Saturday, June 21, 2014

ඔබේ අවසාන ඉලක්කය කුමක්ද?

පූජ්‍ය අචාන් චා හිමියන්ගේ "මේ භාවනාවට කාලයයි" (පරිවර්ථනය - ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා.  ISBN 978 955 667 129 2) කෘතිය කලෙකින් කියවන්නට ලැබුන හොඳ කෘතියක් ලෙස සලකමි. පුජ්‍ය අචාන් චා හිමියන් විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද අගනා දහම් පඩුරක් මේ කෘතිය මගින් පාඨකයාට හිමි වේ. බෞද්ධ අබෞද්ධ කාටත් මෙහි අන්තර්ගතය වැදගත් වේ යැයි සැලකිය හැකිය. එහි සඳහන් පහත කථාව අප සියලු දෙනාට වැදගත් වේ යැයි සිතුන නිසා එය මෙලෙස සාරාංශ කොට පළකරමි.

ව්‍යාපාර සම්බන්ධ උපදෙස් සපයන බොහෝ සාර්ථකත්වයට පත් එක්තරා මහාචාර්යවරයෙක් දුප්පත් මසුන් මරන්නන් වෙසෙන ගම්මානයක සංචාරය කරන අතර, උදැසනම පැමිණ මසුන් මරන්නෙකු සමඟ සංවාදයකට වැටින.

"ඔබ උදැසනම පැමිණ මසුන් මරා ඉන්පසු කරන්නේ කුමක්ද?" මහාචාර්යවරයා ඇසීය.

"මම මේ මසුන්ගෙන් ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ගෙන, ඉතිරි ටික විකුණනවා. ඉන්පසු ගෙදර ගොස් මගේ බිරිඳ හා දරුවන් සමඟ දිවා ආහාරය ගෙන, ටිකක් නිදා ගන්නවා. ඉන්පසු සවස මගේ දරුවන් සමඟ ටිකක් සෙල්ලම්කර, හවස සමාජ ශාලාවට ගොස් මධුවිතෙන් සප්පායම් වී යාළුවොත් එක්ක ගිටාරය වයමින් විනෝද වෙනවා. ඉන්පසු රෑ බෝ වී නිවසට ගොස් හොදින් නිදා ගන්නවා" යැයි මෙම අව්‍යාජ ධීවරයා පැවසීය.

මොහුට නොමිලයේ උපදෙස් කිහිපයක් දීමට ආශාවක් පහල වූ මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් උදෑසන සිට සවස් වන තුරු මසුන් මරන්න. එයින් ඔබට දැන් ඔබ ලබනවා මෙන් කිහිප ගුනයක අදායමක් ලබා ගත හැකියි. ඔබට එම මුදල් ඉතිරිකොට මෝටර් බෝට්ටුවක් ලබාගෙන පිරිස සමඟ වැඩියෙන් මුදල් උපයා ගත හැකියි. අවරුදු 2ක් පමණ යන විට ඔබට දෙවන මෝටර් බෝට්ටුවද මිලදී ගත හැකියි. අවරුදු හත අටක් යනවිට ඔබ විශාල ධිවර සමාගමක හිමිකරුවෙක්. ඔබට ඔබේ සමාගමේ සම්බන්ධතා ජාත්‍යන්තරයට ගෙන යා හැකියි. ඉන්පසු ඔබට කොටස් වෙළදපොලට ඇතුළත් වන්නට පුළුවන්. මේ වන විට ඔබ කෝටි ගණනක් වටිනා සමාගමක හිමිකරුවෙක්."

"මගේ දැනුම හරි ඉහලයි. මම දුන්න ව්‍යාපාරික උපදෙස් වැරදිලා නැහැ" මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

ධීවරයා මෙම උපදෙස් බොහෝ සිහි බුද්ධියෙන් අසා සිටියේය. ඔහු මෙලෙස ඇසුවේය.
"ඩොලර් කෝටි ගණනකින් මම මොකද කරන්නේ?"

එම ප්‍රශ්නයට මහාචාර්යවරයා තරමක් කළබල විය. ඔහු සැලසුම ගැන සිත යොමු කලා මිසෙක, එහි අවසානය ගැන සිතුවේ නැත.

ඩොලර් කෝටි ගණනක් අතේ ඇත්නම් කළහැකි දේවල් පිළිබඳව මහාචාර්යවරයා මෙලෙස පැවසීය.

