Thursday, July 14, 2011

"Rahatunge Maga" - The way of Arhath 4

මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන "භික්‌ෂුවට" වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් "ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ" යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින් සතුටු වීම සහ ගිහි පිංවතුන් යුතුකම් මඟහරින්නේ නම්, එයද කමටහනක්‌, ලෝක ස්‌වභාවයක්‌ යෑයි ගෙන ලෝකයෙන් මිදි යැමය. භික්‍ෂුවට උපරිම මට්‌ටමින් යෑපීමට අවශ්‍ය තුන් සිවුරන් පාත්‍රයත් කුටි පහසුකමත් පමණි. නිවන් මඟේ සීමාවද මේ අවමය තුළ ගොනු වී පවතී. භවමඟේ සීමාව මීට වඩා විශාල වශයෙන් පුළුල්ය.

තමා විසින් කළ යුතු වත් රාශියක්‌ ආරණ්‍යය තුළ ඇත. මිදුල් ඇමදීම, කුටි පිරිසිදු කිරීම, දාන ශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්‍ෂූන්ට උපස්‌ථානය කිරීම, බුදු මැඳුරේ පූජා කටයුතු, වැඩිහිටි භික්‍ෂූවන්ට ආගන්තුක භික්‍ෂූවන්ට උපස්‌ථාන කිරීම යන මේවා භික්‍ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත් පිරිසිදු භාවයත්, තමා තුළ මාන්නය වැනි කෙලෙස්‌ දුරු කර ගැනීමටත් වත අතිශයින්ම උපකාර වේ. මාන්නය, අහංකාරකම උඩගු බව ඇති කිසිවකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය. එවැනි අය මඟ වැඩූ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකු දෙන නිවැරැදි උපදේශයට වඩා, ඉහළින් යැමටත්, නිතරම තමා ගුරුවරයා වීමටත්, සිතනු ඇත. අනුන්ට සවන්දීමට කැමති නොවනු ඇත. නිවීම සඳහා යන ගමනේදී උස්‌, පහත්, දුප්පත්, පෝසත්, ලොකු, කුඩා ඕනෑම දෙයක ඉගෙනීමට යමක්‌ ඇති නම් එය ඉගෙන ගැනීමට අපි දක්‌ෂ විය යුතුය. මාන්නය ඇති තැනැත්තාට මෙය කළ නොහැකිය. මේ සියල්ලටම බෙහෙත වතය.

ඔබ වැසිකිළිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල ඇමදීමේදී, මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කුණු බවයි. නිවන් මඟට සිත පිරිසිදු කරගත යුත්තේ මෙසේය. මාරයාගේ ස්‌වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබාදීමට ඔබව පෙළඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාරයාට නොව ඔබගේ නිවන් මඟටය.

ඔබ සිතිය යුත්තේ වැසිකිළිය කිසිවෙක්‌ නොසෝදා ඇත්තේ, මිදුල කිසිවෙක්‌ අතු නොගා ඇත්තේ ඔබේම යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. මෙවැනි වත් ඔබ මඟහරින විට, ඔබේ සිත කුණු අශූචි වැනි කෙලෙස්‌වලින් දිනපතා පිරෙන බව වටහාගත යුතුය. කුණුවලින් පිරිණු සිත මාරයාට හොඳ තෝතැන්නකි. සෑමවිටම ස්‌ථානයේ සිටින වැඩිපුරම පඩික්‌කම් සෝදන භික්‍ෂුව වීමට ඔබ මැලි නොවිය යුතුය.

