Wednesday, September 6, 2023

උසස්පෙළ මතක




හැමදාම උසස්පෙළ ප්රථිපල එනකොට හිත අතීතයට දිව යන එක වලක්වන්න අමාරුයි. ඉස්සර ඉස්කෝලේ 11 වසරට එනකම් හොඳ සාහිත්ය කාරයෙක් වෙලා ඉඳලා, උසස්පෙළ හා විශ්ව විද්යාල දෙකක ගත කරපු පහුගිය ජිවිත කාලෙ එක්ක ඒ සාහිත්ය කාරයා හිත ඇතුලෙම මියැදිලා හිටියත්, හිතට දැනෙන සමහර සිදුවීම් එක්ක අයෙමත් සිතුවිලි අකුරු බවට හැරවෙන එක නවත්වගන්න අමාරුයි.
අද කාර්යාල දවසක්. තියෙන රාජකාරි අනුව හතර වටේ යන්න වෙනවා උනත්, හවස කෙටි නිවාඩුවක් ගන්නත් ඕනැකමක් තිබුන නිසා අද කාර්යාලයේ රැඳී ඉන්න කොහොමත් ඕන උනා. ඒත් උදේ දහයට විතර මෙන්න මගේ කාර්යාල කාමරය වෙත අපේ අංශයේ කළමණාකාර සහකාර මිස්ගේ හදිසි කඩාවැදීමක්. ඒ ඇස් වල කඳුළු. මම කොහොමත් කාර්යාලයේදී කාන්තාවන් තියාගන්නේ අතේ දුරින් නෙමෙයි. අත් දෙකක දුරටත් වඩා වැඩි දුරකින්. තරහකට නෙමෙයි ඒත් ඒ මම පුරුදු උන හැටි. විශේෂයෙන්ම එයාලා ඇස් වල කඳුළු එක්ක ඉන්නකොට. එහෙම කරන්න හේතු ඕන තරම්.
"සර් මගේ පුතාගේ උසස්පෙළ ප්රථිපල ඇවිත්. මෙන්න මෙහෙමයි. ගණිත අංශයෙන් පළවෙනි සැරේ කලේ."
ප්රථිපල කිසිසේත්ම නරක එකක් නෙමෙයි. කොල්ලා දක්ෂයෙක්. හැබැයි කොල්ලා කුරුණෑගල දිස්ත්රික්කයෙන් ඉංජිනියරින් යන්න නම් ඒ ප්රතිපල අනුව ටිකක් වැට උඩ වගෙයි. මොකද මෙහෙ A එකකටයි B අකුරු දෙකකටයි එක්ක, ඒ කියපු රෑන්ක් එකත් එක්ක ඉංජිනියරින් යන්න සාමාන්යයෙන් ටිකක් අමාරුයි වගෙයි මට තේරුණේ. ඒ වෙලාවට මට දෙන්න තියෙන හොඳම උපදෙසක් දුන්නත්, ඊට පස්සේ හිත අතීතයට යන එක නවත්තගන්න බැරි වුණා.
මම පලවෙනි සැරේ උසස්පෙළ කරේ 2004 දී. සාමාන්යපෙළ A අකුරු දහයක් එක්ක සමත් වුනත් මුල් සැරේ හොඳ ප්රතිපලයක් උසස්පෙළ ලැබෙන්නේ නැහැ කියලා කොහොමත් මට දැනිලා තිබුනා. තාත්තා බරපතල හදවත් රෝගයකින් පෙළෙමින් ඉන්නකොට, ගෙදර අදායම් මාර්ගයක් ඉස්තිරව නැති වෙනකොට, හිත එකතැන් කරන් වැඩක් කරන්න මට අමාරුයි කොහොමත්.
ගණිත අංශයෙන් උසස්පෙළ කරන සියළුම දෙනා සංයුක්ත ගණිතයට මුල් තැන දුන්නත්, මම කැමතිම උනේ භෞතික විද්යාව විෂයට. මගේ පාසල් ජිවිතේ හමු උන, වඩාත්ම හිතට දැනුන ගුරුතුමියන් දෙදෙනාගෙන් එක් අයෙක් උනෙත්, පාසලේ උසස්පෙළ අපිට භෞතික විද්යාව උගන්වපු කුමාරි මිස්ව. උදේ හයේ ඉදන් නොමිලේ පාසලේ උගන්වන ඇය, අප වෙනුවෙන් ඕනෑම වෙලාවක පරීක්ෂණ සඳහා පාසලේ භෞතික විද්යාගාරයේ ඉඩ කඩ වෙන්කර දුන්නා. ඒ වගේම, භෞතික විද්යාව විෂයට කුරුණෑගල එවකට ගණිත අංශයේ සිසුන් වැඩිපුර ගිය උපකාරක පන්තිය නෙමෙයි මම තෝරා ගත්තේ. ඒ වෙනුවට මම ගියේ (ආචාර්ය) නිමල් හෙට්ටිආරච්චි සර් ගේ physics class එකට.
ඔව් ඉතින්, 2004 උසස්පෙළ විභාගයේදී භෞතික විද්යාව ප්රශ්න පත්ර දෙකට ඇට්ටි හැලෙන්න ලිව්වා. හැමෝටම කාලය මදියි කියන බහුවරණ 60 ට පැය එකහමරෙන් ලියාලා තව පැය බගේකුත් ඉතුරු උනා. රචනා ප්රශ්න 6 න් 4 ක් කරන්න කිව්වට මොකද, මම 6 ම ලියලා ඉවරවෙලා තවත් වෙලාව ඉතුරු උනා. පස්සේ ඉතින් බලද්දී කරපු බහුවරණ 60 න් 57 ක් නිවැරදියි.රචනා ප්රශ්ණ 6 ම නිවැරදියි. ආ ඔය අනිත් විෂයන් දෙකත් ඔන්න ඔහේ ලියලා දැම්මා. ඒවා එච්චර සාර්ථක උනේ නැද්ද කොහෙද.
ප්රථිපල එද්දී භෞතික විද්යාවට A එකකුත් සංයුක්ත ගණිතයට හා රසායන විද්යාවට C අකුරු දෙකකුත් ඇවිත් තිබුණා. කුරුණෑගලින් රෑන්ක් එක 129 වගේ තමයි මතක. C අකුරු දෙකකුත් තියාගෙන කුරුණෑගල වගේ ගොඩක් තරඟකාරී දිස්ත්රික්කයකින් 129 වුණා කියන්නේ ඉතින් Physics වලට හොඳ ලකුණක් ආව නිසා වෙන්නැති. මොනවා වුනත් දෙවෙනි සැරේට ලියන්න මහන්සි වෙන්න තීරණය කලා. ඒ අතරේ මුල් සැරේ ප්රතිපල වලට විශ්ව විද්යාල අයදුම් කරපු එකට සබරගමුව විශ්ව විද්යාලයේ මිනින්දෝරු පාඨමාලාවට තේරිලා කියලා ලියුමක් ඇවිත් තිබුණා. ආ, තව ලියපු TTI (Institute of Engineering Technology - Katunayake) එකෙන් දෙවෙනියට තෙරිලත් තිබුනා.
TTI entrance exam ලියන්න ගියපු හැටිත් තව කතාවක් ඉතින්. ඒක කොළඹ රෝයල් එකේ තිබුනට මම කොළඹ පාරවල් දන්න එකක්යැයි. මාව එක්කන් ගියේ අජිත් බාප්පා. එවකට එයා පුංචි අම්මත් එක්ක රාගම රණවිරු සෙවණ වෛද්ය නිල නිවාසෙක තමයි හිටියේ. තාත්තට අසනීපෙ නිසා යන්න අමාරු නිසා මම පාන්දර 4 ට තියෙන කෝච්චියක කුරුණෑගල ඉඳන් රාගම ගිහින් බාප්පා එක්ක තමයි කොළඹ ගියේ. කොහොම හරි TTI exam ලියලා එලියට එද්දී එවකට වරලත් ඉංජිනේරුවරයෙක් හා අද ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යධිකාරී කෙනෙක් වෙන අජිත් බාප්පා පාරේ අයිනේ තියෙන කොන්ක්රීට් බෝක්කුවක් උඩ වාඩිවෙලා මම එනකම් බලන් ඉන්නවා. ඒ දර්ශනය අදත් ඒ වගේම මතකයි. ඉන්ජිනේරුවරයෙකුට එදා තිබුන ඒ නිහතමානීකමට මම අදටත් සැහෙන්න ගරු කරනවා විතරක් නෙමෙයි අදටත් මගේ ජිවිතේ එක පූර්වාදර්ශි චරිතයක් තමයි ඒ.
කොහොම හරි 2005 දී දෙවෙනි සැරෙත් උසස්පෙළ කරද්දී භෞතික විද්යාව ප්රශ්න පත්ර ටිකට කලින් වතාවේ වගේම දුවන්න දුන්නා. මේ පාර නම් සංයුක්ත ගණිතයත් ගොඩ වගේ. රසායන විද්යාව බහුවරණ එකත් සැහෙන ගොඩ දාගත්තා. ඔන්න ඉතින් වැඩේ කචල් වෙන්න ගත්තේ රසායන විද්යා දෙවෙනි ප්රශ්න පත්රයට කලින් දවසේ. හවස් වෙද්දී තාත්තට තදින් අසනීප වෙන්න පටන් ගත්තා. දරුණු පපුවේ අමාරුවක්. කලින් වතාවල් වල නාල අවහිරතා එක්ක වැඩ කරපු තාත්තගේ හදවත් පේශි වලට, තමන්ගේ එකම පුතාගේ උසස්පෙළ ඉවර වෙනකම් ඉන්න තරම් හයියක් තියෙන්න නැතුව ඇති.
ජීවිතයත් මරණයත් අතර ඉන්න තාත්තා එක්ක නිදි නැති රැයක් ගත කරලා ඔන්න රසායන විද්යා දෙවෙනි ප්රශ්න පත්රය අතට ගත්තා. නිදිමතේ ඔය මොනවද මන්දා ලියලා දැම්මා.
ඔව් 2005 උසස්පෙළ දෙවෙනි වර ප්රථිපල ආවා. A අකුරු දෙකකුත් එක්ක රසායන විද්යාවට B අකුරකුත් එක්ක කුරුණෑගල දිස්තික්කයේ 51 රෑන්ක් එකත් එක්ක පේරාදෙණි තේරුණා. මම හිතන්නේ ඒ සැරෙත් රෑන්ක් එක උඩට එන්න භෞතික විද්යාව ප්රශ්න පත්ර ටිකට ගහපු හයේ පාරවල් උදව් වෙන්න ඇති. ඔව් ඉතින් කලින් වගේම බහුවරණ 60 න් 59 ක් හරියට කරලා, තව රචනා ප්රශ්න 4 ක් කරන්න තිබුනට 6 ම කරා නේ.
ඇත්තටම ඒ සැරේ රසායන විද්යා රචනා ප්රශ්න පත්තරේ ඉවර වෙලා ගෙදර අවේ සුදු කොඩි දකින්න බලාපොරොත්තුවෙන්. එත් වාසනාවකට ඒ හදවත් අකර්මන්යතාවට තාත්තගේ ජිවිතේ එදා උදුරගන්න බැරි වෙලා තිබුණා. ඒ නිසා තමන්ගේ එකම දරුවා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට බාර දෙන්න යන්න තාත්තට හැකියාව ලැබිලා තිබුණා.
ජිවිතේ ඔහොම තමයි ඉතින්.