"ඔබට පුළුවන් ලස්සන ධිවර ගම්මානයකින් නිවසක් මිළදී ගන්න. ඔබට පුළුවන් සුඛෝපබෝගී බෝට්ටුවක් මිළදී ගෙන, උදැසනම ගොස් විනෝදයට මසුන් මරන්න. ඉන්පසු ඔබට දවල්වෙලා ඔබේ පවූලත් සමඟ දිවා ආහාර ගෙන, කදිම නින්දක් දාන්න පුළුවන්. සවස් වී ඔබේ දරුවන් සමඟ ගතකොට අවන්හලට ගොස් මධුවිතෙන් සප්පායම් වී, ඔබේ යහළුවන් සමඟ ගිටාරය වයමින් විනෝද වෙන්නත් පුළුවන්. "

ධීවරයා එයටද හොඳින් සවන් දුන්නේය.

"ඉතින් මම දැන් කරන්නෙත් ඕකම නේ. ඒකට ඩොලර් කෝටි ගණනක් ඕන නෑ නේ?"

-- බොහෝ දෙනෙක් මුලින් සිතන්නේ ධනවත් වීම ගැන පමණි. ඒ සඳහා බොහෝ වෙහෙසෙන්නේ ධනවත් වීමෙන් පසුව ලැබෙන දේ සඳහාය. එහෙත් ඊට පෙර සිටම හිමි සිතේ සාමය ගැන නොසිතනු ඇත.




Wednesday, May 21, 2014

නුඹ හොඳ මිනිහෙක් වන දා........

අහම්බෙන් අසන්නට ලැබුණ පහත ගීතය අසා බලන්න...... සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන එම ගීතය දැන් නම් ගුවන් විදුලි නාලිකා වලින් අසන්නට නොලැබෙන තරම්.......


අවාසනාවකට දැන් පරපුරේ සිටින දරුවන්ට නම් සමනළයෙකුට හිංසා කරනවා තියා, ඇත්ත සමනළයෙක් දකින්න තරම් වත් නිදහසක් නැතුව ඇති. එසේ නොවේ නම්, තරඟකාරී ජීවිත ගෙවන ඔවුන් පරිසරය තුළ නිදහසේ පැණි උරා බොන සමනළයෙකුගේ සුන්දරත්වය විඳින්න තරම් සෞන්ධර්යාත්මක අධයාත්මයකින් සම්පුර්ණ නැතිව ඇති.

ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසා බලන්න.

"නුඹ හොඳ මිනිහෙක් වන දා..... මල් පිපියන් මගෙ සිහිනේ........"

ඇත්තටම මගේ අම්මා තාත්තා මට පොඩි කාලෙදි කිව්වෙත් මේකම නේද?

කවදාවත් මට ඉංජිනෙරුවෙක් වෙන්න , තරගයන්ගෙන් දිනන්න,  ලොකු තනතුරු ගන්න කියලා නැහැ.

මොන රැකියාව කරත්, හොඳ මිනිහෙක් වෙයන් කියන දේ විතරයි කිව්වෙ. ඒ නිසාමද කොහෙද, වෙනස් දැක්මත් සකස් වුනේ.....

එත් ඒ අපට තිබු ළමා කාලයේ සුන්දරත්වය අද දරුවන්ගෙන් දෙමාපියෝ විසින්ම උදුරාගෙන අවසානයි.....

Tuesday, May 20, 2014

සරළ ක්‍රමයකින් PCB හදමු (How to make a PCB in simple steps)

මම මේ කියන්නේ මහා පරිමාණයෙන් Printed Circuit Board හදන විදියක් නම් නෙමේ... එදිනෙදා පරිපථ අත්හදා බැලීම් වලට සරළ විදියට PCB හදා ගන්න හැටියි. මෙම ක්‍රියාවලිය අදියරෙන් අදියරට සලකා බලමු.

1. අවශ්‍ය පරිපථ සටහන ඔබට හුරුපුරුදු මෘදුකාංගයක් භාවිතයෙන් ඇඳ ගන්න. මේ සඳහා Eagle හෝ DipTrace වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකියි. පහත රූපය DipTrace භාවිතයෙන් ඇඳි එවන් සටහනක් දක්වයි. ඒ වගේම, විශේෂයෙන්ම උපකරණ වල සවි වන දිශාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ප්‍රමාණවත් පළලකින් යුතුව රේඛා (traces) ඇඳ ගැනීමද, අවශ්‍ය ප්‍රමාණ මහතකින් පවත්වා ගැනීමද ඉතාම වැදගත්. නමුත් ගොඩක්  සිහින් රේඛා සහිත PCB නිපදවීමට මෙම ක්‍රමය සුදුසු නැත.