නිවන් මඟේ හික්‌මෙන භික්‍ෂුව සෑම විටම නිහතමානීකමේ උපරිමේ සිටිය යුතුයි. කෙනෙක්‌ ඔබගේ හිසටය අත සේදුවද එය ඔහුගේ ස්‌වභාවය යෑයි සිතා ඔබ ඔබේ ස්‌වභාවය තුළ නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසු පසින් සිටීමටත්, දහසක්‌ දේ ඔබ දන්නවා වුවද, කිසිත් නොදන්නෙක්‌ සේ පිරිස ඉදිරියේ හැසිරිය යුතුය. ඔබ ගොළුවෙක්‌ නොවේ. අහන දෙයට පිළිතුරු දෙන අයෙක්‌ විය යුතුය. මෙසේ ඔබ හැමෝටම පසුපසින් යැමට කිසිම පැකිළීමක්‌ දැක්‌විය යුතු නැත. පසු පසින් යන්නාට සෑම විටම ඉදිරියෙන් යන අය දෙස බලා යැමත් ඉගෙනගත හැකිය. ඉදිරියෙන් යන සියල්ලන්ගේම ගුණ අගුණ, හැසිරීමේ අංග චලනයේ ස්‌වරූපය, විවිධත්වය නිරීක්‍ෂණය කළ හැක්‌කේ පසුපසින් යන්නාටය. ඒ අයගේ හොඳ ද, නරකද ඔබ බැහැර කළ යුතුය. සියල්ලන් තුළ ඇත්තේ සතර මහා ධාතූන්ගේ විවිධත්වයක්‌ පමණක්‌ බව දැකිය යුතුය. තමා අන්තිමයා වීමෙන් ලද අවස්‌ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. තමා අන්තිමයා වීමෙන් තමන්ට අන් හැමෝම දකින්නට ලැබීමත්, ඉදිරියෙන් යන අයට තමාව දකින්නට නොලැබීමත්, ඔබ ලැබූ භාග්‍යයක්‌ බව දකින්න. ඔබ අහිංසක ලෙස මෙම ලෝක ධාතුව තුළ මනුෂ්‍යයකුට යා හැකි ශ්‍රේෂ්ඨම ගමන යන විට වැඩිහිටි ස්‌වාමීන්වහන්සේලා ඔබගෙන් අසාවි "ආයුෂ්මතුන් මහණ වුණාට මොකුත්ම දන්නෙ නැහැනේ. සිවුරු හැරලා යන්න හිතාගෙනද ඉන්නේ" වැනි ප්‍රශ්න. මෙවැනි අවස්‌ථාවලදී ඔබ නොදන්නා බව හඟවන්න. ඔබ දන්නා බව කියන්න ගියොත් ඒ වැඩෙන්නේ මාන්නයමය. ඒ ප්‍රකාශය කරන්නේ මාරයාය. ඔබ කලබල නොවන්න. ඒ හිමිවරු කියන දෙයට නිහතමානීව සවන් දෙන්න. ඔබ මේ සියලු ක්‍රියාකාරකම් ඔබට අයිති දේවල් නොවන නිසා අතහරින්න. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කර නොගන්න. ඔබගේ මේ අත්හැරීමේ ක්‍රියාව දැනගත යුත්තේ ඔබම පමණකි. දෙවැන්නෙන් එය දැනගතහොත්, ඒ ක්‍රියාත්මක වූයේ මාරයාය. නිවීම ඔබ තනිවම යා යුතු ගමනකි. අවසානයේ ඔබද ඔබට අතහැරෙනු ඇත. ඔබද ඔබට අතහැරෙන මොහොත භවගමන නිමා වන මොහොතයි. මේ ජයග්‍රහණයට මඟ වියදම් දෙන්නේ "වත" බව දෙවරක්‌ නොසිතාම ඔබ දැනගත යුතුය. මඟ වියදම යනු නිහතමානීකමයි. නිහතමානීකමේ උපරිමය මමත්වයේ නිවීමයි.

බුලත් කෙල බැඳුණ පඩික්‌කම, මුත්‍රා කහට බැඳුන වැසිකිළියක, මකුළුදැල් බැඳුන දාන ශාලාවක, නිවීම සඳහා අවශ්‍ය කළමනා ඇති තැන් බව අමතක නොකරන්න. මමත්වයේ නිවීම සැබැවින්ම ඔබට අත්දැකිය හැක්‌කේ නිහතමානීකමේ උපරිමයට ඔබ පැමිණි කල්හිමය.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් තම අත් අකුරින් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

"Rahatunge Maga" - The way of Arhath 3

තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි.

යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය

'ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?'

'ඇත්තෙන්ම නැහැ'

උන්වහන්සේ පිළිතුරු දුන්හ.

'ඒ කොහොමද?' පාවහන් පළඳින භික්‍ෂුව පෙරළා විමසීය

'මම මෛත්‍රිය කරනවා. මුලින්ම දශ දිශාවටම. ඊට පස්‌සේ මේ කැලයේ ගස්‌, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රිය කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්‌ම, මුලක්‌ම, කටුවක්‌ම, අත්තක්‌ම සුවපත් වේවා කියලා, සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිතනවා. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවා' යෑයි ඒ පාවහන් නොපළඳින භික්‍ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ.