Tuesday, November 2, 2021

තනිවේ එක්ටැම්ගේ


ඉස්සර මන් පොඩි කාලේ (මේ කියන්නේ 1992 විතර, මට වයස අවුරුදු 7 - 8 කාලේ වගේ ඉඳලා) මේ චිත්රපට ගීතය බලන්න මම ආසයි. වෙන හේතුවක් නෙමේ. වීඩියෝ එකේ අග හරියේ ඔය light house එකේ තියෙන ලොකු ඇන්ටෙනා එක බලන්න අසාවෙන්.

😁 ඒ දවස්වල ඒක හරිම ප්රශ්නයක්. ඇයි ඒක සිරස් අතට තියෙන්නේ කියලා. TV ඇන්ටෙනා තියෙන්නේ තිරස් අතට නේ. අනික ඒක TV ඇන්ටෙනා එකකට වඩා ලොකුයි. ඕවට උත්තර සීයාගෙන් ඇහුවාම කිව්වේ රේඩියෝ කතා කරන ඇන්ටෙනා එකක් කියලා.
දැන්නේ ඉතින් හේතු දන්නේ ඕවට. මගෙ ඔය රේඩියෝ ට්රාන්ස්මීටර් පිස්සුව උපතින් ආපු එකක්ද කොහෙද. ඒකනේ දැන් බලපත්ර අරං Amateur radio operate කරන්නේ. 😊 ඒ වගේම මේ ගීතය, ගායනය වගේම සංගීතයත් අති විශිෂ්ටයි කියලා දැන් තේරෙනවා.
අද උදේ ඔෆිස් එන්න ලෑස්ති වෙලා මේ ගීතය ITN එකේ යනවා දැකලා වීඩියෝ එකේ පෙන්වන Light house එකේ ඇන්ටෙනා එක බලලයි ඔෆිස් ආවේ. විනාඩි පහක් ප්‍රමාදයි !

Wednesday, January 27, 2021

ආවර්ජනා (හතරවන සහ අවසාන කොටස) - සමුගැන්ම

 (සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )


පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

ආවර්ජනා (තෙවන කොටස) - ජීවිතය ගලා යාම

එතැන් සිට කතාව:

අහසේ ඈතින් රිදී රේඛා සටහන්ව, ලෝකයට නව දවසක ආරම්භය සනිටුහන් කරයි. මේ ආරන්‍යවාස කර සිටින දහසක් ප්‍රානීන්ට එය රාත්‍රියක් ගෙවා දමා එන නව හිරු උදාවක් වුවද, කිසිදා නොනැසෙන ප්‍රඥාලෝකයක් මගේ සිත තුළ දැන් හොඳින් දැල්වෙයි. මේ භුමිය වැඩ වෙසෙන බොහෝ භික්ෂුන් වහන්සේලාගේ සිත්ද එවැනිම වන බවට දැන් මම ප්‍රත්‍යක්‍ෂකොට දනිමි. අනන්ත සසර සැරිසරා එන "සිත" නමැති මායාව ඉක්මවා යාමට මට ඉතිරිව ඇත්තේ අද පමණක් බව හොඳින්ම දකින්නෙමි. මේ ඊට නික්මෙන්නට කාලයයි.


අනිත්‍ය සංඥා වැඩු කුසල් සිතක් සැමදාම කෙලෙස් වලින් යටපත් වන්නේ නැත. ගිහි සැප කොතරම් වෙතත්, අබිනික්මන ඕනෑම මොහොතක සිදුවිය හැකිය. මම ගිහියෙකු ලෙස සැප මෙන්ම දුක හොඳීන් විඳ ඇත්තෙමි. ලවුකික ලොව තුළ ගිහියෙකු සිහින දකින බොහෝ දේ අත්පත් කරගෙන විඳ ඇත්තෙමි. නමුත් මේ විපරීත ලෝකයේ පිය පුතු සම්බන්ධතාව යනු හුදු වචන මාත්‍රයක් පමණක්ම විය.

කලක් තිස්සේ සිතේ තිබූ ආශාව නදිනි හොඳින් තේරුම් ගෙන සිටියාය. එවැන්නක් පිළිඹඳ ඉඟි අප දෙදෙනාගේ විවාහයට පෙර සිටම අප අතර හුවමාරු වී තිබුණි. නමුත් තම පවුල හා ස්වාමියා තදින් වැළඳ ගන්නා ස්වභාවය ගැහැණු සිතක සාමාන්‍ය ස්වභාවය වන අතර, නදිනි විශේෂ කෙනෙක් නොවීය. සති ගණනක හැඬුම් වැලපුම් කොතෙක් තිබුනද,  අවසන ඒ එකඟතාවය අප අතර ඇතිවීම නොවන්නට මගේ සසර ගමන තව බොහෝ දුර වන්නට ඉඩ තිබිණි.අප හමුවීමේ සිට වෙන්වීම දක්වා මෙන්ම, අතීත භව දහස් ගණනක අපේ සම්බන්ධය දක්නට තරම් මගේ සිත ප්‍රභාෂ්වරය. මේ අපේ අන්තිම හමුවීමයි. ගිහිකල ආදරය කළ දයාබර නැගණිය, දැන් ඔබෙන් සදහටම සමුගැන්මට කාලයයි මේ.

සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ නැවතුමක් කිසිත් නැත. අපට දෙමාපිය, භාර්යා මෙන්ම ඥාතීන් මෙන්ම අප ජිවිතයේ හමුවන සියළු දෙනා අප හා අතර සම්බන්ධය කවදා ඇති වුවාදැයි දකින්නට, ඉමක් කොනක් දකින්නට තරම් මගේ ප්‍රඥාලෝකය දියුණු නැත. එය සොයා යාමත්, ඒ ගැන සිතීමත් මිරිඟුවක් බව දැන් මම දනිමි. අප්‍රමාදව සසර ගමන අවසන් කිරීම පමණක් දැන් මගේ අරමුණ වී ඇත.

සෙමෙන් නැඟිට මගේ කුටිය වෙත පියමන්නෙමි. රාත්‍රිය පුරා නිදි වර්ජිත වුවද, ප්‍රඥාලෝකය බලවත් බැවින් සිතට කිසිම වෙහෙසක් නැත. ඊයේ දින මගේ පැවිදි මංගල්‍ය සඳහා ලැබුණු පුජා භාණ්ඩ කුඩා මේසයක් මත ගොඩගසා ඇත. ඒ මත්තෙහි කුඩා පාර්සලයක් මත හුරුපුරුදු අත් අකුරකින් ලොකුවට "බෙහෙත්" යනුවෙන් ලියා තිබුණි. 