2. මෙම පරිපථ සටහන Laser Printer ක් භාවිතයෙන් තීන්ත උරා නොගන්නා, ලිස්සන සුළු මතුපිටක් ඇති කඩදාසියක මුද්‍රණය කරගන්න. එලෙස මුද්‍රණයේදී පරිපථ සටහනේ නිවැරදි පැත්ත වනුයේ, මුද්‍රිත පැත්තේ දර්පණ ප්‍රතිබිබ්බ රුපය (mirror image) ලෙස වේ. මේ සඳහා සුදුසු කඩදාසි වර්ගය සොයා ගැනීම සඳහා මුලදී සමහර විට උත්සාහයන් කීපයක් දැරීමට සිදු විය හැකිය. (2014 සඳහා ලංකා බැංකුව විසින් නිකුත් කර ඇති දින දර්ශනය සඳහා භාවිත කඩදාසියේ අනිත් පස  මම මේ සඳහා සාර්ථකව භාවිතා කලෙමි.) දැන් එම මුද්‍රිත කඩදාසිය අදාළ ප්‍රමාණයට කපාගෙන, පසෙකින් තබන්න.

3. ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන තබ පුවරුව අදාළ ප්‍රමාණයට කපාගෙන, එය හොදින් පිරිසිදු කරගන්න. මේ සඳහා "0" ප්‍රමාණයේ වැලි කඩදාසියකින් මැද, "වීම්" කුඩු යොදා ජලයෙන් හොදින් පිරිසිඳු කරගන්න. අදාළ තඹ පැත්ත ඉතා හොදින් පිරිසිදුවීම ඉතාම වැදගත්. දැන් එම පුවරුවේ ඇති තෙතමනය හොදින් වේලා ගන්න.

4. කලින් මුද්‍රණය කරගන්නා ලද කඩදාසිය ගෙන, මුද්‍රිත පැත්ත තඹ පුවරුව මතට සිටින සේ තබා, රත් කරන ලද iron එකක් භාවිතයෙන් හොදින් iron කර ගන්න. කඩදාසියේ රැළි කිසිවක් නොසිටින සේ, පරිස්සමෙන් මෙය සිදු කළ යුතුය. එමෙන්ම, සම්පුර්ණ කඩදාසිය පුරාම ඒකාකාරව හොදින් iron කර ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී, මුද්‍රණය කරන ලද තීන්ත උණු වී, තඹ තහඩුවේ ඇලීම සිදු වේ. එහෙත්, අනවශ්‍ය පරිදි තදින් රත් කිරීමත්, අඩුවෙන් රත් කිරීමත් නිසා, ඔබට අවශ්‍ය පරිදි මෙය සිදු නොවනු ඇත. දැන් එය නිමෙන තෙක් පසෙකින් තබන්න. ඇලී ඇති කඩදාසිය ඉවත් කිරීමට දැන්ම උත්සහ නොගන්න.



5. ජල බේසමක් ගෙන, කළින් සකස් කරගත් පුවරුව එහි දමා, කඩදාසිය පෙගෙන්නට හරින්න. දැන් සෙමෙන් සෙමෙන් කඩදාසිය ඉවත් කරගන්න. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.



ඉහත පෙන්වා ඇති පරිදි තවදුරටත් කඩදාසි කැබලි සුදු පැහැයෙන් ඉතිරිව පවතී නම්, ඒ සියල්ල ඉවසීමෙන් යුතුව ඉවත් කරගැනීම වැදගත් වේ. යම් ලෙසකින්, සුළු ප්‍රදේශයක traces නිවැරදිව පිහිටා නොමැති නම්, permanent marker pen 1 ගෙන කිහිප වරක් එම traces උඩ අඳින්න.

6. FeCl3 (Ferric Chloride) ගෙන, ඒවා ප්ලාස්ටික් භාජනයකට දමා (හෝ, ජලයට Ferric Chloride කැට සෙමින් එකතු කරමින්) ද්‍රාවණයක් සාදා ගන්න. Ferric Chloride අත් වල හෝ ඇඳුම් වල තවරා නොගැනීමට පරෙස්සම් වන්න. දැන් සකසා ගත් පුවරුව එම සංයෝගය තුළට දමා, දෙපසට කලතමින් හොදින් නිරීක්ෂණය කරන්න. මෙහිදී Cu, FeCl3 සමග ප්‍රතික්‍රියා කර, පුවරුවේ විවුර්ත ප්‍රදේශයේ තඹ සියල්ල දිය වීම සිදු වේ. නමුත්, බොහෝ වෙලාවක් පුවරුව මෙම සංයෝගය මත නොතබන්න. අනවශ්‍ය තඹ සියල්ල දිය වුනු පසු, පුවරුව ඉවතට ගෙන හොදින් ජලයෙන් සෝදා ගන්න.




7. Tinner පෙඟ වූ රෙදි කැබැල්ලකින් පුවරුව හොදින් පිස දමන්න.


ඉහත රුපයේ පෙනෙන පරිදි, සමහර ස්ථාන වල traces විනාශ වී ඇති බව ඔබට පෙනෙනු ඇත. නිවැරදිව iron නොවීම මෙයට හේතුව වේ. නමුත්, පරිපථය සකස් කරන අවස්ථාවේදී පහසුවෙන්ම ඊයම් යොදා මෙය පිළිසකර කරගත හැකිය.

