Sunday, July 31, 2011

"Rahatunge Maga" - The way of Arhath 9

සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු...
ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි.

ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය.

එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක්‌ බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක්‌ බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි.

ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක්‌ ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්‌ සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක්‌ සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක්‌ නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ.

ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්Cධායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක්‌ නොමැත. යමක්‌ ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය.

ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස්‌ වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට "දිවට" ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට.

එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස්‌ විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්‌, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට්‌ සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක්‌ ගිලගැනීමට බැරි දවසක්‌ අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය.

රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඔබ කැමතිම ආහාරයක්‌ නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්‌, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක්‌ කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක්‌ ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක්‌ නැති ආගන්තුක සිතක්‌ නිසා මෙතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක්‌ ආහාරද, කොටසක්‌ ජලයද, කොටසක්‌ හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස්‌ වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.

Sunday, July 17, 2011

"Rahatunge Maga" - The way of Arhath 8

නිවන් මඟ වඩනා භික්‍ෂුවක්‌ වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත යුතුය.

එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්‌, දෙකක්‌, තුනක්‌ ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක්‌ ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද, විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහරදෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්‌කයටම පහරදුන්නොත් පරාජය වන්නේ මාරයාය. ඔබ මෙවර මාරයාට වඩා දක්‍ෂ විය යුතුය.මොකද සසර මෙතෙක්‌ ඔබට වඩා දක්‍ෂවී ඇත්තේ මාරයාය.

සමහර විට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක්‌ විඳ නැතුව ඇත. ඔබ දන්නේ 'කුසගිනි වෙනවා, ආහාරගන්නවා' පමණක්‌ විය හැක. ඔය චක්‍රය අපගේ දිනචර්යාවේම කොටසකි. මුළු මහත් සත්ව ප්‍රජාවගේම ස්‌වභාවයයි. නිවන් මඟ වඩනා භික්‍ෂුව සමස්‌ත සත්ව ප්‍රජාවට වඩා වෙනස්‌ සත්වයෙකි. වෙනත් අරමුණක්‌ අධිෂ්ඨානයක්‌ කරා යන සත්වයෙකි.

ඉර-හඳ- තාරකා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව, හඳහන, හස්‌ත රේඛා බලා ලෝකයේ සිටින දක්‍ෂම ජෝතීර්වේදියා ඔබට කීවොත් 'තව වසර 50ක්‌ ඔබට ආයුෂ තියනවා' කියලා. ඔබට දීර්ඝායුෂ තියෙනවා කියා. ඔබ දින කිහිපයක්‌ ආහාර නොමැතිව ඉන්න. ඔබව මැරෙනවාමය.

ඇයි දන්නවාද? මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවහම හොඳට අවබෝධවෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කයට ආහාර නොදුන්නොත් ජීවන රේඛාව කොපමණ දිගට තිබුණත් ඔබ මිය යනවාමය. මේ ඔබ මහත් උජාරුවෙන් සරසාගෙන, මගේ කියා දරාගෙන සිටින කය. ආහාරයක්‌ නොදුන්නොත් මැරෙන කයක්‌, මෙය පිළුණු වන ආහාරයට අයිති කයක්‌. ආහාර නොදුන්නොත් මැරෙන කයක්‌, ඔබට අයිති, ඔබට පාලනය කිරීමට හැකි දෙයක්‌ නොවේ.

ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන, ජ්‍යෙdතිෂ්‍යය, හස්‌ථරේඛා, නාඩි වාක්‍ය ඔබට මාරයා සසර දික්‌කර ගැනීමට අටවපු මාර උගුලක්‌ බව. මේ උගුලට ඔබ හසුවී නිවන් මඟට අවතීර්ණ වන එක කල්දමනවා. මම දන්න ඉතාමත් ගුණවත් සත්පුරුෂ නායක හිමිනමක්‌ ඉන්නවා, ඉහළ රැකියාවක්‌ හොඳ සමාජ තත්ත්වයක්‌ තරුණවියේදී අතහැරලා පැවිදිවෙලා. මුළින් නිවීම අරමුණු කරගෙන දැඩි වීර්යයකින් කටයුතු කරපු උන්වහන්සේට ජ්‍යෙdතීර්වේදියක්‌ ප්‍රකාශකර තිබෙනවා, ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නේ තව වසර 10ක පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිසය පැත්ත දැඩිව වඩනවා. නිවන් මඟෙන් පිටට ගිහිල්ලා.

ශ්‍රද්ධාවෙන් සියල්ල අතහැරලා, දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්වලා.