සෙනසුණේ  හීල් දනයට කැඳවන "ගෙඩියේ" නාදය වන පියස පුරා නින්නාද දෙයි. දැන් මේ සටහන නිමා කල යුතුව ඇත. රෝගී වකුගඩුවෙන් සිහින්ව නැග ආ කොන්දේ අමාරුව දැන් මුළු පිට පුරාම දැඩිව විහිදෙයි. කුටිය වෙත තැබූ පියවර කීපය නිසා වෙහෙසට පත්වූ දුර්වල හර්ධ මාංශය සියුම්ව වේදනා දෙයි. දරකඩක් බඳු වූ මගේ මේ ශරීරය මීට වසර දහ අටකට පමණ පෙර  තාත්තාගේ මිය ගිය ශරීරය තත්ත්වයට කෙමෙන් පත්වෙන බව මට දැන් හොඳින් දැනේ. මොචරියේ සේවකයන් විසින් තාත්තාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අත් පා වලින් ඔසවා "දග්" හඬින් ට්‍රොලිය මතට ඇද දැමු සැටි සිහිපත් වෙයි. ක්ෂණයෙන්  මරණ  සතිය සිතේ බලවත්ව නැඟ මතුවූ ප්‍රභාශ්වර සිත, අවසන් සිත බව දැන් මට වැටහෙයි.

තුන් සිවුර හා පාත්‍රය පමණක් දරා කුටියෙන් ඉවතට තබන පය මේ භයංකර වූ සංසාර ගමනේ අවසාන පියවර බව දැන් මම ප්‍රත්‍යක්‍ෂකොට දකින්නෙමි. දහවල් වනවිට කැලයේ ඇතින් ඈතට වැඩමවා යලි කිසිදා නුපදින ලෙස  පිරිනිවණින් සැනසෙන්නෙමි ~~~~

නිමි.




Friday, March 6, 2020

ආවර්ජනා (තෙවන කොටස) - ජීවිතය ගලා යාම

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

එතැන් සිට කතාව:


කාලය යනු මිරිඟුවක් බව දැන් මම දනිමි. එහෙත් ඒ මිරිඟුව තුළ ගතවූ මගේ අතීතය තුළ සිදු වූ සිද්ධි අපමණය. සමහර සිද්ධි සතුටුදායකය. සමහර දේවල් දුක්ඛ දායකය. සතුටට වඩා දුක බහුලය. ඒත් ඒවගෙන් දැන් මට දැනෙන්නේ උපේක්ෂාවක් පමණි. සසර කතරෙන් එතෙර වීම සඳහා යන මේ ගමනේ එක කඩඉමක් ඊයේ රෑ ඉක්මවා ආර්ය ජාතියෙහි උපත ලද්දෙකුට අතීතය ගැන ඇත්තේ හුදු උපේක්ෂාවක් පමණි. නමුත් සියලු කෙලෙසුන්ගෙන් තොර නොවූ මගේ සිත තව තවත් අතීතය මෙනෙහි කරයි.



කාලයක් තිස්සේ ඇදෙමින්, මිය යමින්, නැවත දළු ලමින් වැඩුණු නදිනි ගේ සහ මගේ ආදර සම්බන්ධය විවාහය දක්වාම තහවුරු වන්නට එදා පියාගේ අවමංගල්‍යට නදිනිගේ පැමිණීම හේතු වූ බව මට තවම මතකය. පියාගේ නික්ම යාමෙන් එකහමාරකට පසු අප දෙදෙනාගේ විවාහය වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබ ස්ථිර විය. අදින් වසර දහසයකට පෙර, එනම්  දෙදහස් දහ නාමයෙ අග එක්තරා මාසයක අප දෙදෙනාගේ විවාහය සිදු වූ බවද, දායාද ලෙස සහජාත පුතුන් දෙදෙනෙකු සහ එක් දුවණියක ලද ද, දුවණියට අඩු අයුෂයෙන් මරණයට පත් වන්නට තරම් ඇයගේ ජනක කර්මය දුර්වල ව තිබු බවද, එම සොවින් බොහෝ කාලයක් යන තුරු ඇයගේ අම්මාට මිදෙන්නට නොහැකිව තිබු බවද ඊයේ වනතුරු පිය පදවිය දැරූ සිතකට කෙසේ අමතක කරන්නද ?

අපගේ විවාහ දිවිය දුක සැප සමව ගලා ගිය දිවියක් විය. නදිනි සැබවින්ම හොඳ බිරිඳක වුවද, පරිපුර්ණ නොවීය. මුලදී සුළුවට පටන් ගත් නැන්දම්මා - ලේලී ප්‍රශ්න, අප දෙදෙනා අතර පවා ආරවුල් වලට මගක් විය.  සහජාත දරුවන් දෙදෙනෙකු උස් මහත් කළ ඇ, මටද හැකි උපරිම අයුරින් යුතුකම් ඉටු කළාය. පිලිවෙලින් ගත් කල ඇයගේ මවගේ වෙන්ව යාමත්, අප නව නිවසක පදිංචියට යාමත්, මා හට සිදු වූ දරුණු රිය අනතුරත්, අපගේ පළමු දරුවා එකුන් විය එළබෙත්ම ජිවන ගමනෙන් නික්මිමත්, ඇයගේ පියාගේ නික්ම යාමත්, ඉන්පසු දරු දෙදෙනෙකු ලැබීමත්, මගේ මවගේ වෙන්ව යාමත්, තදබල ලෙස මගේ හදවත සහ වකුගඩු රෝගී වීමත් මේ අතර කාලයේදී සිතේ තදින් සටහන්ව ඇති මතක සටහන් වේ.  

ප්‍රිය පාඨකය, මට සමාවන්න. මේවා කියවීම ඔබට වෙහෙසකරය. නමුත්, හෙට දිනයේ පාන්දරම නික්ම යන මා දමා යන මේ සටහන් පොත කවදා හෝ නැවත තව කෙනෙකුට කියවන්නට ලැබෙනු ඇත.

හතරවන (අවසාන) කොටසින් හමුවෙමු.

Thursday, June 28, 2018

ආවර්ජනා (දෙවන කොටස) - මළ ගෙදර

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

පෙර කොටස්  :

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

එතැන් සිට කතාව:




සුපුරුදු පරිදි පාවහන් ගලවා CCU ලෙස සඳහන් නාම පුවරුව යටින් ඇතුළු වී, මා පළමුව නෙත් යොමුවේ ඔහු දහවල් සිටි ඇඳ වෙත වුවත්, මේ වන විට එහි වෙනත් මුහුණක් විය. එතරම් කාර්ය බහුල වූ හදවත් රෝග ඒකකය තුළ, මොහොතකටවත් ගිලන් ඇඳක් හිස්ව තබන්නට නොහැකි වී ඇති සෙයකි.


"මිසී, මිස්ටර් ජයසුරියගේ බොඩි එක මෝචරියට ගෙනිච්චද?" පියෙකු වෙනුවෙන් පුතෙකුට අසන්නට වන අමිහිරිම පැණයක්, කාර්ය බහුල නර්ස් නෝනා කෙනෙකු වෙත යොමු කළෙමි.

"ආ ඔයාල මිස්ටර් ජයසුරියගේ ගෙදරින්ද? අර කෙළවරේ බොඩි එක තියෙනවා තවම. එතනට ගිහින් බලන්න. තව ටිකකින් මොචරියෙන් ගෙනියන්න ඒවි." 

රතු මල් වැටුන සුදු පැහැති පෙරවන රෙද්දකින් සම්පුර්ණයෙන්ම වසා, වාට්ටු කෙලවරේ හුදෙකලාව නිසොල්මන්ව පසුවන තාත්තා වෙත දහසක් සිතුවිලි සිතේ දරාගෙන පිය මැන්නෙමි. සෙමෙන් මෑත් කළ රෙද්දෙන් මතු වූ ඒ පියවුන දෑසත්, උඩු රැවුලත්, අහිංසක මුහුණත්, තවමත් මැවී පෙනෙයි. අත අල්ලා බැලුවෙමි. හිස අතගා බැලුවෙමි. ඒවා වෙනදා මෙන් නොව, අයිස් මෙන් සීතලය. ඔහු මාගේ ස්පර්ශයට වෙනදා මෙන් දෑස් විවරකොට බැලුවේ නැත !

කෙමෙන් වටවූ ලඟම නෑ පිරිස් ඔහු වෙත ගොස්, ඔහු අප හැර ගොස් ඇති බව ප්‍රත්‍යක්ෂ කොට දැනගත්හ. මේ අතර ඔහු වෙනුවෙන් කළ හැකි පින්කමක් ලෙස, ඔහුගේ දෑස් දන් දෙන්නටද මම ඔහුගේ පුතා ලෙස අත්සන යෙදු බව මට තවම මතකය.

මේ අතර පැමිණි මොචරියේ සේවකයන් පිරිසක් තාත්තා ගෙනියන්නට සුදානම් වෙයි.