සැබැවින්ම මෙය ආශ්චර්යයක්‌ නොවේ. ගල්, මුල්, කටුවලට ඔබ මෛත්‍රි කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්‌සමෙන්. ඒවාට හානියක්‌ වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්‌සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදිත්......

මෙවැනි දුෂ්කර භික්‍ෂු චර්යාවන් නිවන් මඟට, ඔබගේ ප්‍රතිපදාව ශක්‌තිමත් වීමට හුඟාක්‌ ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුණහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක්‌ පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැපැයි නේද කියලා.

ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්‍ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය.

මන්ද, ගලක්‌ කුලක්‌ කටුවක ඇනෙන විට, මඩ ගොඩක්‌, කසල ගොඩක්‌, රොඩු ගොඩක්‌ පෑගෙනකොට යටි පතුළට දැනෙන එහි ස්‌වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සෙරෙප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, දෙපා ආරක්‍ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්‌හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්‌මනින් යමක්‌ ස්‌පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්‌හාව තුළින් ගොඩනැඟෙන්නේ බවය මිස අන් කුමක්‌ද?

දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්‌තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණනොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක්‌ නොවේ. හේතුඵල ධර්මයක්‌ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩාත් දක්‍ෂයෙක්‌ වන්නේ සතුන් ඉදිරියට ගොස්‌ ආරක්‍ෂක ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත්කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්‍ෂණය කිරීමටවත්, ආරක්‍ෂක ගාථාවල ශක්‌තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස්‌ උපදී. ඔබට වීරත්වක්‌වත් ආරෝපණය වේ.

'මම' අතහැරීමට වනයට පැමිණි ඔබ, 'මම' ගැන 'වීරකථා' නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩකොටයකි.

වර්තමානයේ නිවන්මඟ ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අපි කැලයට යන්නේ ඇත් ගොව්වන් වීමටවත්, නයි නටන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා ලෝකය තුළ ඔබව වීර චරිතයක්‌ කිරීමට උත්සාහ කළොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝකය මැද වීරයෙක්‌, චරිතයක්‌ වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යය විය යුතුය. එසේ නොවුණහොත් කැලයත්, හුදෙකලාවත් ඔබට තවත් නගරයක්‌ම වනු ඇත. වරද ඇත්තේ කැලයේවත්, හුදෙකලාවේවත්. නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙනු ඇත. සෑම නිවන්මඟ වඩන්නෙක්‌ම තමා තමාට මෛත්‍රිය කරගතයුතුව ඇත. එය කළ හැක්‌කේ මේ ඝෝර කටුක භයානක සංසාර දුක දැක තමා සසරින් එතෙරටම වෙර වැඩීමෙන්ය. මෙය තමා තමාට කරගතහැකි උත්තරීතරම මෛත්‍රියයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්‌මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩවෙන, වයසට යන ස්‌වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රි කිරීමට යැම බුද්ධිගෝචර නොවේ.

ලෝකයට මෛත්‍රිය කරන්නට යැම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරගන්න. එය කළහැක්‌කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාථභාවය තේරුම්ගැනීමෙන් පමණක්‌මය.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් තම අත් අකුරින් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ

"Rahatunge Maga" - The way of Arhath 2

------------------------------------
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්‌මිය යුතු යෑයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ දරමින් රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්‍ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්‍ෂුවට දැක්‌වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස්‌ වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්‌විය හැකිය. ශාසනය තුළ ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක්‌ නොමැත. එහෙත් සසර දුකින් එතෙර වීමේ ප්‍රතිඵල අනපේක්‍ෂිතය. පාත්‍රය දරන පිණ්‌ඩපාතික භික්‍ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිළිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්‌වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතැනය. භික්‍ෂුව පිණ්‌ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යෑපීම මධ්‍යම ප්‍රතිපදාවයි.

කප්පිය කුටියේ වියළි ආහාර තබාගෙන තිබෙන ස්‌ථානයක දානයට මිරිසට, තෙලට, බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමේ වරදක්‌ද නොමැත.

මම නැවතත් කියමි.