මාරයා ඔබට හඳහන, හස්‌ත රේඛා, නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉරාදමන්න. අවබෝධ කරගන්නා මේ කය ආහාරය නිසාමය පවතින්නේ...ජයග්‍රහණය, උත්සහයත්, වීර්යයත් නිසාමයි සිදුවන්නෙ කියා.

ශරීරයේ ධාතු කොටස්‌ අතරින්, වායෝ ධාතුව ඉතාමත්ම හොඳින් පැහැදිළිව ඔබට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්ය. කය නිරාහාරව තැබුවොත් ඔබට දැනේවී ආමාශය, උගුරු දණ්‌ඩ, මළමාර්ගය හරහා මොනතරම් වේගයෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුළ ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කළයුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමමයි.

මේ අවස්‌ථාවේදී මාරයා ඔබට කියාවී, 'ඔබ මැරෙන්නද යන්නේ, ගෑස්‌ට්‍රයිටීස්‌ හදාගන්නද යන්නේ. හැදුනොත් හැමදාම දුක තමයි. කලන්තය හැදුනොත්?......'

මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා. මොකද මෙසේ ඔබට කියන්නේ මාරයාමය. මාරයා යනු කෙළෙස්‌බරිත, කාම සැපයටම ලොල්වූ, ඇති වෙමින් නැති වන ඔබේ සිතය.

ඔබ එවිට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌, මේ කුණු කය මට අයත් දෙයක්‌ නොවේ යෑයි අවබෝධයෙන් අතහැරීම මඟවඩන භික්‍ෂුවක්‌. මේ කය මළත් මගේ අධිෂ්ඨානය අත්නොහරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලවා පහරදෙන භික්‍ෂුවක්‌ වෙනවාය. මෙසේ සිතමින් මාරයට පහරදෙමින් වායො ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එහි අනිත්‍ය බව වඩනකොට, මාරයා බියට පත්වේවි මේ භික්‍ෂුව මාරයාට අහිමිවේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්‍ෂුවට චාටුවක්‌ දමාවී 'ඔබ මේ විදිහට නොකා ඉඳලා මළොත් නිවන් දකින්නනම් ලැබෙන එකක්‌ නෑ' කියලා.

බලන්න කපටි මාරයා නිවන ගැනත් කථා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන, මාරයාගේ ස්‌වභාවය ගැන ඔබ සිහියෙන්, සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටුවනවාමය.

මොකද "මළොත් නිවන් දකින්න බැරිවෙයි කියලා කියපු නිසා." මාරයා මෙසේ කීවත් ඔබ සිතන්නේ, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිතිවිල්ලක්‌ කියලා. නිවන් මඟ වඩන ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. මේ මාර උපක්‍රමවලට වැට බඳින්න. නමුත් බහුතරය මෙතැනදී පරදිනවා. මොකද 'නිවන' කියන වචනය මාරයා පාවිච්චිකළ නිසා. මාරයා කපටිකමටයි ඔය 'නිවන බැරිවෙයි' කියන වචන පාවිච්චි කරන්නේ.

හැබැයි ඔබ මෙතැනදී දක්‍ෂ වුවහොත්, මේ කය, මේ වේදනාව මගේ නොවෙයි කියලා, මේ වායෝ ධාතුවද මගේ නොවෙයි කියලා දකින්න. ඉනුත් ඔබ්බට ගිහිල්ලා මාරයා ඔබට කියූ නිවනද මට අයිති දෙයක්‌ නොවන බව දකින්න. නිවනට ඇති ආශාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මඟේ උපරිම දුරක්‌ ගිහිල්ලා. හැබැයි උත්සහය, වීර්ය තිබෙන්න ඕනේ නිවීම උදෙසා මේ කය අතහැරීමට.

දැන් ඔබට තේරුනාද 'කුසගින්න ආශිර්වාදයක්‌' කියලා කීවේ ඇයිද කියලා. ඔබ එකවේලක්‌ හෝ නිරාහාරව සිටිය යුත්තේ ඒ තුළින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කරගැනීම සඳහා මිස හුදු ශිල්වත් බව සංකේතවත් කිරීමට නොවේ. මන්ද ශීලයද, ආහාරයද ඔබව සසරටම කැන්දාගෙන යන මාර බලවේග නිසාය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Thursday, July 14, 2011

"Rahatunge Maga" - The way of Arhath 7

මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්,
නිවන් මග පුරන, 'දක්‍ෂ',
ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය
උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!

තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!

අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!

අනුනටද අනුකම්පා කෙරේවා!

වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!

මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!

තමා තමාටම පිහිටකොට ගනිත්වා..

යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි.

රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි.

රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි.

ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.

හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.

මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.

එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි. මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද? කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි. සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි. එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න. ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න.

සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.

විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.

විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් "ෙච්තනාහං භික්‌ඛවේ කම්මන් වදාමි" යන බුදු බණ පදය තබන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.

නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ

"Rahatunge Maga" - The way of Arhath 6

පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්‌මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්‌වාමීන් වහන්සේලාගේ ස්‌වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්‌වභාවය නිසා විවිධත්වයක්‌ ඇතිවීම ස්‌වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරැදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා, දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසවී සියල්ල කරන්න. හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්‌තිය ලෝකයට හොරෙන් ශක්‌තිමත් කරන්න. ඔබ සිදුකරන සෑම ක්‍රියාවකට අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළ ද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්‌තිමත් වන්න. දායකයන් උදෙසා බෝධිපූජා, පෙරහැර, කඨින පිංකම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක්‌ දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්‌තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්‌ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න.

සමාජසේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක්‌ කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්‌කය නිවන් මගය කියා අරමුණ සිහිකරන්න. ලෝකයට කොතෙක්‌ මහන්සීවී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල්මුල් දොස්‌ පරොස්‌ බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්‌වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැති නම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්‌වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න.

රෝගීන්ට උපස්‌ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක්‌ යනු දේවදූතයෙක්‌ බව දකින්න. රෝගියාගේ කයේ ස්‌වභාවය, ඔහු විඳින වේදනාවේ ස්‌වභාවය, රෝගයේ ස්‌වභාවය ඔබට ද පොදු බව සිතන්න. ඔබේ ස්‌වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්‌ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක්‌ මහ රෝහලට, ළමා රෝලට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්‌ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදාගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස්‌ ගැලවී ගිය. පියයුරු ඉවත් කළ රෝගී පිංවතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්‌ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්‌වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුළා කරන රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල සෑම ආහාරයක්‌ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්‌කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරක්‍ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක්‌ සඳහා දැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක්‌ බව දකින්න. හැමදෙයක්‌ම කමටහන් කරගැනීමට ඔබ දක්‍ෂවන්න.

ඔබ බසයක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යැමට කොළඹින් බසයක නැඟ පානදුරට ළංවෙද්දී, ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍යවුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යැමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ වුවමනාව උදෙසා කැපකරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්‌තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුළාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මඟ හදාගන්න. නිවන් මඟ සොයායැම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අත්හැර, සියල්ලන්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න.

ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දක්‍ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න.

ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්‍ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්‍ෂාව සලසාගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙනතෙක්‌ ප්‍රමාද කරන්න. ඉක්‌මන් නොවන්න වගබලාගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්‌කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න.

ඔබ තවමත් ගිහි පිංවතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැමදෙයක්‌ම අත්දැකීමෙන් රස විඳ බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත්නොවිඳ, අත්නොදැක අනිත්‍යය දකින්නට යැමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක්‌ වෙතොත්, නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් "ගිහිවත" සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන්කෙතට පියනඟන්න.

ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක්‌ පැවිදිකරගන්න. ඔබ පුරුදුකරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීක්‍ෂාකර බලන්න පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්‌ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක්‌ ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආශා කරනම රූපයක්‌ ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්‌තිය තිබෙනවාද කියා. පිළිතුර "ඔව්" නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්‌සෙක්‌. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස්‌ ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්යය වඩන අධිෂ්ඨානසහගතව නිවන් මඟ වැඩීමට හැකි පිංවතුන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරක්‍ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරක්‍ෂාකිරීමට බලාපොරොත්තුව පැවිදි වන පිංවතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්‍ෂාකරදෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්‍ෂයා ලෝකයෙන් එතෙරවීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්‍ෂ වුවහොත් එය ශාසනය ආරක්‍ෂා කරන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක්‌ වනවා ඒකාන්තය.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ

"Rahatunge Maga" - The way of Arhath 5

මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්‌මෙන ළමා තරුණ භික්‍ෂූන් වහන්සේලා හට නොව, ජීවිතාවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුළින් රැස්‌වන්නේ දුකම බව දැක, ගිහිබැමිවලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදීමේ ජීවිතයේදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත් පුරුෂයන් විශාල පිරිසක්‌ මේ ශාසනයේ සිටින බව සත්‍යයකි. ඒ මග යන්න ඔබ රුචිනම් ඔබටද මග විවෘතය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ ඊළඟ උරුමක්‌කාරයා වීමට නොව, දිව්‍ය බ්‍රහ්ම සංඥ වැඩීවීමට නොව මේ ආත්මයේදීම නිවන් මග පරිපූර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්‌තිය තිබිය යුතුය. ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මය අනුව නිදහස යනු මීට විරුද්ධය සිතීමයි.