"දැන් dead වෙලා පැය දෙක සම්පුර්ණයිද මිසී"

"ආ ඔව්"

"ඔය ගෙදර කට්ටිය ටිකක් එලියට යන්න"

එහෙත් තාත්තා තනි කර කොහේ යන්නද? මම එතැනම රැදුනෙමි. එළියේ ඇති වීදුරුවෙන් දෑස් පිහිරා ගලා හැලෙන කඳුළු ධාරා ඇතිව අම්මා අප දෙස බලා හිඳී. තුන් දෙනෙකුගෙන් යුතු අපේ කුඩා පවුලේ එක් අයෙකු මෙලෙස වෙන්ව යයි. මම සිත තවත් දැඩි කරගත්තෙමි. 


තාත්තාගේ අත් දෙකෙන්ද, කකුල් දෙකෙන්ද අල්ලා ගත් මොචරියේ සේවකයන් තිදෙනෙක්, "දග්" යන හඬකින් වෙනත් ට්‍රොලියක් වෙත ඔහගේ ශරීරය අත හරියි. 

"අහ්..... ඒත් දැන් මේ මගේ තාත්ත නෙමේ. ප්‍රාණය වියැකුණ දර කඩක් බඳු වූ ශරීරයක්. මේ ශරීරය මම මගේ කියල අල්ල ගන්න දෙයක් නැහැ.. මට වුනත් මෙච්චරයි."  අන් කවරදාටත් වඩා ප්‍රබලව අනිත්‍ය ධර්මතාව සිතේ බලවත් වෙයි.

කාලයක් යනතෙක් වැස්සක් නොවැටුන කුරුණෑගල නගරයට මහා හඬින් අකුණු පුපුරමින් අකාලයේ  මහ වැස්සක් ඇදහැළෙයි. වැස්සේ තෙමෙමින්ම මෝචරිය වෙත ගිය මම, තාත්තාගේ සිරුර අත්සන් කොට භාර ගෙන, මල් ශාලා රථය වෙත භාර දුන්නෙමි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදින රාත්‍රී දහය වන විට තැඹිලි පැහැති මළානික, කැරකෙන එළියක් විහිදුවන පහනක් දරමින් පැමිණි "ශෙරින්ටන් මල් ශාලාව" ලෙස නම් ගසා තිබු වෑන් රථයක නිසලව වැතිර, තාත්තා නැවත නිවසට පැමිණියා මට හොඳින් මතක ඇත. විලාප තියා හඬන්නට අවැසි වුවත්, සිත ගලක් කොට, කළ යුතු වැඩ සියල්ල ඉටු කළෙමි.


රාත්‍රිය එළබෙත්ම, මිදුලේ ගැට පිච්ච වැලේ මල් පුබුදුව, පළාතම සුවඳ ගලවයි. මම නැගිට ගොස්, ඉන් මල් තුනක් නෙළා ගත්තෙමි. ඒවා තාත්තා නිසලව නිදන දෙන වෙත ගෙන ගොස්, ඔහුගේ හිස දෙපස තැන්පත් කළෙමි. ජීවත්ව සිටියදී ඔබට පපුවේ අමාරුව හදිසියේ බලවත් වන විට දිවගොස්, "දිව යට තියන පෙති" බෝතලය සොයා දුන්නද, දැන් ඔබ වෙනුවෙන් පුද දෙන්නට ඇත්තේ සුවඳ මල් විතරයි තාත්තේ.

ඉන් පසු දිනම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුනේ, ඔහුගේ කැමැත්ත පරිදිමයි. හිරු බැස යන සන්ද්‍යාවක, කුරුනෑගල වැව මතින් දිවෙන මාර්ගයේ  මාස්පොත ආදාහනාගාරය වෙත වාහන පෙරහැරකින් රජෙකු සේ ඔහු අවසන් ගමන් ගිය දර්ශනය අදටත් එලෙසින්ම මට මතක තිබේ.


අවසන් වරට ඔහුගේ දේහය දැක්ම සඳහා ආදාහනාගාරයේදී විවුර්ත කරන විට, ඊයේ රෑ මම තැන්පත් කළ පිච්ච මල් තුන මිලානව යමින් තිබුණි. අවසන් මොහොතේ කඩිමුඩියේ දිව පැමිණි නදිනි නම් වූ එකළ මගේ අදරවන්තියද, ඊයේ දින දක්වාම මගේ බිරිඳ ලෙසද ජිවත් වූ ඇය, තම අනාගත මාමණ්ඩිය වන්නට සිටි ඒ පුරුෂයාට නමස්කාර කළාය.



තෙවන කොටසින් හමුවෙමු .




Wednesday, May 23, 2018

ආවර්ජනා (පළමු කොටස) - ඔහුගේ නික්මයාම

(සත්‍යත්, මනඃකල්පිතයත් අතර කෙටි කතාව )

සිතුවිළි අතර තනි වෙන්නට රාත්‍රී අඳුර සහ සිහින් පොද වැස්ස තරම් තවත් උපකාරී වන පරිසර සාධක නොමැති තරම්. නිහඬතාවයේ කරවටක් ගිලුන බුද්ධංගල සෙනසුණේ වන පරිසරයද ඊටම  ගැලපෙයි. බුද්ධ චිවරය දරා සිටින මා වැන්නවුන්ට ගිහි කල අතීත අවර්ජනාවන් එතරම් අදාළ නොවුණද, මා වැනිම තවත් අයවලෙකුට මනස මෙහෙයවන්නට, නිවන් මාර්ගය පෙන්වා දෙන්නට ඒ අතීත අවර්ජනා උපකාරී වනු ඇතැයි යන මයිත්‍රී චේතනාවෙන්ම එය මෙසේ අකුරු කරන්නෙමි. කෙසේ වෙතත්, සදහටම මෙය මගේ අවසාන සටහන වනු ඇත !

[අතීත කතාව ]




එදිනම එය එසේ සිදු නොවේ යැයි විස්වාස නොකළේ, මීට පෙරද කීප වතාවක්ම එය එලෙසම සිදු වී ඇති බැවිනි. තදබල කිරීටක ධමනි අවහිරතාවකින්ද, ඒ නිසාම රුධිරය නොමැතිව කීප වතාවක්ම හර්ධයාබාධ වැළදීමෙන් දුබල වූ හදවතක්ද දරා සිටි ඒ මහා පුරුෂයා, සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් යුතු කුඩා පවුලක ප්‍රධානියා විය. "හදවත" නමැති අවයවය දුබල වූවද, කිසිදා සිතින් දුබල නොවූ ඔහු, එය සිදුවන්නට සතියකට පෙරත්, එම කුඩා පවුලට තම යුතුකම් මනාව ඉටුකරමින් පියෙකුගේ චරිතයත්, ස්වාමි පුරුෂයෙකුගේ චරිතයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  පරිපුර්ණ කරගත්තෙක් විය.

ඔහු රැකියාවෙන් පුද්ගලික අංශයේ කාර්මික නිලධාරියෙකි. කුඩා වාහනවල සිට විශාල දොඹකර දක්වා වූ කාර්මික වැඩ ඔහුට අතැඹුලක් සේ විය.

ඔහුට මුලින්ම පපුවේ අමාරුව සැදුනේ හරියටම මට වයස දහය සම්පුර්ණවන දිනයේදීය. ඉන් වසර තුනකට පසුවත්, ඊටත් පසුව මම දෙවන වර උසස්පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙවෙනි ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමට පෙර දින රාත්‍රීයෙත් තදබල ලෙස පපුවේ අමාරුව උග්‍ර වූ ඔහු එවර නතර වුයේ කොළඹ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයේ ය. පරීක්ෂණ ගණනාවකින් පසු, ඔහුගේ ජීවිතය ඉතාම අවදානම් බව නොපවසා පැවසු ලොකු දොස්තර මහතා, ගෙදර ගෙන ගොස් කැමති පරිදි සත්කාර සංග්‍රහ කරන ලෙස අපව දැනුවත් කළ බවද, ඉන්පසු බොහෝ කාලයක් යනතුරු බොහෝ දිනවලදී රාත්‍රියේදී අසනීපවී ඔහු නැඟූ කෙදිරිලි හඬද අදටත්  මගේ මතකයේ නොමැකෙන සටහනක්ව ඇත. නමුත් කාලයත් සමඟ එවරද ඔහු සුවපත් විය ! නමුත් රැකියාවෙන් සදහටම ඉවත්වන්නට සිදුවන තරමටම ඔහුගේ හදවත දුබල වීමට එවර අසනීපය හේතු විය.

කුඩා කළ අප ඉතා කම්කටොලු බහුල ජිවිතයක් ගෙවා දැමුවෙමු. අපගේ උපන්ගම වූ ත්‍රිකුණාමලයෙන් ත්‍රස්තවාදී කලබල නිසා සියලු දේපල අතහැර දමා බැහැර වූ අපට, වර්ථමාන පදිංචි ස්ථානය දක්වා  ගමන සුමට එකක් නොවීය. ආර්ථික අග හිඟකම් මෙන්ම, ඉඩම් නඩුවකටද මැදිහත් වන්නට මේ කාලයේදී අපට සිදු විය.