විනය ඇත්තේ අදක්‍ෂයාටය. දක්‍ෂයා ලද දෙයින් සතුටුවෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තුවන භික්‍ෂුව ගොඩගසන්නෙක්‌ හෝ රැස්‌කරන්නෙක්‌ නොව කුසගිනි සෑහීමට පත්වූ කල ඉතිරිය අතහරින්නෙකි. හෙට දවසක්‌ ඔහුට නැත. ඔහු ජීවත්වන්නේ වර්තමානයේය.

වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක්‌ වීමටද පුළුවන. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක්‌ නොව, බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද?

එහෙත් මෙම මොහොතේදී ඉහත මඟ වඩන බුදු පුතුන්, මෙම මඟ වැඩීමට උත්සහ ගන්නා, වීරිය වඩන, සරණක්‌- මඟක්‌ සොයනා බුදු පුතුන් විශාල පිරිසක්‌ මේ දෙරණ මත වැඩසිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලයේ යෑපෙන්නේ පාංශකූල සිවුරෙන්, පිණ්‌ඩපාතයෙන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන zමාධ්‍යකරුවන්Z නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහණය කරනුයේ බදාගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම නිවන් අරමුණ ජයගන්නාතුරු කය ආරක්‍ෂා කරගත යුතු නිසාය. භික්‍ෂුව ප්‍රත්‍යාවේක්‍ෂයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජාකරන ආහාරයයි. එම ආහාර රස ගුණ මදියෑයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක්‌ එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්‌වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.

නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්‌ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවධි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුඛල්ලිකානු මඟත් අතරමැදද අන්තයක්‌ ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුඛල්ලිකානු මග නොවේ. මධ්‍යම සහ කාමසුඛල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්‍ෂාව මෙනි. උපේක්‍ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්‌ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්‌මවා ගිය තත්ත්වයකුත්, කාමසුඛල්ලිකානු මඟ ස්‌පර්ශ කරන ස්‌වභාවයකුත් ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යෑයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යෑයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්‌මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සමඟ සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුල්ලත් දෙකම ඇත.

විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක්‌ නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා එකතු කරාටද වැඩක්‌ නොමැත. ඔබ එළදෙනගෙන් පස්‌ගෝ රස ලබාගැනීමට දක්‍ෂ විය යුතුය. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ එය අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.

තුන් සිවුරත් පාත්‍රයත් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්‌ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක්‌ ඇත්තේ එතැනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණකි.

ලෝකයේ බරින් නිදහස්‌වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස්‌වන්න. ඔබේ බරින් ඔබ නිදහස්‌ වූ විට, ඔබ මෙතෙක්‌ දරා සිටියේ ලෝකයේ බරම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස්‌වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවී. මා ලෝකය ජයගත්තාය කියලා.

ලෝකය ජයගැනීමේ ශක්‌තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්‌මය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක්‌ ඔබට දුක්‌ විඳීමට සිදුවනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
---------------------------------

Monday, July 11, 2011

"Rahatunge Maga" - The way of Arhath 1

I copied this article from sunday diwaina. It is so interesting to read everyone who follows the lord Buddha.
----------------------------------------------------------

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්‌, බතක්‌, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්‌ ඇසෙනු ඇත.

"සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක්‌ බඳිමු ද?"

කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.

ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස්‌ මාංශ නොවළඳන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක්‌ වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.

ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර.

හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?

ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුදගයෙක්‌ නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස්‌ පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි.

ඔබ මෙවන් අවබෝධයක්‌ ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක්‌ බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක්‌ වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න.

සසර නැවත මව්කුසක්‌, බිත්තරයක්‌ තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය.

"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක,
මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්,
වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට
පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
අනුනටද අනුකම්පා කෙරේවා!
වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!
තමා තමාටම පිහිටකොට ගනිත්වා.."
යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

---------------------------------------------

Sunday, October 31, 2010

How to configure ADSL router

Well, I moved to ADSL from this week. It is the first time that I configured ADSL router. Here is my experience with it. My router is DLink DSL 2540T.

1. Connect the router using Ethernet cable.
2. Type IP address 192.168.1.1 on the web browser.
3. Enter default user name and password as "admin".
4. Then you will get to the router configuration page. In this set-up page, go on following configurations.
-> Router type = PPPoE
-> Virtual Path Identifier(VPI) = 8
-> Virtual Circuit Identifier(VCI) = 35
5. Enter your ADSL user name and password.
6. Applu "FInish" and wait until router get restart.
7. That's all !