බුදු පුතකු ලෙස මුලින්ම ඔබට නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ, ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක්‌ තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක්‌ නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුම, පණ්‌ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යැමය. එසේ නොමැති නම් මිහිරි ස්‌වරයෙන් බුදුමැදුරට, බෝ මළුවට කොටුවී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයෝ මේවාට ඉතා ප්‍රියයි. භික්‌ෂූන්වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රියභාවය, සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස්‌ ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදිවූ හාමුදුරුවෝ දායක පිංවතුන් සතුටු කරන රූකඩයකි.

මෙහිදී ඔබ දක්‍ෂ විය යුතුයි සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්‍ෂ මාර්ගය වැඩූ කල්‍යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ එය මගහරින්න එපා, ඔබ ශක්‌තිමත් තැනකට එනතුරාවට, නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව ඔබ සිතන්න, දකින්න, මීට වඩා ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නෑ ඔබට.මෙම ගමනේදී, ඔබට හැමෝම කියාවී රැස්‌කරන්න කියලා. මොනවද? දැනුම, ගාථා පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ... මේ සියල්ල ඔබ අතහරින්න, ඔබ සැහැල්ලුවන්න. හැම බරකින්ම නිදහස්‌වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්‌. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇති බව ඔබට විශ්වාසනම්, ඔබගේ ශීලය ගැන ඔබට කුකුසක්‌ නොමැතිනම්, වනයේ හුදෙකලා කුටියක්‌ තෝරාගැනීමට ඔබ සුදුස්‌සෙක්‌. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක්‌ නොමැතිනම් වනයේ කුටියක හුදෙකලා වීමට ඉක්‌මන් නොවිය යුතුය. ඔබ ශක්‌තිමත් නොවීම මාරයාට ගොදුරකි. වනයේදී ගල්කුටියේදී අමනුෂ්‍යයන් ඔබව වහලෙක්‌, රෝගියෙක්‌, මානසික ලෙඩෙක්‌ කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මගවැඩූ කල්‍යාණ මිත්‍රයකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්‌තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී ශීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්‌වාමීන්වහන්සේගේ ගෝලයෙක්‌ද, යන්න නොව, ඔබ නිවැරැදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහි, ඔබ කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්‍යාණ මිත්‍රයකුගෙන්, ගුරුවරයකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න.

තමාගේ ආරක්‍ෂාවට අවශ්‍යම මොහොතේදී පමණක්‌ භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනක්‌, කරණීයමෙත්ත සූත්‍රයත්, කන්ද පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න, අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග වැඩීම පහසුකරගත හැක. අන් සියල්ල ඔබ අතහැරීමට දක්‍ෂ වූයේ නම් පමණක්‌, ඔබ දැන් නිවන් මෙහෙයුමට සූදානම්ය.

හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්‌ණාඩියක්‌, උණුවතුර බෝතලයක්‌, ශීතලට පොරොවන පෙරෝනයක්‌, මේ වගේ දේවල් තිබුණොත් ඔබ තවම සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ "මගේ කයේ සැප" පිළිබඳ ෙච්තනාවයි. සියල්ල අතහරින්න. එතෙක්‌ ඔබ සූදානම් නොමැත. මුහුණ බලන කණ්‌ණාඩිය අතහැරීමට බැරි කෙනකුට කය අතහැරීමට කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිඳුන් සිතින් මවාගන්න. ඔබේ හදවතට වඩම්මවාගන්න. නිරතුරුව ඔබ උන්වහන්සේගේ සෙවණෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමඟ සිතින් ජීවත්වන්න.

උන්වහන්සේලා සමඟ හදවතින් මුමුණන්න. උන්වහන්සේලාගේ ඇවැතුම් පැවැතුම් ඔබේ ජීවිතයට එක්‌කරගන්න. උන්වහන්සේලා නිවන් අවබෝධ කරගැනීමට ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න. ඉහත උපක්‍රම භාවිතකොට ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු කරගන්න. මාර බැමි එකිනෙක කඩාදමමින්ද, අත්හළයුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයා ඉදිරියේ රහතන් වහන්සේ කෙනකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ස්‌වභාවධර්මයත් ඔබත් දෙකක්‌ නොව එකක්‌ බවට පරිවර්තනය කරගන්න දක්‍ෂවන්න, ඔබ ඉදිරියේ තිබෙනා රූස්‌ස ගසත් ඔබේ කයත් සංසන්දනය කොට බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක්‌ බව දකින්න.