අපට පිරිවර සම්පත්,  නෑදෑ හිතවතුන් සිටියේ නැත. ඔහු අසනීප වී රැකියාවක් කරගත නොහැකි තත්වයට පත්වූ විට තවත්  ඔවුන් අප තනි කළහ ! ඒ තනිකම සහ අසරණ බව විසින් මාව ඉංජිනේරු උපාධිධාරියෙක් ලෙස ඔසවා තැබීය. අද උදෑසන පැවති මගේ පැවිදි මංගල්‍ය දක්වාම, ගිහි වතට සමු දෙන ඒ මොහොත දක්වාම, මම අර්ධ රාජ්‍ය අංශයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය  කළෙමි.

ඔහුගේ අවසාන දවස් වනවිට, කකුලේ ඇතිවූ තුවාල තත්වයකට ප්‍රතිකාර ගැනීමට ඔහුව කායික රෝග විශේසඥයා වෙත පමුණුවන විට, ඔහුට හදවත් රෝගය වැළඳී වසර විසි තුනක් සම්පුර්ණවෙමින් පැවතුණි. ඒ වන විට ඉතා දුර්වල වූ ඔහුගේ හදවත් පෙශියට තවදුරටත් රුධිරය හැසිරවීම මනාව සිදු කළ නොහැකි බවත්, ඒ නිසාම කකුල්වල තරලයන් එකතුවීම ස්ථිරව නැවත්වීම සඳහා ප්‍රතිකාරයක් නොමැති බවත්, ව්‍යංගාර්ථයෙන් ඔහු වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බවටත් කළ රෝග විනිශ්චය තේරුම් ගැනීමට අම්මාටත් මටත් හැකි විය !

ඉනික්බිතිව සතියක් ගතවෙන්නටත් පෙර, ඔහුගේ ජීවය ඔහු කෙරෙන් කෙමෙන් පලා යන ලක්ෂණ බලා සිටියදීම පහළවන්නට විය. බලා සිටිය නොහැකි තැන, හදවත් පිළිඹඳ විශේසඥ දොස්තර මහතා හමු වීමෙන් පසුව ඔහුගේ නිර්දේශය සහිතව ඉක්මනින්ම රෝහල් ගතවන්නට ඔහුට සිදු විය. ඔහුගේ මෙවර නවාතැන වුයේ කුරුණෑගල මහ රෝහලේ හදවත් රෝග දැඩි සත්කාර ඒකකයයි.

කෙනෙකුගේ ස්වභාවික මරණයට පෙර, ඔහු කෙරේ එම ලක්ෂණ පහළවේ. ඒ පිලිබඳ ක්‍රමවත් විද්‍යාවක් බටහිර වයිද්‍ය විද්‍යාව සතුව දියුණු වී නොමැති වුවද, ඒ පිළිබඳ සත්‍ය කලින්ම තේරුම් ගැනීමට මෙවර අම්මාට හැකි විය.

ඒ දිනය උදා වී ඇති බව මම එදින සිහිනෙකින්වත් නොසිතුවෙමි. ඔහුගේ බොහෝ රෝග විනිශ්චය වාර්තා එදින උදයේද අතිශය සාමාන්‍ය විය. හදවතේ ගැස්ම වැඩි බව පමණක් දැනගන්නට ලැබුණ අතර, එයට අදාළ බෙහෙත් ලබා දුන් බවත්, මේ වන විට ඔහුගේ තත්වය ස්ථාවර බවත් වයිද්‍ය මතය විය. නමුත් ඔහු කෙරෙන් ජීවය පලා යන ලක්ෂණ වඩාත් දක්නට විය. ඔහුට තනිවම නැගිට ගත නොහැකිය. එදින උදැසන මම ඔහුගේ අතට තට්ටු කර, "තාත්තේ" යැයි ඇමතූ විට, මා දෙස බලා මඳ සිනා පා, නැවත, මිට පෙර සිදු වූවාක් මෙන්ම, එදින උදයේද ඔහුට පානය කරන්නට දුන්න තේ උගුර බිව් සැනෙන් අමාරුවෙන් වමනය කර, සිහි මඳ ගතියෙන් මෙන් නින්දට වැටුණේය.

එදින දවල් රෝගීන් බලන වෙලාවට  අම්මාත් මමත් ඔහු පෙර සිටි තැනට පැමිණි නමුත්, එතැන ඔහු සිටියේ නැත. වාට්ටු භාර හෙදියන් පැවසු පරිදි ඔහු වෙනත් ඒකකයකට මාරු කර තිබුණි.

මා කළ අනුමානය වැරදි විය. ඔහු සුව වෙනවා වෙනුවට නව වාට්ටුවේදී වයර් සහ විවිධ හඬ නගන යන්ත්‍ර සමුහයකට ඔහුගේ සිරුර සම්බන්ධ කර තිබුණි. පෙර පරිදිම ඔහුගේ අත අල්ලා, "තාත්තේ" කියූ නමුත්, මෙවර ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. මම වඩා විමසිළිමත් වූවෙමි. කටින් ඇතුළු කරන ලද බටයක් හරහා යන්ත්‍රයක් මගින් ඔහුගේ පෙනහළු වලට විටින් විට බලහත්කාරයෙන් ඔක්සිජන් තෙරපයි. බෙල්ලෙන් විද සම්බන්ධ කරන ලද ලොකු ඉන්ජෙක්ෂන් කටුවකට ස්වයංක්‍රිය යන්ත්‍ර තුනක් හරහා එන බෙහෙත් දියර බට තුනක් සම්බන්ධ කර තිබුණි. ශරීරයේ ඔක්සිජන් දර්ශක තිරයක්ද, ECG යන්ත්‍රයක්ද, හදිසි අවස්ථාවකදී විදුලි සැර අල්ලන යන්ත්‍රයක්ද, තවත් නම නොදන්නා උපකරණ දෙකක්ද ඔහුගේ ශරීරය හා සම්බන්ධව ජිවය පවත්වාගෙන යයි. ඒවායේ දිස් වූ විවිධ හැඩති ප්‍රස්ථාරයන් මෙන්ම, නගන විලාප හඬවල් බොහෝ කාලයක් යන තෙක්ම දෙසවනේ රැව් පිළිරැව් දුන්නා මට මතකය.

මම පහළ බැලුවෙමි. MGE වර්ගයේ විශාල අනවරත බල සැපයුම් උපකරණ දෙකක් විදුලි සැපයුමට සම්බන්ධය. එවැනි උපකරණ අලුත්වැඩියා කර මනා පළපුරුද්දක් එවකට මට තිබුණි. මම ඒවගේ පරිපථ සිතින් මවා ගත්තෙමි. "මගේ තාත්තගේ ජීවිතය පවත්වාගන්න මේ උපකරණය ගොඩක් වැදගත්... ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ඔය දෙන්නා තාත්තගේ ජීව ආධාරක උපකරණ වලට විදුලිය දෙන්න ඕන."

මම ඔහුගේ ඇඟිලි ස්පර්ශකොට බැලුවෙමි. ඒවා සීතලය. දෙපා අතගා බැලුවෙමි. ඒවා අයිස් මෙන් සීතලය. හිස අතගෑවෙමි. මඳ උණුසුමක් එහි ඇත. වාට්ටු භාර දොස්තර නෝනා කිව් හැටියට ඔහුගේ තත්වය ඉතාම අසාද්‍යය. මෙම වාට්ටුවට ගෙන එදිදීත් ඔහුගේ හදවත අක්‍රිය වන්නට ආසන්නව තිබී ඇත.

"බීප්.... බීප්.... බිප් බිප්........... බීප්.... බීප්.... බිප් බිප්....." රතු පැහැති බල්බයක් දල්වමින් හා හදිසි එලාම් හඬක් නංවමින් හදවත් මොනිටරය එකවරම අස්ථාවර රටාවක් තිරයේ දක්වයි.

"ඔයාලා ටිකක් අයින් වෙන්න"..... දොස්තර නෝනාගෙන් හදිසි විධානයක්.

නතර වන්නට ගිය ඔහුගේ හදවතට විදුලි සැර දෙකක් ලබා දුන් හැටිත්, ඒ අනුරූපව ඔහුගේ පපුව ප්‍රදේශය ඉහළ ගොස් ඇඳ මත පතිත වූ සැටිත් කොනකින් මෑත් වූ තිර රෙද්ද අතරින් මට පෙනෙයි. නැවතත් හදවත් මොනිටරයේ ස්ථාවර රටාවක්.

"මේ තුන්වෙනි සැරේට ඇරෙස්ට් වුනේ. ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි ඔයාල යන්න දැන්." නැවතත් නියෝගයක්.

එදින දහවල් ලෙඩුන් බලන වෙලාව අවසන්ව නිවසට පැමිණියේ, තාත්තා නැවත නොයෙන බව හොඳින්ම දැනගෙනයි. එබැවින් මරණ ගෙදරකට සුදුසු වන පරිදි ගේ අස් කිරීම ඇරඹුවද, මෙතරම් ඉක්මණින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වේ යැයි නොසිතුවෙමි. කිසියම් වූ විශ්මයකින් ඔහුට යළිත් ජීවය ලැබෙනු ඇතැයි සිත කියන්නට වෙයි.

