‌ ගිලගැනීමට බැරි දවසක්‌ අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය.

රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඔබ කැමතිම ආහාරයක්‌ නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්‌, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක්‌ කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක්‌ ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක්‌ නැති ආගන්තුක සිතක්‌ නිසා මෙතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක්‌ ආහාරද, කොටසක්‌ ජලයද, කොටසක්‌ හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස්‌ වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.