ඔබ නැවතත් හිතන්න, ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්‍ෂුවක්‌ පමණයි. ඔබ හැකිතාක්‌ විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රි නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක්‌ ඇතිකරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්‌ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්‌, බැඳීමක්‌, ගැටීමක්‌ නැතිව පිටකිරීමට පමණක්‌ බව සිහිකරන්න. මොන හේතුවක්‌ නිසාවත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල ගැන නොසිතන්න. ඒවා කෙළෙස්‌ ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ග ඵල තණ්‌හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය zඅනාගන්නාZ බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමතනම් නිදාගන්න. සරළව, පහසුව, නිදහස්‌ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියයන් හයට ඵස්‌ස වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිතන්න.

ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමඟ බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මාරයාව රවට්‌ටන්න. බිය ගන්වන්න. තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රවට්‌ටවන්න කරන දේවල්. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිsවීම මනසින් දකින්න. එම ධාතූන් වහන්සේලාගෙන් ගොඩනැගුණුqqq ස්‌ථූපයන් දකින්න. ඒ ද විනාශ වන බව මනසින් දකින්න.

දැන් නැවතත් ඔබ මාරයාව රවට්‌ටන්න. රුවන්වැලි මහාසෑය, කිරිවෙහෙර මහාසෑය, ජයසිරිමා බෝ සමි¹ණන්, දන්ත ධාතූන් වහන්සේ සිතින් මවාගෙන සාධුකාර දෙන්න. දැන් නැවත මාරයාව තැතිගන්වන්න. ඉහත වන්දනීය පූජනීය වස්‌තූන්ද කාලගුණික, දේශගුණික, යුදමය හේතූන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍යය මාරයා මත ටිකෙන් ටික පටවන්න.

ලෝක ධාතුවේ හැමදෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුළා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න.

බොක්‌සිං තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහරදෙමින්ද, උපක්‍රමශීලීව පහරදෙමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත්කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්‌ටන්න. ඔබේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් ද මන්දගාමීද නොවන්න. ඔබේ ස්‌වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ, තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද?...........

මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක්‌ දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක්‌ ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්‌මන් වේවි. අදාළ රූපය සුරූපීs කාන්තා රුවක්‌ කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්‌ගෙඩියෙක්‌a ලෙසින් පටන්ගෙන, නව මාසයක්‌ බැලුම් බෝලයක්‌ වැනි මව්කුසේ විඳි අනන්ත වේදනා, මර ළතෝනි දීගෙන ලෝකයට බිහිවන, මළ මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස......

ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්‌සන රූපය ඇටසැකිල්ලක්‌ කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස්‌ එල්ලාගෙන සිටින ස්‌වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්‌, නහර විනිවිද ගොස්‌, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න.

ලස්‌සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න.

පංච උපාදානස්‌කන්ධය, සප්ත බොඡ්Cධග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, ඔබ, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීව්‍රර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න.

ඔබ තවම සිටින්නේ පුහුණු මට්‌ටමකය. තවම තරගය පටන් ගත්තේ නැත. තවම ඔබ තරගයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්‌තිමත්ව උණුසුම් වන තරමට තරගයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරගයකි. තරගයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්‌ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන් තරගකොට ජයගත් තරගයකටය. මේ තරගයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්‌ථිරය.

ඔබ සරළ වන්න. සැහැල්ලු වන්න. නිදහස්‌ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පැන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදාගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්‌පේන්තු අනිත්‍යයකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්‌ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්‍ෂව ලස්‌සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්‌සනට නොඇලීමට ලස්‌සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්‌තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්‌සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක්‌, ඇටසැකිල්ලක්‌ සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්‌ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්‌සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්‌සන බවට යමක්‌ පත්වන්නේ ලස්‌සන තිබුණහොත්ය. මන්ද ලස්‌සන අනිත්‍ය වී අවලස්‌සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය.

ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොව්තුරා බුqදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදුකුටියක්‌ නිසා. උන්වහන්සේ ඔබට කියාදෙනු ඇත. ඊළඟට ගතයුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්‌තිරාජයෙකු සේ වීර්යයෙන් නැඟී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩසිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ නිවන් මඟ යනු දෙකක්‌ නොව එකක්‌ බව ඔබට වැටහේවී. නිවන් මඟ වඩන්න. බුදු සමි¹ණන් දකින්න.

මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස්‌ පියාගත් සැණින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදුසමිඳුන්වත් අට්‌ඨික සංඥාවෙන් දැකීමට සිදු වනු ඇත. එයට ඔබ ශක්‌තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එතෙක්‌ ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්‍ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්‍ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්‌තෘන්වහන්සේද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුළද සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොවන බව ඔබට අවබෝධ වන නිසාය.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