එදිනම හවස් වරුවේ නැවතත් ඔහුව බලන්නට පිටත් වන්නට සුදානම් වූ මොහොතේ, නිවසේ දුරකථනය නාද දෙයි. කිසියම් නුහුරු හැඟුමක් සිතට දැනුනද, තිරයේ සටහන් වී ඇති නුහුරු අංකය සිතෙන් ගලපන්නට උත්සහ කරමින්, ප්‍රතිචාර දැක්වීමට රිසීවරය කණ මත තබා ගත්තෙමි.

ඒ මොහොතේ රිසිවරය තුළින් ඇසුන විවිධාකාර වූ විද්‍යුත් නාද රටාවන් හමුවේ, අමතන්නා කියන්නටත් පෙරම, ඇමතුම එන්නේ කොතනින්ද සහ, අමතන්නට හේතුව කුමක්ද යන්න ක්ෂණයෙන් වැටහුණි. එවකටත් හොඳින් පුරුදු කළ මරණසතිය සිහිකරමින්, සිත දැඩි කර ගත්තෙමි.

"මේ මිස්ටර් ජයසුරිය ගේ ගෙදරින්ද?"

"ඔව් මහත්මයා, ඔබතුමා අමතන්නේ අසුභ ආරංචියක් දැනුම් දීමට වෙන්න ඕනේ"

"ඔව් මහත්මයා, මිස්ටර් ජයසුරිය හවස තුනට පමණ අභාවප්ප්‍රප්ත වුණා. මම අක්ෂිදාන සංගමයේ කුරුණෑගල මහ රෝහලේ නියෝජිත. දැන්ම මෙහෙ එනවද ඔබතුමාලා?"

"ඔව් මහත්මයා, දැන් එන්න හදන්නේ".

හඩන්නට ඕනෑ තරම් සාධක තිබුනද, ඇසට කඳුළක්වත් ඉනුවේ නැත..... "උප්පජිත්වා නිරුජ්ජන්ති" ලෙස වදාල බුදු බණද, හුරු කොට තිබුනාවූ මරණසතිය සිත කළු ගලක් කොට ඇති සෙයකි.


දෙවන කොටසින් හමුවෙමු .



Tuesday, February 13, 2018

හුනුලා බකලා...

Image Source : http://editorial.ada.lk/wp-content/uploads/file/Capture(915).jpg


දැක්ක ගමන් මොකක්ද හිතුනේ? හදිස්සියේම මේක මතක් උනේ මේකට අදාල බෝඩ් එකක් දැකලයි.

ඉස්සර ස්වදේශීය සේවයේ (හෝ රජරට සේවයේ) ඉරිදා හවස 6.30 ට ගියා "සභාවෙන් අවසරයි" කියලා වැඩසටහනක්. මම මේ කියන්නේ මම ඉස්කෝලේ 7 වසරේදී වගේ. ඒ කියන්නේ 1997 දී වගේ කාලයක. මේ වැඩසටහන කෙරෙන්නෙ ගමක තියෙන සමිතියක් වගේ.... එහෙම හිතමුකෝ. සමිතියේ  සභාපති තමයි "හේරත් එප්පාවල" කියන මහත්මයා. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. එතුමා ළගක් වෙනකන්ම රජරට සේවයේ වැඩසටහන් වලට ආවා මතකයි. ගුවන් විදුලියෙන් මේක ඇහුවත්, ඇත්තම සමිතියක ඉන්නවා වගේ ච්ත්ත රුප මවන්න මේ වැඩසටහන සමත් උනා.

ඉතින් ගොඩක් දවස් වලට ගැමි ජීවිතයට සම්බන්ධ එක එක දේවල් මේ සභාවේ කථා කෙරෙනවා. කොහොමත් මම පොඩි කාලේදී ඉදන්ම මේ වගේ දේවල් අහන්න අසයි. ඉතින් ඉරිදා හවස් වෙනකන් ඉන්නේ මේ වැඩසටහන අහන්නයි.

මේ වැඩසටහන 7.00 ට ඉවර වෙනවත් එක්කම රේඩියෝ 1 කරකවන්නේ කෙටි තරංග (SW) වලට. නමක් නොදන්නා විදේශීය සිංහල සේවයක ( 'පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වන' කියලා කියනවා නම් මතකයි) යන ධර්ම දේශනාවක් අහන්න. ඒ දවස් වල ගුවන් විදුලි ධර්ම දේශනා හරිම අඩුයි. ඉරිදා උදේ 8.00 ඉදල 9.00 වෙනකන් ස්‌වදේශීය සේවයේ බන අහනවා. නාලිකා තිබුනේ ස්වදේශීය සේවය, වෙළද සේවය සහ රජරට සේවය විතරයි මට මතක විදියට. ඉස්සර 1992 දී විතර "හඳ මාමා" ඇහුවා ස්වදේශීය සේවයෙන්. තිබුනෙත් FM නෙමේ. MW රේඩියෝ.

මගේ මතකය ගැන පුදුම වෙන්න එපා ඔන්න. තවම 5 වසරේ විභාග අංකය පවා මතකයි... හී හී ....

ඇත්තටම ආයෙත් ආසයි ඒ කාලයට යන්න...........

මගදී දැකපු පොඩි දැන්වීමක් මාව දුර අතීතයට ගෙන ගියා......
නිකන් අයෙත් කියවලා බලන්න "හුණුලා බකලා" --> "හුණු ලාබ කලා". මේ වචන හරබය මම ඇහුවේ සභාවෙන් අවසරයි වැඩසටහනේ එක්තරා දිනක සභාපති තුමාගේ මුලාසන කථාවේදී. එතුමා එදා කිව්වේ සිංහල උනත් හරියට වචන ගලපලා ලියන්න කියන දෙයයි..........

Thursday, January 25, 2018

වවුල් වස්තුව - 02 කොටස

බලන්න අපුරුය. ඒ භුමිය එකම වවුල් විමානයකි ! (වවුල් වස්තුව - 01 කොටස)

අද එතැන් සිට වවුල් වස්තුව 02 දිගහැරෙන වගයි..................... 


Image Source : https://pbs.twimg.com/media/CEgra5eWAAEPw9f.png:large

තැනෙක තරුණ බවෙන් සහ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු නාඹර කිරි වව්ලන්ය. තවත් තැනෙක නෙක රූප ලවන්‍යයෙන් ආධ්‍ය වූ දෙවඟනන් බඳු වූ ලලනාවන්ය. සැවොම සිනාසෙති. උසුළු විසුළු කරගනිති. මුහුණු ඇදකර සෙල්ෆි ගසති. 

මේ අතර "තම දරුවන්ගේ විස්කම් අද අද බලනෙමු" යැයි ඔද වැඩීගිය නෙක රූ ශ්‍රීයෙන් සැරසීගත් දෙමාපියන්යැයි. තැනෙක දරුවන්ගේ හිස පිරති. තැනෙක මුහුණු උලාගනිති. තැනෙක වවුල් ඇඳුම ඇඟලා ගැනුමට තම පොඩි වුන්ට  උදව්වෙති. 

මව්තුමියට අනිකුත් මව්වරුන් සමඟ එකතුවන පාර පෙන්නාදී, වැන් කොටයේ රියදුරු හට උදේට යමක් ගිලදැමීමට කියා ගණනක් අතමිට මොළවා, දී ඇති අවසර පත සාක්කුවේ රුවා,  ඒ භුමිය වෙත පය තැබුවෙමි.

හුටා ! මමත් graduation නේද ආවේ. කෝ යකෝ ටයි එක? අප්පටසිරි ඇතුලට කථා කරනවා ඔන්න ඒ පාර. දනි පනි ගා ඉංගිරිස් කොට් බෑය සහ ටයි පොල්ල බෙල්ලේ එල්ලගෙන වවුල් ඇඳුම අතක රුවාගෙන ඇතුලට දිව ගියේ වාඩි ගැන්වීමට පෙර  තව කළ යුතු අතවශ්‍යම කාර්යයක් ඉතුරුව ඇති බැවිනි.

"Please be in this queue !" 

කිසිදා දැක නැතිමුත්, පොරක් යැයි අනුමාණ කළ හැකි මහත්මයෙක් මගේ දිහා බලා එසේ කිය. අප්පට සිරි, මෙවර මම අයිති වන මෙරුන් පැහැ වවුල් කුලයේ පෝලිමක් නේද මේ? එත් දැන්ම කොහොමෙයි මෙතනට යන්නේ?

"Sir I'll come back soon."

අතවශ්‍ය කාරණයක් ඉටු නොකර දැන්ම මෙතනට එකතු වුවහොත්, තව පැය ගණනක් යනතෙක්ම සුළු දිය බර සැහැල්ලු කරගැන්මට නොහැකි වන බව දත් මා එසේ කියාදමා දිව ගියේ අදාළ කාර්යය ඉටු කරගැන්මටය.