8. දැන් 0.8mm ප්‍රමාණයේ ඩ්‍රිල් කටුවකින් කුඩා සිදුරු ද, 1mm හෝ, ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කටු යොදා, සිදුරු විද ගන්න.

ඉහත ක්‍රමයට සාදා ගත් තවත් පරිපථ පුවරුවක් පහත දැක්වේ.



ඔබට මෙවැන්නක් අවශ්‍ය වූ විට, මෙය අත්හදා බලන්න. උපකරණ සවි කිරීමට පෙර විනිවිද පෙනෙන වාර්නිෂ් තුනී තට්ටුවක් ආලේප කිරීමෙන් තඹ පටි ඔක්සිකරණය වීමෙන් අව පැහැ ගැන්වීම වලකා ගත හැක. අධිසැර විදුලි (High Voltage) පරිපථ පුවරුවක් නම්, උපකරණ පාස්සා ගැනීමෙන් පසු ෂෙලැක් අලේප කිරීමෙන් පුලිඟු (sparks) ඇතිවීම වලකා ගත හැක.

විශේෂ ස්තුතිය - යන්ත්‍රික අධිකාරී කසුන් මහතා. (මා. ස. අ.)

Saturday, April 19, 2014

අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ......

එක සැරේටම හිතට දැනෙන්නේ නැති උනත්, කල්පනා කරනකොට මතුපිටින් ඇති අරුතට වඩා ගැබුරු අරුතක් ඇති මේ ගීතය අසා බලන්න.

අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ, සිතුවිලි පව්වේ පෙරදිග අහසේ, හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි.....

හිමිදිරි යාමේ සිත නැමැති පව්වේ පෙරදිග, බුදුරැස් දැක ගත්තෙමි. සමාධිමත් වූ සිතක ප්‍රභාශ්වර සමාධි ආලෝකය තුලින් බුදු රුව දැක ගත්තෙමි..... සිතේ සමාධිය දියුණු වන විට කෙළෙස් තුනී වීම සමග මෙතෙක් කල් අදුරුව පැවැති සිත නමැති අහස, අරුණළු සමග ආලෝකමත් වන පෙරදිග අහස මෙන් ආලෝකමත් වීම, භාවනාව තුළින් සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට සිදුවෙන දෙයක්.

"කළුවර ගොණුකොට ගිමන් දවන මග ගමන් කළෙමි දුර සසර පුරා..." අප්‍රමාණ සද්ධාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සියළු සැක සංකා දුරු වන මොහොත (සෝවාන් අවස්ථාව) එළබෙන විට, සංසාර ගමන මොන තරම් දුක් සහිතද කියන අවබෝධය ලැබේවි. අවිද්‍යාව නිසා, මෙතුවක් කාලයක් පස්කම් සැප එක්තැන් කරගෙන දුර සංසාරය පුරා ගමන් කළ බව වැටහේවි...

"මහ කරුණාවේ සිලිල ගලා එන බුදු හිමියනි ඔබේ මෙත් දහරේ, නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදා හැර...."  අවම වශයෙන් ධ්‍යාන දක්වා වත් සිත දියුණු කළ අයෙක්, මේ ලෝකයේ ඇති සියලු සැප අභිබවා යන ධ්‍යාන සුඛය වර්ණනා කරාවි. බුධ්ධානුස්සතිය දියුණු කළ කෙනෙක් නම්, ජීවිතය ගැන ආශාව පවා අත්හැර, බුද්ධ මයිත්‍රීය තුළ නැහැවෙමින් සිටීවි.......

වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙන්න. මගේ සිතට දැනුන හැගීමක් මෙලස අකුරු කලේ.....

තවත් සිතා බලන්න. අත්දකින්න උත්සාහවත් වෙන්න....

Thursday, March 20, 2014

සිතන්නට යමක්.....

දිවයින පත්තරේ ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා විසින් පළ කරන ලිපියකින් උපුටා ගත්ත මේ කොටස එක වරක් නොව, දහස් වරක් උවද කියවා තේරුම් ගැනීම යහපත් වේවි. 

:: අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා 'දුකක්‌' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌, සෑම දවසක්‌ම සුබ දවසක්‌. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක්‌ පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌ වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්‌, හූනියමක්‌, එහෙම නැතිනම් කොඩිවිනයක්‌. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක්‌ තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක්‌ කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි' කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක්‌ බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක්‌ වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'

මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක්‌ ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක්‌ නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත :::


- Sunday Diwaina (Maha Rahathun Wadi Maga Osse)