කොහොමෙන් කොහොමෙන් හරි  BMICH ඇතුළට ගියා කියමුකෝ. කේන්දරේ ග්‍රහයන් අදත් නීච වෙලාද කොහෙද, ඉදිරිපස පෙළට පසු පෙළ හිමිවෙලා ඔන්න. උත්සවය අතර තුර පිටිපස්සකට වී නින්දක් දාන්න කරපු ප්ලෑන් වතුරේ යයි වගේ. ඒත් ලෙක්චර් වල ඉදිරිපෙළ ක්‍රීඩා කර, පන්තියටම ඇසෙන්න ගොරවා (නිදාගෙන ) වාර්තා පිට වාර්තා ඇති එකෙක් සැලෙයිද ඕවට !

නෙක වර්ණ ඇඳුම් ඇඳ, නෙක වර්ණ හිස් වැසුම් පැළඳ, මහ වවුල් ගණයා සභාවට සැපත් වූ බවත් ඊට පසු මොන මොනවදෝ කියා බෙල්ලට මාලා දමන්නට පටන් ගත් බවටත් මතක ඇතත්, කොහේ ගියත් කරන්නට වැඩක් නැතිනම් automatic power saver mode (ඔව් ඔව් බාගෙට නිදාගැනීම තමයි) සක්‍රිය කරගන්නා මා wake up උනේ ළඟ හිටිය අපේ පාලන්ගම අයියගේ තට්ටුවෙන් වෙන්න ඕන.


Image Source: https://i.pinimg.com/736x/63/46/57/634657ecebf8a5ef43f21478dad082d7--political-cartoons-graduation.jpg


වටෙන් ගොස් පෙළ සැදී වේදිකාව කොනට ගොස්, නම කියූ පසු උත්තම මහ වවුල් තුමා වෙත ගොස් බෙල්ලට මාලය දමා ගැනීම කළේ කළින් පුරුද්දෙන් කිව්වොත් නිවැරදියි. එත් කිරි වවුල් උපාධිය 2011 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගත්ත විදියට වඩා වෙනසක් වුනේ, කළු වෙනුවට මෙවර මෙරුන් පැහැ වවුල් ඇඳුම දැරීමත්, chancellor තුමා තේරෙන ඉංගිරිසියෙන් "wish you all the best" කිව්ව එකත්, අවින්ඥානිකව මම එකට "thank you sir" කිව්ව එකත් විතරද කොහෙද.

උත්සවයේ ඉතුරු ටිකත් hibernate mode එකේම ගෙවා දමලා ඔන්න යන්තම් දවල්  12.30 වෙද්දී එළියට පැනගත්තා. නිකන් දුන්න තේ පැන් සංග්‍රහයත් භුක්ති විඳලා BMICH hall එක ඇතුලේ ඉඳන් photo දෙක තුනකුත් අරන් වවුල් ඇඳුමයි ඉංගිරිස් ටයි කෝට් ටිකයි ගලවලා මව් තුමිය අතේ තිබුන මල්ලකට ඔබාගෙන, උපාධි මාලය දැරූ තම දරුවන් වැළඳ සතුටු කඳුළු වගුරුවන දහසක් දෙමාපියන්ද, තම සිතැඟි පරිදි නෙක නෙක ලෙස පිරිස් මැදි කොට වදින ඉලෙක්ට්‍රොනික ආලෝක ධාරාවන්ද පසු කරලා කැන්ටිමක් හොයාගෙන යන්න පිටත් වුණා.


Image Source : https://classroomclipart.com/images/gallery/Clipart/Graduation/two-students-taking-a-selfie-at-graduation.jpg

අප්පා.... කැන්ටිම තුළද කිරි වවුල් විමානයකි. කළු පැහැ කිරි වවුල් ඇඳුමත්, තම ජිවිත කාලයෙන් වසර හතරක් ගෙවා දමා, එයට වන්දියක් ලෙස පැළඳි උපාධි මාලයත් දහවල් බත් කෑමටවත් ගලවා දමා, ඉහින් කනින් වැගිරෙන දාඩියට විරාමයක් තබන්නට ඔවුන් අකමැති වූ සෙයකි ! දැනට ජීවිතයේ වසර තිහකුත් තව වසර දෙකක් ගෙවා දැමු මට එකවරම මගේ ජිවිතයේ විසි හය වැනි වසරට සිත ඔවුන් ගෙන ගියේ, එදවස මමත් මෙලෙසම හැසිරුණ බව සිහිපත් වීමෙනුයි.

දවල් බතද අවසාන විය! එත් මව්තුමිය තවමත් සතුටු නැති සෙයකි.

"අර ළමයි තව අතන photo ගන්නවා. ඕක අයෙත් ඇඳගෙන photo එකක් ගමු"


"අනේ බෑ අම්මේ, මගේ ඔළුව රිදෙනවා.... අපි යමු."...............................


~~ වවුල් වස්තුව නිමි. ~~


Wednesday, December 13, 2017

වවුල් වස්තුව - 01 කොටස

Image source : https://nunna-chan.deviantart.com/art/My-graduation-bat-501995653

මොරටුව විශ්ව විද්‍යාලයේ 38 වැනි උපාධි ප්‍රධානෝත්සවය මෙවර ඔක්තෝම්බර් මස 10 සහ 11 වැනි දිනයන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවතිණි. මෙය අරමුණු කරගෙන පොස්ටුවක් ලියා තබන්නට සිත් වුවද, එය දිනෙන් දිනම කල් යන්නට වූ බැවින්, අදවත් එය මෙසේ ලියා දක්වන්නට උත්සහ දරමි. තවද, මෙහි යොදාගත් භාෂා විලාසය සහ වචන හුදෙක්ම විනෝදය සඳහා පමණක්ම බව හුදී ජනයා විසින් සැලකුව මනාය.

විශ්ව විද්‍යාලයක මෞලි මංගල්‍ය වන්නේද එහි අග්‍ර ඵලය වූ උපාධි ලාභීන් සංකේතාත්මකව සනාථ කරන්නේද උපාධි ප්‍රධානෝත්සවයකිනි.අනෙක් අතින්    මෙය මට වැදගත් වන්නේ, 2013 වසරේ සිට අමාරුවෙන් දඟලා ගොඩ දමා ගත් M.Sc උපාධිය සනාථ කෙරෙන උපාධි මාලය  කරේ දමන්නේ එදින වීමය. මෙයට මා විසින් යොදන නම, "වවුල් මංගල්‍ය" වන අතර, ඒ ඇයිදැයි මෙය කියවන්නාහු විසින් උපාධි ලෝගුව හා එහි ස්වභාවය bat man සමඟ සන්සන්ධනය කොට අවබෝධ කරගත යුතුය.

සමහර සිංහල භාෂා විද්වතුන් විවරණය කෙරෙන ලෙස, "උපාධි" යන්න "උපධි" යන්නෙන් විකරණය වුවකි.  (උපධි  යනු වංචනික  හෙවත් කපටි කම බව අසා ඇත්තෙමි.) 

සියළු කටයුතු ආරම්භ වන්නේ, උපාධියක් ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කොට, උපාධිය සඳහා අප විසින්ම ඉදිරිපත් කරණු ලබන අයදුම් පත්‍රයක් භාර දීමෙනි. ඉන්පසුව ඔවුන් විසින් අපේ ගෙදරටම එවනු ලබන සංදේශයකින් වවුල් මංගල්‍යයේ දින වකවානු දැනුම් දේ. ඒ අතර ඔවුන් විසින් දන්වා එවන දිනයක වවුල් ඇඳුම ලබා ගත යුතුවන අතර, කිරි වව්ලන් සහ වැව්ලියන් (හරි වචනය නොදනිමි) සඳහා තනි කළු ඇඳුමක්ද, මධ්‍යම මට්ටමේ වවුල් මහතුන් සහ මහත්මියන් සඳහා මෙරුන් පැහැති ඇඳුමක්ද, මොළය ස්ථිරවම හානි වූ (PhD) ලොකු වවුල් මහත්වරුන් සඳහා තද රතු ඇඳුමක්ද ඇත්තේය.

Image Source : http://clipart-library.com/clipart/kcKnk745i.htm


වවුල් මංගල්‍යයේ දෙවෙනි දින නොහොත් ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ ඔක්තෝබර් මස 11 වැනි බුධ දින උදය වරුව වෙන්ව තිබුනේ වවුල් ජනපද සැලසුම්කරණය සහ අලංකරණය සඳහා වූ මුලික උපාධිය සම්පුර්ණ කළාවූ කිරි වව්ලන්ටත්, සියළු අංශ වල මධ්‍යම සහ හිස ස්ථිරවම හානි කරගත් ලොකු වව්ලන්ටත් බෙල්ලට මාලය දැමීම සඳහායි.


ඉතින් ඔන්න මමත්, අපේ මව්තුමියත්, වවුල් මඟුලට සහභාගී වෙන්න හිතාගෙන වැලිපැන්න මීගම නිළ නිවාසයෙන් කුකුළත් මල්ලේ දාගෙන උදේ 6 වෙන්නත් කලින් අධිවේගය හරහා කොළඹ එන්න පිටත් වුණා. වවුල් මඟුලට සහභාගී වෙන්නම හිතාගෙන අම්මා  නිළ නිවාසයට කලින් දිනම පැමිණ සිටියා. කොහොමත් මධ්‍යම ප්‍රමාණයේ වව්ලෙකුට ලැබෙන්නේ එක අරධිතයෙක් සඳහා අවසර පතක් පමණයි. අපේ පියතුමා ගෙදර බලාගෙන නතර වෙන්න තීරණය කිරීමත්, වෙන්ඩ හාමිනේට නුවර ඉඳන් මන්ගච්චන්නත් බැරි නිසා ආරාධිතයා තෝරා ගන්න ගැටළුවක් නම් අවේ නැ. (වෙන්ඩ හාමිනේගෙන් thesis writing වලට ලැබුණ සහය නම් අමතක කරන්න බැහැ.)

වවුල් මංගල්‍ය සඳහා සහභාගී වන අයවලුන් උදේ 8.30 වෙද්දී පැමිණ අසුන් ගත යුතු බවට සඳහන් සංදේශය කලින්ම ලැබී තිබුණා.  අපරාදේ කියන්න බැහැ උදෑසන 6.40 වෙද්දී බත්තරමුල්ල පොල්දූව පාලම ගාවටම ආවත් traffic එකේ ගිහින් BMICH ගේට්ටුවෙන් රිංගා ගන්නා විටදී නම් 8.15ත් පහු වුණා. අපායට ගියත් උදෙන්ම බඩ කට පුරා නෙලන  පුරුද්ද නිසාත්, මව්තුමිය එදින පාන්දර 3 ට අවදිව බත් පිස තිබු නිසාත්, මට උදෑසන ආහාර ගැන ප්‍රශ්ණයක් නම් තිබුනේ නැහැ.

බලන්න අපුරුය. ඒ භුමිය එකම වවුල් විමානයකි !

(එහෙනම් වවුල් වස්තුවේ 02 කොටසින් ඉක්මනින්ම හමුවෙමු.)


Tuesday, November 14, 2017

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා....

*********************************************************
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා....
හද සෝක තැවුල් නිවනා....


චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී....
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා.....
හඬ දේවිනි කන් පිනනා....

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි...
ලිය වැල් පැටලී ගොසිනී.....

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා.....

මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳි
නේ.....
තව පෙම්බර මා සාමිනේ......

අන්න බලන් 
සඳ ......

*********************************************************

තනිකඩ ජීවිතයේ පාළුව මකාගන්න සංගීතය තරම් තවත් ඔසුවක් නැති බව,  හුදෙකලාව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවාසයක වෙසෙමින් ජීවිතයෙන් බොහෝ කාලයක්  ගෙවා දමන මම ප්‍රත්‍යක්ෂව දනිමි. දඩිබිඩි සංගීතයට එතරම් කැමැත්තක් නැතත්, රසයක් ඇති ඕනෑම ගීතයකට ප්‍රිය කරන්නෙමි.

මේ අටුවා ටීකා ලියන්නට සිත් වුනේ පසුගිය දිනෙක මා සතු ගීත එකතුවක්  (ඔව් ඔව්.. පරිගණකයේ තිබුන mp3 ටිකක් තමයි :-) ) play list 1 ට සම්පුර්ණයෙන් ඇතුලත් කර shuffle playback කරද්දී ඇසුන ඉහත ගීතය නිසාවෙනුයි.

--------------------------------------------------------------------------------------

පෙර කථාව:

ස්ථානය : Ivor Jennings ශාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
කාලය : අපි එතකොට 3rd Year (2009)

ඩොකා (රුවන් සම්පත් සහෝදරයා) කියන්නෙත් අපේ batch 1කේ අපි වගේම තවත්  Jennings වැසියෙක්.

ඩොකා : මචන් Ambalaya, මෙන්න මේ pen 1 කේ තියෙනවා වල සතියේ paly කරන සින්දු ටික. මේක copy කරගත්තේ ***** ගේ (ආර්ටෙක්ගේ කාර්ඩ් 1ක් )  lap 1කේ තිබිලා . මේ ටික copy කරගනින්.

මම :  thanks මචන්.

--------------------------------------------------------------------------------------

එදා ඒ save කරගත්ත සින්දු ටික තවමත් hard disk 1කේ සුරැකිව තියෙනවා නේද කියලා මට මේ අතීත කථාවත් එක්කම මතක් වුණා... හරියට වල සතියේ මේ සින්දු ටික නාට්‍යක් පටන් ගන්න කලින් යකඩ කටවල් වලින් ඇහෙද්දී මගේ හිතට දැනුන හැහීම හිතේ කොනක තවමත්  සුරැකිව තියෙනවා වගේ.....

මොරටුව සරසවියෙන් පශ්චාත් උපාධියක් කළත් තවමත් අපේ ජීවිතත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් කියන්නේ දෙකක් නොව එකක්ම බවයි මේ වගේ සිද්ධි වලින් දැනෙන්නේ..................


මෙන්න ඒ ගීතයට Link  ක්..

https://www.youtube.com/watch?v=sZGkFPmAwfs

Tuesday, June 28, 2016

කලකට පස්සේ...

කලකට පස්සේ අයෙමත් බ්ලොග් අවකාශයට පා තබන්න හිතුනේ හිතට එන දෙයක් කියල දාන්න හිතාගෙන. පහුගිය ටිකේ ලිවිම මෙන්ම කියවෙමෙනුත් ඈත් වෙන්න සිද්ධ උනේ වැඩ වැඩිකම නිසාමයි.


Wednesday, February 11, 2015

තාත්තා බෝනික්කා...

අහම්බෙන් දැක්ක දෙයක් Share කරන්නම හිතුනා........
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: 



එක දවසක් උදේ වැඩට යන්න තාත්තා නැටිට්ටේ නැහැ. එදා එයා ඉස්පිරිතාලෙට ගියා. ඊට පහුවෙනිදා එයා මියගියා. ඊට කලින් කිසිම දාක මම එයා ගැන එච්චර හිතුවේ නැහැ. එයා හරියට උදේම ගෙදරින් ගිහින් හවස් වෙලා ගෙදර ඉන්න හැමෝම බලන්න ආසාවෙන් ආපු කෙනෙක් වගෙයි.
ගෙදර කාටවත් අච්චාරු බෝතලේ මූඩිය ඇරගන්න බැරිව ඉන්නකොට එයාට විතරයි ඒක කරන්න පුළුවන් වුනේ. අපේ ගෙදර පොළවේ යට තට්ටුවේ තිබ්බ කළුවර ගබඩා කාමරේට බය නැතිව යන්න පුළුවන් කෙනෙක්ට හිටියෙත් එයා විතරයි. 
රැවුළ කපනකොට හැමදාම එයාගේ මූණ කැපිලා තිබ්බා. ඒත් ගෙදර කවුරුත් ඒ ගැන පුදුම වුනේ නැහැ. කවුරුත් එයාට හාද්දක් දෙන්නවත් හිතුවේ නැහැ. වහිනකොට එයා තෙමීගෙන ගිහින් කාර් එක ගේ දොර ළගටම පැදගෙන ආවා අනික් අයට නගින්න. කාට හරි සනීප නැති වුණොත් එයා ඕන වෙලාවක ගිහින් ඛෙහෙත් අරගෙන ආවා. 
එයා ගොඩාක් පිංතූර ගත්තා. ඒත් ඒ පිංතූර වල එයා හිටියේ නැහැ. සෙල්ලම් ගෙවල් හදනකොට මට හිටියා අම්මා බෝනික්කෙකුයි, තාත්තා බෝනික්කෙකුයි. සෙල්ලම් ගෙදර වුනත් වැඩිපුර වැඩ තිබ්බේ අම්මා බෝනික්කාට. තාත්තා බෝනික්කත් එක්ක මොනවා කරන්නද කියලා මම හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඉතිං දවසක් මට තාත්තා බෝනික්කා වගේ —මම දැන් වැඩට යනවා කියලා එයාව ඇද අස්සට විසිකරලා දැම්මා.
තාත්තාගේ මිනිය තිබ්බේ අපේ ගෙදර සාලේ. එදා ගොඩාක් අය කේක් වගේ හොඳ හොඳ කෑම ජාති මහ ගොඩාක් හදාගෙන ආවා. කවදාවත් අපේ ගෙදරට එච්චර සෙනග ඇවිත් තිබුණේ නැහැ. 
මම මගේ කාමරේට ගිහින් ඇඳ අස්සට නැමිලා තාත්තා බෝනික්කා එළියට අරගෙන දූවිලි පිහලා ඇඳ උඩින් තිබ්බා. එයා වෙනදා වගේම මොකුත් කළේ නැහැ. 
ඒත් මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයා අපි දාලා ගියාම අපට මෙච්චර දුකක් දරාගන්න වෙනවා කියලා.



(කැඩපත බ්ලොග් එකෙන්/ එමා බොම්ඛෙක් | පරිවර්තනය : සාමන්ත තැන්නගේ)
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::